වජිරා චිත්‍රසේන සහ ඉන්ද්‍රා දසනායක පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි



ඉන්දියාවේ 71 වන ජනරජ දිනයට පෙර දින ඉන්දීය රජය දේශබන්ධු ආචාර්ය වජිරා චිත්‍රසේන සහ නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක යන ශ්‍රී ලාංකේය කාන්තාවන් දෙපළ වෙත ඔවුන් සිය ක්ෂේත්‍රයන් සඳහා ලබා දුන් පුරෝගාමී දායකත්වය සහ ඉන්දීය ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් පද්ම ශ්‍රී සම්මානය පිරිනැමීමට තීරණය කර ඇත.

පද්ම ශ්‍රී සම්මානය ඉන්දියාව විසින් සිවිල් වැසියන් සඳහා පිරිනමන සිව්වන ඉහළම සම්මානය වන අතර එය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සෑම වසරකම පත් කරන ලද පද්ම ශ්‍රී සම්මාන කමිටුවේ නිර්දේශ මත ලබා දෙනු ලැබේ. මහජන සේවය සම්බන්ධ වන සියලු ක්ෂේත්‍රයන් සහ විෂයන්හි ජයග්‍රහණයන් ඇගයීම මෙම සම්මානයන්හි අරමුණ වේ.

ආචාර්ය වජිරා චිත්‍රසේන ශ්‍රී ලාංකේය නර්තන ක්ෂේත්‍රයේ ජීවමාන පුරාවෘත්තයක් වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම බැලේ නර්තන ශිලපිනිය ලෙසද සැලකේ. ඇය උඩරට නර්තන ශිල්පය සිය පූර්ණ කාලීන වෘත්තිය කරගත් ප්‍රථම සිංහල කාන්තාවද වේ. කලා ක්ෂේත්‍රය තුළ ඇගේ ගමන දශක හයකට අධික වන අතර මේ වන විට 87 වැනි වියෙහි පසුවන ඇය චිත්‍රසේන - වජිරා නර්තන පදනමේ මුලසුන හොබවන අතර නර්තන පාසලේ විදුහල්පතිනිය ලෙසද කටයුතු කරයි.

ඇයගේ ජීවන දායකත්වය වෘත්තීය නර්තනයෙන් බොහෝ ඔබ්බට විහිදේ. ඇය ඉන්දියාවේ, රුසියාවේ, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ නර්තන ඉගැනුම් ක්‍රමවේද පිළිබඳ පර්යේෂණය කරන ලද ගුරුවරියකි. එසේම නර්තන රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ ඉගැන්වීම ආදී ක්ෂේත්‍රයන් රැසක ප්‍රවීණත්වයට පත් ශිල්පිනියකි. 

ශ්‍රී ලංකාවේ ඉහළම ජාතික සම්මානයක් වන දේශබන්ධු සම්මානයෙන්ද තවත් සම්මාන රැසකින්ද පිදුම් ලබා ඇති ආචාර්ය වජිරා නර්තනය ප්‍රවර්ධනය කිරීම සහ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කලා අංගයන් විශේෂයෙන්ම උඩරට සහ ඔඩිසි යන නර්තන සම්ප්‍රදායන් සුසංයෝග කිරීම මගින් ඉන්දියා - ශ්‍රී ලංකා සබඳතා පෝෂණය කිරීම සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දී ඇත.

ඇය සහ ඇගේ ගුරුවරයා මෙන්ම ස්වාමි පුරුෂයා වන චිත්‍රසේන ශූරීන් චිත්‍රසේන කලායතනය සමඟින් 1959 සිට 1998 වසර දක්වා ඉන්දියාවේ විවිධ සංචාරයන්හි නිරත විය. චිත්‍රසේනයන් සහ වජිරාවන් විසින් ඉන්දියාව සමඟ ස්ථාපනය කරන ලද සබඳතාවය චිත්‍රසේන කලායතනය සහ ඉන්දියාවේ ප්‍රමුඛතම ඔඩිසි නර්තනායතනයක් වන න්‍රිත්‍යාග්‍රම් කලායතනය එක්ව මෑතකදී පවත්වන ලද 'සම්හාරා' ඒකාබද්ධ නිෂ්පාදනය සමඟ කූඨාප්‍රාප්තියට පත් විය. එය 2003 වසරේදී සිදු කරන ලද සංචාරයකින් අනතුරුව සිදු කෙරුණ අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක ඉමහත් ප්‍රසාදය දිනා ගැනීමට සමත් විය. විශාල වශයෙන්ම පුරුෂාකාරී වන උඩරට නර්තනය සහ වෙසෙසින්ම ශෘංගාරාත්මක මෙන්ම හික්මවන ලද ඔඩිසි නර්තනය සුසංයෝගීව නිර්මාණය කරන ලද මෙම නිෂ්පාදනය එහි නර්තන රචනය සඳහා විචාරක ප්‍රසාදය දිනා ගත් අතර එම නර්තන ශිල්ප ක්‍රම ද්විත්වයෙහිම ආවේණික ලක්ෂණ මනාව රඳවා ගැනීම සම්බන්ධයෙන් විචාරකයන්ගේ පැසසුම් හිමි කර ගත්තේය.

නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක 2020 පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබන අනෙක් ශ්‍රී ලාංකේය කාන්තාව වේ. ඇය කැළණිය විශ්ව විද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ මහාචාර්යවරියකි. 1943 වර්ෂයේදී ඉන්දියාවේදී උපත ලබා ඇති ඇය ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වේ. 

මහාචාර්ය දසනායක හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනයන් වෙත හඳුන්වාදීමට සහ ප්‍රවර්ධනය කිරීමට පුරෝගාමීව කටයුතු කළ අයෙකි.1975 වසරේදී නාග්පූර්හි පැවත් හින්දි සම්මේලනය සඳහාද ඇය සහභාගී විය.

1995 වසරේදී කැළණිය විශ්ව විද්‍යාලයේ හින්දි දෙපාර්තමේන්තුව යළි පිහිටුවීම සඳහා ඇය පුරෝගාමීව කටයුතු කළාය. මූලික වශයෙන්ම ඇයගේ ප්‍රයත්නයන් හේතුවෙන් කැළණිය විශ්ව විද්‍යාලයේ හින්දි දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ හින්දි භාෂා අධ්‍යයනය සඳහා පවතින විශාලතම මධ්‍යස්ථානය බවට පත්ව තිබේ. ඇයගේ උත්සහය හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල හයකට අමතරව විවිධ ආයතන සහ පාසල් 80කට අධික සංඛ්‍යාවක හින්දි භාෂාව උගන්වනු ලැබේ. 

මහාචාර්ය දසනායක 2007 දෙසැම්බර් 18 වන දින නව දිල්ලියේ පැවති ලෝක හින්දි සම්මේලනයේදී 2005 වසර සඳහා පිරිනමනු ලබන ආචාර්ය ජෝර්ජ් ග්‍රියසන් හින්දි සේවි සම්මානයෙන්ද පිදුම් ලැබීය. ඇය ඇයගේ ආදරණීය ස්වාමි පුරුෂයා සහ දියණිය මෙලොව තනි කරමින් 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී කොළඹදී අවසන් හුස්ම වා තලයට මුසු කළාය. 

මෙයට පෙර 2002 වසරේදී ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සංගීතවේදියකු සහ මැග්සේසේ සම්මානලාභියකු වන ඩබ්. ඩී. අමරදේවයන් වෙත එතුමා ඉන්දියා - ශ්‍රී ලංකා සංගීත සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් දක්වන ලද දායකත්වය සඳහා පද්ම ශ්‍රී සම්මානය පුද කර ඇත.