ඉරාන ජෙනරාල් ඝාතනය

ඉරානයට එරෙහි යුද්ධයක්, 2003 දී දියත් කරන ලද ඉරාක යුද්ධයේ බිහිසුනු ලේ වැගිරීම් අබිබවා යනු ඇත. එය, සමස්ත කලාපය හා එක්සත් ජ්නපද අධිරාජ්‍යවාදයේ ඊනියා “මහා බල” ප්‍රතිවාදීන් වන රුසියාව සහ චීනය ඇතුලු සියලු‍ ප්‍රධාන බලවතුන් පැටලු‍නු න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක තර්ජනය මානව වර්ගයා හමුවට ගෙන එනු ඇත.

බිල් වැන් ඕකන් විසිනි

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකා (අයිආර්ජීසී) කුඞ්ස් බලඇනියේ අනදෙන නිලධාරී මේජර් ජෙනරාල් කාසෙම් සොලෙයිමනී සිකුරාදා අලු‍යම බැග්ඩෑඞ් හි ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඉලක්ක කර ඝාතනය කිරීම, එක්සත් ජනපදය හා ඉරානය අතර ගැටුම් තියුනු ලෙස උග්‍ර කර ඇත. එය මැද පෙරදිග විනාශකාරී නව යුද්ධයක් පුපුරා යාම කෙස් ගහක දුරින් පිහිටුවා තිබේ.


ඉරාකයේ සහ ලෙබනනයේ මාධ්‍ය මෙන්ම ඉරාකයේ ෂියා මිලීෂියා ව්‍යාපාරයේ නිලධාරීන් ද වාර්තා කලේ, සිරියාවේ හෝ ලෙබනනයේ සිට ඉරාකයට පැමිනි ගුවන් යානයකින් ගොඩ බැසීමෙන් පසුව එක්සත් ජනපද මිසයිල ප්‍රහාරයකින් සොලෙයිමනී මිය ගිය බවයි. ඉරාක ෂියා මිලීෂියාවන්ගේ බලවත් සන්ධානය වන මහජන හමුදා බලමුලු‍ ගැන්වීමේ බලකායේ (පීඑම්එෆ්) දෙවන අනදෙන නිලධාරියා වූ අබු මහීඩි අල්-මුහන්දිස් ද ප්‍රහාරයෙන් මරුමුවට පත් විය.


පෙන්ටගනය ඝාතනයේ වගකීම භාර ගනිමින් ප්‍රකාශයක් නිකුත් කලේය. “එක්සත් ජනපදය විසින් නම් කරන ලද විදේශ ත්‍රස්තවාදී සංවිධානයක් වන ඉරාන විප්ලවවාදී ආරක්ෂක කුඞ්ස් බලකායේ ප්‍රධානී කසෙම් සොලෙයිමනී ඝාතනය කිරීමෙන් එක්සත් ජනපද හමුදාව විදේශයන්හි සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා තීරනාත්මක ආරක්ෂක පියවර ගෙන තිබේ.”

සිය පාර්ශවයෙන් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක හමුදා, ඝාතනය සනාථ කරමින් ඉරාන මාධ්‍යයට පැවසුවේ, “ගෞරවනීය ඉස්ලාමයේ උත්තරීතර අන දෙන නිලධාරි සොලෙයිමනී එක්සත් ජනපද හෙලිකොප්ටර් ප්‍රහාරයකින් වීරයෙකු ලෙස මරනයට පත්වූ” බවයි.

1980-88 ඉරාන-ඉරාක යුද්ධයේ සිට සොලෙයිමානි ඉරාන හමුදාව තුල ප්‍රධාන චරිතයක් විය. කුඞ්ස් බලකායේ ප්‍රධානියා ලෙස ඔහු සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් පාලනයට එරෙහිව වොෂින්ටනය සහ එහි සහචරයින් විසින් මුදා හරින ලද එක්සත් ජනපදයේ පිටුබලය ලබන අල්කයිඩා සංවිධානයට සම්බන්ධ මිලීෂියාවන් පරාජය කිරීමේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කල අතර පසුව, ඉරාකය සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (අයිසිස්) පරාජය කිරීමට ඉරාක මිලීෂියා හමුදාවන්ට මඟ පෙන්වීමට සහාය විය. ඉරාන ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයෙකු ලෙස සඳහන් වුව ද, ඔහු පාලනය සඳහා වූ ඕනෑම තරඟයකට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කරමින්, සොල්දාදුවෙකු ලෙස තම රටට සේවය කරන බව අවධාරනය කලේය.

2001 එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය ආක්‍රමනය කිරීමේදී ටෙහෙරානය, වොෂින්ටනය සමඟ සහයෝගයෙන් කටයුතු කල දා සිට ඉරාන ජෙනරාල්වරයා සමඟ නොනිල සන්නිවේදනයක නිරත වූ එක්සත් ජනපද නිලධාරීන් සහ හමුදා අන දෙන නිලධාරීන් ඔහු හොඳින් දැන සිටියේය.

පෙන්ටගනය තවත් එක්සත් ජනපද පැරෂුට් භටයන් 750 ක් මැද පෙරදිගට යවා ඇති අතර සෙබලු‍න් 4,000 ක් කලාපයට යෙදවීම සඳහා සීරුවෙන් තබා ඇත.

ඉරාක උද්ඝෝෂකයින් විසින් මේ සතියේ බැග්ඩෑඞ් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට පහර දීමෙන් පසුව මෙම ක්‍රියාන්විතය සිදු විය. එක්සත් ජනපද මිලිටරිවාදය කෙරෙහි මහජන කෝපයේ ක්‍රියාවක් වන එහිදී වොෂින්ටනය ඉරානයට දොස් පැවරීය.

ආරක්ෂක ලේකම් මාක් එස්පර් බ්‍රහස්පතින්දා කියා සිටියේ ඉරානය එක්සත් ජනපද හමුදාවන්ට හෝ කලාපයේ අවශ්‍යතාවන්ට “අතිරේක ප්‍රහාර” එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට “ඇඟවීම්” පවතින බවත්, කිසියම් “ප්‍රහාරයක් සඳහා වචනයක් හෝ ඇඟවුමක්” ලැබුනහොත් “පූර්ව භංග පියවර ගැනීමට” වොෂින්ටනය සූදානම් බවත්ය. ”

“ක්‍රීඩාව වෙනස් වී ඇත,” එස්පර් පැවසීය. “ඔවුන් යමක් කරයි කියා මම හිතනවා ද? ඔව්, ඔවුන් ඒ ගැන පසුතැවෙනු ඇත.”

මේ අනුව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඝාතන පමනක් නොව, වොෂින්ටනය ඉරාන “කුලීකාරයන්” සේ සලකන මැද පෙරදිග ඕනෑම අංශයකින් කටකතා හෝ ගොතන ලද තර්ජනයක් ඇති වුනොත් ඒවා පදනම් කරගෙන ඉරානයට එරෙහිව විනාශකාරී පූර්ව භංග මිලිටරි ප්‍රහාර එල්ල කරන බව පෙනී යයි. මෙම කාන්ඩය, ඉරාකයේ ෂියා මිලීෂියාවන්ගේ සිට ලෙබනනයේ හිස්බුල්ලා මහජන දේශපාලන හා මිලීෂියා ව්‍යාපාරය දක්වාත්, ඊස්රායල වාඩිලාගෙන සිටින ගාසා තීරය පාලනය කරන ඉස්ලාමීය පක්ෂය වන හමාස් දක්වාත් විහිදේ.

ඉරාක ෂියා මිලීෂියාවක් වන කටායිබ් හිස්බුල්ලා වරුන්ගේ ඉරාකයේ සහ සිරියාවේ කඳවුරු වලට එරෙහිව දෙසැම්බර් 29 වන දින එක්සත් ජනපදය ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් විරෝධතාකරුවන් දහස් ගනනක් විසින් අඟහරුවාදා බැග්ඩෑඞ් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය වටලනු ලැබීය. එක්සත් ජනපද එෆ් -15 ඊ ප්‍රහාරක යානා මඟින් සිදු කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් මිලීෂියා සාමාජිකයින් 25 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 55 දෙනෙකු තුවාල ලැබීය.

ඇමරිකානු සිවිල් කොන්ත්‍රාත්කරුවෙකු ඝාතනය කරමින් කිර්කුක් නගරයෙන් පිටත ඉරාකයේ කේ -1 හමුදා කඳවුරට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පලිගැනීමක් ලෙස මෙම ගුවන් ප්‍රහාර එල්ල කල බව ට්‍රම්ප් පරිපාලනය කියා සිටියේය. ප්‍රහාරය සම්බන්ධයෙන් කටයිබ් හිස්බුල්ලාට වොෂින්ටනය දොස් පැවරුවද, වගකීම පැවරීම පිලිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත.

ඉරාක අගනුවර වීදිවලට දහස් ගනනක් රැස්ව සිටි, අතර, ඝාතනය කරන ලද මිලීෂියා සටන්කාමීන්ගේ අවමංගල්‍ය කටයුතු වලින් අනතුරුව, බොහෝ මිලීෂියා සාමාජිකයින් සහ ආධාරකරුවන් ඇතුලු විරෝධතාකරුවන් බැග්ඩෑඞ්හි දැඩි ආරක්ෂිත හරිත කලාපයේ පිහිටි තානාපති කාර්යාලය වෙත පා ගමනින් ගියහ.

ඔවුහු එක්සත් ජනපද තානාපති කාර්යාල තාප්පය වටලා මොලොටොව් කොක්ටේල් ගිනි බෝම්බ සහ ගල් දමා ගැසූහ. ලොව විශාලතම එක්සත් ජනපද තානාපති මධ්‍යස්ථානය වන තානාපති කාර්යාල සංකීර්නය, ටයිග්‍රිස් ගඟේ අක්කර 104 කට වැඩි ප්‍රමානයක විහිදී ඇති අතර 2012 දී එහි උච්චතම අවස්ථාව වන විට එක්සත් ජනපද සේවකයින් 16,000 ක් නවාතැන් ගෙන සිටි අතර එය 2011 දී විධිමත් ලෙස අවසන් වූ ඇමරිකානු වාඩිලෑමෙන් පසුව ද අඛන්ඩව පැවතුනි.

සංකීර්නයේ ප්‍රධාන දොරටුව කඩාගෙන ඇතුලුවීමට සමත්වූ විරෝධතාකරුවෝ, ආරක්ෂක කුටියක් සහ පිලිගැනීමේ කාමර දෙකක් ගිනි තැබූහ. ඇසෝසියේටඞ් ප්‍රෙස් විසින් බදාදා නිකුත් කරන ලද ඡායාරූප වලින් දැක්වෙන්නේ, තානාපති කාර්යාලයේ මෙම ප්‍රදේශවල ගිනිගත් අභ්‍යන්තරය, විනාශ කල ගෘහ භාන්ඩ හා ජනෙල් සහ නටබුන් වලින් දුමාරය තවමත් නැගෙමින් තිබුන බවයි.

තානාපති කාර්යාල පරිශ්‍රයේ තාප්ප චිත්‍ර වලින් වැසී තිබුනි. “ජනතාවගේ නියෝගයෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා ඇත” සහ “ඇමරිකාවට සහ ඊස්රායලයට මරනය” වැනි සටන් පාඨ ද ඊට ඇතුලත් විය.

තානාපති කාර්යාලයේ අභ්‍යන්තරය පාලනය කරන එක්සත් ජනපද මැරීන් භටයෝ, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට උත්සාහ කරමින් කඳුලු ගෑස්, අත් බෝම්බ සහ අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කලහ. “බලය පෙන්වීමක්” ලෙස විස්තර කරන ලද, ඉහලින් පියාසර කල අපාචේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සමූහයා දෙසට ගිනි වෙඩි තැබීය.

දෙසැම්බර් 29 ගුවන් ප්‍රහාර එක්සත් ජනපද බලය විදහා දැක්වීමක් සහ කටායිබ් හිස්බුල්ලා මිලීෂියාවට පහරක් ලෙස විස්තර කල ද තානාපති කාර්යාලය වටලෑමේ දී පලවූ මහජන ප්‍රතිචාරය ඉරාකයේ සහ කලාපය පුරා වොෂින්ටන් ප්‍රතිපත්තියේ දැවැන්ත අර්බුදය හෙලි කර තිබේ.

විරෝධතාකරුවන් සමූහයට තානාපති කාර්යාලයට පැමිනීමට හැකි වූයේ, රජයේ ගොඩනැගිලි, වෙනත් තානාපති කාර්යාල සහ ඉරාක කතිපයාධිකාරයේ මන්ඳිර ද පිහිටි හරිත කලාපය ආරක්ෂා කිරීම සඳහා යොදවා සිටි, එක්සත් ජනපදයේ පුහුනුව ලත් ඉරාක ත්‍රස්ත විරෝධී භට පිරිස් විසින් කිසිදු ප්‍රතිරෝධයක් නොදැක්වූ බැවිනි.

2003 දී සාපරාධී ලෙස ඉරාකය ආක්‍රමනය කිරීමෙන් පසු ඇමරිකානු හමුදාවන්ට එරෙහි සටනේදී ආරම්භ වූ ෂියා මිලීෂියාවන් විසින් ඉරාක ආන්ඩුවේ සහ එහි ආරක්ෂක හමුදාවන් තුල ඉටුකරනු ලබන ප්‍රමුඛ භූමිකාව මෙම සිදුවීම මගින් තවදුරටත් හෙලි කරයි. ඔවුන් සංවිධානය වී සිටින්නේ, මහජන බලමුලු‍ ගැන්වීමේ හමුදාවන්ගේ (ඡඵත්‍) සෙවනෙහිය. එක්සත් ජනපදයේ පුහුනුව ලත් ආරක්ෂක හමුදා 2014දී බිඳවැටීමෙන් පසු ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයට (අයිසිස්) ඉරාකයෙන් තුනෙන් එකක් පමන යටත් කර ගැනීමට හැකි වූ විට, ප්‍රධාන විපක්ෂය සංවිධානය කරනු ලැබුවේ පීඑම්එෆ් බලවේග විසිනි.

්‍රම්ප් පරිපාලනය කෝපයට පත් කරමින් තානාපති කාර්යාලයේ උද්ඝෝෂනයට සහභාගී වූවන් අතර, පීඑම්එෆ්හි නාමික ප්‍රධානී ෆලේහ් අල්-ෆයියාද් ද -ඔහු ආන්ඩුවේ ජාතික ආරක්ෂක උපදේශක ලෙසත් සේවය කරයි- හිටපු ප්‍රවාහන අමාත්‍ය හා පීඑම්එෆ් හි විශාලතම මිලීෂියාවන්ගෙන් එකක් වන බද්ර් බලඇනියේ නායක හදී අල් අමිරි සහ ෂියා මිලීෂියාවන්ට සම්බන්ධ පාර්ලිමේන්තු කන්ඬායම් වල අනෙකුත් ප්‍රමුඛ සාමාජිකයන් ද වූහ.

මෑත මාසවලදී එක්සත් ජනපද තානාපතිවරයා මෙම පුද්ගලයින් සමඟ සාකච්ඡා කරමින් සිටිය ද එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඔවුන් සිව් දෙනෙකුගේ ඡායාරූප ඇතුලු කෝපාවිෂ්ඨ ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ඔවුන් “ත්‍රස්තවාදීන්” ලෙස හංවඩු ගැසීය.

ජනාධිපති, අගමැති සහ පාර්ලිමේන්තු ප්‍රධානියා ඇතුලු ඉරාක ආන්ඩුවේ ප්‍රධාන නායකයින් සියල්ලම එක්සත් ජනපද ගුවන් ප්‍රහාර, ඉරාක ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙස හෙලා දැක තිබේ. පසු ගිය ඔක්තෝබර් මාසයේ සිට රට සිසාරා පැනනැඟි විරැකියාව, සමාජ අසමානතාවය සහ ආන්ඩුවේ දූෂනයට එරෙහි මහජන විරෝධතා හමුවේ ඉල්ලා අස්වීමෙන් පසු භාරකාර ආන්ඩුවක නායකත්වය දරන ඉරාක අගමැති අබ්දුල් මහඩි, වැඩ වර්ජන විස්තර කලේ ඉරාක ත්‍රිවිධ හමුදාවේ කොටසක් ලෙස සලකනු ලබන මිලීෂියාවට එරෙහි “පිලිගත නොහැකි දරුනු ප්‍රහාරයක්” ලෙස ය. එහි “භයානක ප්‍රතිවිපාක” ගැන ඔහු අනතුරු ඇඟවීය. බෝම්බ හෙලීමට ටික වේලාවකට පෙර එක්සත් ජනපද ආරක්ෂක ලේකම් එස්පර් විසින් ඒ ගැන ඔහුට දැනුම් දෙන ලද අතර, ප්‍රහාර නතර කරන ලෙස හෙතෙම නිරර්ථක ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජනපද ප්‍රහාරය හෙලා දුටු එරට ජනාධිපති බර්හැම් සාලිහ්, එක්සත් ජනපද තානාපති නිලධාරියෙකු සමඟ පැවැත්වූ සමාන සංවාදයක් විස්තර කලේය.

තානාපති කාර්යාලයට ආරක්ෂාව සපයන ලෙස කරන ලද වොෂින්ටනයේ ඉල්ලීමට “වේගයෙන් ප්‍රතිචාර දැක්වීම” ගැන ට්‍රම්ප් බදාදා ට්විටර් පනිවිඩයක් නිකුත් කල අතර, හරිත කලාපය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එක්සත් ජනපද පුහුනුව ලත් ඉරාක ත්‍රස්ත විරෝධී බලකාය මාධ්‍ය වෙත පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කලේය. ඒ, “ඕනෑම ආයතනයක්” ආරක්ෂා කිරීමට නියෝග ලැබී ඇති බව ප්‍රතික්ෂේප කරමිනි.

විරෝධතාකරුවන් හරිත කලාපයෙන් ඉවත්ව “ඔව්, අපි ඔවුන්ව පුලුස්සා දැමුවෙමු!” යනුවෙන් සටන්කාමීන්ගේ නායකයින්ට පැවසීමෙන් පසු, ඔවුන් තම අරමුන සාක්ෂාත් කර ගත් බවත්, එක්සත් ජනපද හමුදා සියල්ලම රටින් නෙරපා හැරීමට ඉරාක පාර්ලිමේන්තුවේදී නීති සම්පාදනය කල යුතු බවත් පැවසීය.

අතීතයේ දී ඒවන් යෝජනා හඳුන්වා දී ඇති නමුත් සාර්ථක නොවීය. වර්තමාන අර්බුදය එවැනි පියවරක් අනුමත කිරීම සඳහා කොන්දේසි නිර්මානය කර තිබේ. ඉරාක ව්‍යවස්ථාදායකයේ කන්ඩායම් ගනනාවක නායකයින් එක්සත් ජනපද මිලිටරියේ සහභාගිත්වය අවසන් කිරීම සඳහා සිය සහයෝගය සංඥා කර තිබේ.

පෙන්ටගනයේ සංඛ්‍යාලේඛනවලට අනුව, නිල ඇඳුමින් සැරසුනු එක්සත් ජනපද භටයන් 5,000 ක් පමන ඉරාකයේ සේවයේ යොදවා ඇති අතර, නිසැකවම එම ප්‍රමානයට වඩා වැඩි නොදන්නා සංඛ්‍යාවක්, සිවිල් හමුදා කොන්ත්‍රාත්කරුවන් ද ඇතුලු‍, එහි රඳවා ඇත. ඔවුන් රට තුල සිටීම යුක්ති සහගත කලේ, මීට පෙර ඉරාකයේ දෙවන නගරය වූ මොසුල් සහ අන්බාර් පලාතේ තවත් නාගරික මධ්‍යස්ථාන ගනනාවක් සුන්බුන් බවට පත් කරමින් එක්සත් ජනපදය දැවැන්ත විනාශකාරී කාර්යභාරයක් ඉටු කල “ අයිසිස්ට එරෙහි යුද්ධය ” යන නාමයෙනි. එහිදී දස දහස් ගනනක් ඝාතනය කරන ලදී.

අයිඑස්අයිඑස් බිඳ දැමීමත් සමඟ ට්‍රම්ප් පසුගිය වසර මුලදී, වොෂින්ටනය විසින් “දැවැන්ත ධන සම්භාරයක් වියදම් කර මෙම ඇදහිය නොහැකි පදනම ගොඩනැගූ”‍ අතර, ඉරානය “මේච්චල්” කිරීම පිනිස එය තබා ගත යුතු යයි පැවසීය. ඉරාක ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව “අපේ භූමිය ... අපේ අසල්වැසියන්ට එරෙහිව භාවිතා කිරීමට ඉඩ නොදේ” සහ බැග්ඩෑඞ් “කිසිදු අක්ෂයක කොටසක්” වීමට කැමති නැති බව ප්‍රකාශ කල ඉරාක ජනාධිපතිවරයා මෙම ප්‍රකාශයට ඉක්මනන්ම හරස් කැපීය.

ඉරාකයේ එක්සත් ජනපද මිලිටරි පැවැත්ම නැවැත්විය යුතු නීති සම්පාදනය සඳහා ඉරාක පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කල ද වොෂින්ටනය සිය හමුදා ඉවත් කර ගන්නා බව කිසිසේත් පැහැදිලි නැත. ප්‍රකෝප නොකල හා සාපරාධී ආක්‍රමනයකින් ආරම්භ කරන ලද ඇමරිකානු වාඩිලෑම අඛන්ඩව පවත්වාගෙන යාම, ඉරාක සමාජය විනාශ කල දිග්ගැස්සුනු යුද්ධයේ නව අවධියකට මුල පුරනු ඇත.

තමා මිසයිල ප්‍රහාරවල සහ තානාපති කාර්යාල ආක්‍රමනයක ගොදුරක් ලෙස පවතින බවට වොෂින්ටනය මවාපාමින් සිටියද, මැද පෙරදිග දිගින් දිගටම පවතින ගැටුම් හා ආතතීන් දශක ගනනාවක එක්සත් ජනපද මිලිටරි ආක්‍රමනයේ සහ ඉරාකය, ඉරානය සහ සිරියාවට එරෙහි ආර්ථික සම්බාධකවල ප්‍රතිපලයකි. ඒ වෙනුවෙන් මිලියන ගනනක් ජීවිත විනාශ කර ඇත.

ටෙහෙරානය සහ ප්‍රධාන ලෝක බලවතුන් අතර 2015 න්‍යෂ්ටික ගිවිසුම පසුගිය වසරේදී ට්‍රම්ප් පරිපාලනය විසින් අවලංගු කිරීමත්, ඉරාන තෙල් අපනයනය බිංදුව දක්වා අඩු කිරීම සහ තන්ත්‍ර වෙනසක් හා එක්සත් ජනපද රූකඩ රජයක් ස්ථාපනය කිරීම පිලිගැන්නවීම සඳහා ඉරාන ජනතාව කුසගින්නේ තැබීම අරමුනු කරගත් “උපරිම පීඩනය” යෙදවීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමත් සමඟ මෙය කුලු‍ගැන්වුනි.

ඉරානයට එරෙහි වොෂින්ටනයේ ක්‍රියාවන් සංලක්ෂනය කෙරෙන නොසැලකිලිමත්කම සහ සාපරාධීත්වය, ශක්තියේ සලකුනක් නොව, පාලක මූල්‍ය කතිපයාධිකාරය පිපිරුම් සහගත මිලිටරි ප්‍රචන්ඩත්වය තුලින් පිටතට හැරවීමට උත්සාහ කරන, ඇමරිකානු ධනවාදය ග්‍රහනය කර ගත් ගැඹුරු සමාජ ආතතීන්, ආර්ථික අස්ථාවරත්වය සහ දේශපාලන අර්බුදයේ ප්‍රකාශනයකි.

ඉරානයට එරෙහි යුද්ධයක්, 2003 දී දියත් කරන ලද ඉරාක යුද්ධයේ බිහිසුනු ලේ වැගිරීම් අබිබවා යනු ඇත. එය, සමස්ත කලාපය හා එක්සත් ජ්නපද අධිරාජ්‍යවාදයේ ඊනියා “මහා බල” ප්‍රතිවාදීන් වන රුසියාව සහ චීනය ඇතුලු සියලු‍ ප්‍රධාන බලවතුන් පැටලු‍නු න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක තර්ජනය මානව වර්ගයා හමුවට ගෙන එනු ඇත.