71 වන ඉන්දීය ජනරජ දිනය සමරමින් ‘දිව්‍යමය චතූර්මියැසිය' දිග හැරේ



ඉන්දියාවේ 71 වන ජනරජ දිනය සැමරීම සඳහා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද දිව්‍යමය චතූර් මියැසිය (Divine Quartet) නමැති විශේෂ සංස්කෘතික ප්‍රසංගය ඉන්දියාවේ අග්‍රගණ්‍ය සංගීතවේදීන් වන ග්‍රැමි සම්මානලාභී පණ්ඩිත් විශ්ව මෝහන් භාත් සහ ග්‍රැමි සම්මාන සඳහා නිර්දේශ වී ඇති පණ්ඩිත් සුභෙන් චැටර්ජිගේ සහභාගීත්වයෙන් සංගීතලෝලීන් ආනන්දයට පත් කරමින් 2020 ජනවාරි 25 වන දින කොළඹ BMICH හිදී පැවැත්විණ.

ආරාධිතයන් 1500කට වැඩි පිරිසක් මෙම ප්‍රසංගය සඳහා සහභාගී වූ අතර ප්‍රවීණ 'මෝහන් වීණා' වාදන ශිල්පී පණ්ඩිත් විශ්ව මෝහන් භාත් සහ ජාත්‍යන්තර කීර්තියට පත් තබ්ලා වාදන ශිල්පියෙකු වන පණ්ඩිත් සුභෙන් චැටර්ජි සිය වාදන නිපුණත්වයෙන් ප්‍රේක්ෂකාගාරය අමන්දානන්දයට පත් කළේය. පණ්ඩිත් විශ්ව මෝහන් භාත්ගේ පුත්‍රයා වන ශ්‍රී සලීල් භාත් සට්වික් වීණාවෙන්ද පණ්ඩිත් සු⁣භෙන් චැටර්ජිගේ පුත්‍රයා වන සම්භිත් චැටර්ජි ඩ්‍රම්ස් වාදනයෙන්ද ප්‍රසංගය සඳහා සහභාගී විය. 


ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ඉන්දීය මහ කොමසාරිස් ගරු තරංජිත් සිං සන්ධු ද මේ සඳහා සහභාගී විය. අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ සංගීතලෝලීන් රැසක් මෙම විශේෂ සංස්කෘතික ප්‍රසංගය සඳහා එක් විය. 



විවිධත්වයේ එකමුතුකම පෙන්නුම් කරමින් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තයන්හි විශේෂයෙන්ම ජන කලා ආශ්‍රිත සම්ප්‍රදායික සිතුවම් රැගත් චිත්‍ර ප්‍රදර්ශනයක්ද BMICH හිදී පැවති අතර එයද ප්‍රේක්ෂකයන්ගේ පැසසුමට ලක් විය. මෙම චිත්‍ර ශ්‍රී ලාංකේය සහ ඉන්දීය චිත්‍ර ශිල්පීන් විසින් එක්ව සිතුවම් කර තිබූ අතර එමගින් ඉන්දියා - ශ්‍රී ලංකා සබඳතාවයේ සැබෑ සුන්දරත්වය මැනවින් නිරූපණය විය.