‘‘රාජ්‍ය ආරක්ෂාව ජනාධිපතිට භාරයි‘‘ - බන්දුල


රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කැබිනට් ඇමතිවරයෙකු නොසිටිය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඒ සම්බන්ධ සම්පූර්ණ බලතල පැවරී ඇති බව අද (23) රජයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේය. 

රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කැබිනට් ඇමතිවරයෙකු නැති බව මාධ්‍යවේදියෙකු විමසූ විට ඔහු පවසන්නේ, ‘නෑ, ඒකට කමක් නෑ‘ යන්නයි. සම්පූර්ණ බලතල සහිත කැබිනට් ඇමතිවරයෙකු නැති බව විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ, පාස්කු ප්‍රහාරය එල්ල වූවේ ද සම්පූර්ණ බලතල සහිත ඇමතිවරයෙකු සිටි අවස්ථාවක බවයි.

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කිසියම් අමාත්‍යවරයෙක් නැති  ඕනෑම අවස්ථාවක ඒ අමාත්‍යවරයාගේ සියළු විෂය බලතල ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරෙනවා.

‘ඒ බලතල ජනාධිපතිතුමාට තියෙනවා. ඒ කරන ආකාරය ගැන එතුමා දන්නවා. මොකද ආරක්ෂක ලේකම්වරයා ලෙස එතුමට මේක ගැන කියලා දෙන්න දැනීමක්, මටවත්, කාටවත් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මොකද ආරක්ෂක ලේකම්වරයා විදියට එතුමට හොඳ දැනීමක් තියෙනවා ආරක්ෂාව පිළිබඳ හැමදේම කරන්න.‘ යන්නයි.