පත්තර මහගෙදර‍ ලොකු අක්කා

අප කවදත් ඇය ඇමතුවේ පුෂ්පා අක්කා යන ආදරණීය නාමයෙනි. මේ හදිසියේ පුෂ්පා අක්කා ගැන ලියන්නට සිත් වූයේ ඈ ගැන නොලියා සිටියොත් එය අප කළ ලොකු වරදක් බැවිනි.

“පත්තර රස්සාව ලේසි නෑ... ඕවා ගැනුන්ට කරන්න පුළුවන් දේවල් නොවෙයි.” මීට අවුරුදු විස්සකට පමණ පෙර ගුරුවරියක කීවේ හිතට දුකක් කැන්දමිනි. එහෙත් ඒ ආසාව අත්හැර දමන්නට කිසිවිටෙකත් අදහසක් නොවිණි. හේතුව වූයේ ඒ වන විටත් ක්ෂේත්‍ර යේ නම දිනා සිටි පත්තර ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය දුටු බැවිනි. රස්සාවේ ස්වාභාවය කෙබඳුදැයි හරි හැටි අවබෝධයක් නොවුණද ශ්‍රියා රත්නාකාර, සුමනා සපරමාදු, අනුලා ද සිල්වා, කරුණ පෙරේරා ආදි වූ ලේඛිකාවන්ගේ හුරුපුරුදු නම් සඟරා පුවත්පත් ආදියෙන් හමු වන විට සිතට අමුතු සතුටක් දැනෙමින් තිබිණි.



කාලය ගෙවිණි. පාසල් කාලය නිමා වී ලේක්හවුසියට පැමිණි අලුත පුවත්පත්වල සේවය කරන කාන්තාවන් දුටු විට සිතට දැනුණේ සතුටකි. ජනතා සවස පුවත් පතේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙස වැඩකරන්නට ගත් විට ඉදහිටක දිනමිණ කර්තෘ මණ්ඩලයට යන්නට ද අවස්ථාව ලැබිණි. ඒ යන්නේ කුමක් හෝ තොරතුරක් දැන ගැනීමටය. එකල දිනමිණේ හඳුනන කිසිවෙක් නොවූහ. නමුදු යමක් දැනගැනීමට හෝ පුංචි ප්‍රවෘත්තියක් පළ කරගැනීමට සිතා දිනමිණ කන්තෝරුවට යන විට මුලින්ම ඇස ගැසෙන්නේ ඇගේ රුවයි. ඒ මුහුණේ කවදත් ඇත්තේ එකම සිනහවකි. ආවේ කුමකටදැයි අසන්නේ ඒ සිනහවයි.

ආධුනිකයන් වුවද ඇය කිසිදිනෙක කළ ඉල්ලීමක් අහක දැමුවේ නැති වා සේම පසු දිනෙක කොරිඩෝවකදී හමුවුවොත් ‘අන්න අරක පළ වුණා’ යැයි කියන්නේ සුපුරුදු සිනාවෙනි. එකල ඇගේ තනතුර කුමක්ද, ඇය කවුද කියා හරි හැටි දැන සිටියේ නැත. නමුදු ඕනෑම වේලාවක සිනහමුසු මුහුණින් සුහද බවින් කාටත් උදව් කරන බව පමණක් දැන සිටියෙමි.

අප කවදත් ඇය ඇමතුවේ පුෂ්පා අක්කා යන ආදරණීය නාමයෙනි. මේ හදිසියේ පුෂ්පා අක්කා ගැන ලියන්නට සිත් වූයේ ඈ ගැන නොලියා සිටියොත් එය අප කළ ලොකු වරදක් බැවිනි.

2019 වසර අන්තිම දින අැය අප කන්තෝරුවට ආවාය. ඒ පැමිණියේ ද මුල්ම දවසේ මා ඇගෙන් දුටු සිනහව මුව රඳවාගෙනමය.

“අද මම යනවා.”

ඇය එකිනෙකා ළඟට ගොස් බොහෝ නිහතමානිව ආචාර කර සමුගන්නට වූවාය. පුෂ්පා අක්කා දිනමිණ කතුකම හමාර කොට වසර හතළිස් තුනක ලේක්හවුස් ජීවිතයට සමු දුන්නේ එසේය.

1977 වසරේදී ලිපිකාරිනියක ලෙස ලේක්හවුස් ආයතනයට බැඳුණු පුෂ්පා සුලෝචනා රොවෙල් පසුව දිනමිණ කර්තෘ මණ්ඩලයට බැදුණාය. උප කර්තෘවරියක, ඉන් පසු නියෝජ්‍ය කතුවරියක ලෙසින්ද දිනමිණ පුවත්පතේ සේවය කළ පුෂ්පා රොවෙල් මහත්මිය පසුව දිනමිණ නියෝජ්‍ය කර්තෘ ලෙසින්ද, සම කර්තෘ ලෙසින්ද කටයුතු කළාය. 2015 වසරේදී ඇය දිනමිණ පුවත්පතේ ප්‍රධාන කතුවරිය බවට පත් වන්නේ මෙරට පුවත්පත් ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමිනි. එනම් සිය වසකට වවා පැරණි දිනමිණ ජාතික පුවත්පතේ ප්‍රථම කතුවරිය වීමේ භාග්‍යවන්ති වෙමිනි. එමෙන්ම ඇය ලේක්හවුස් ආයතනයේ සියලුම සිංහල පුවත්පත්වල කර්තෘවරිය ලෙස ද කටයුතු කළාය.

ලීවිමේ දක්ෂතා දැක්වූ ඇය දිගු ගමනක් පැමිණියාය. ඇය පත්තර මහ ගෙදර ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදිනිය වූවාය

“දැන් මගේ වයස අවුරුදු හැත්තෑ එකයි. මම අවුරුදු හතළිස් තුනක් පත්තර මහගෙදර මාධ්‍ය ජීවිතයක් ගත කළා. පාසල් කාලේ ඉඳලාම මම ලිවීමට කැමැත්තක් දැක්වූවා. ලේඛනයේ නිරත වුණා. ඒත් කිසිම දවසක මම මාධ්‍යවේදිනියක වෙනවා කියලා හිතාගෙන හිටියේ නැහැ. මම හැමදාම මට ලැබුණ තනතුරේ මට පුළුවන් උපරිමයෙන් අවංකව සේවය කෙරුවා. මගේ ජීවිත කාලයෙන් හතරෙන් තුනක් ගෙවුණේ ලේක්හවුස් ආයතනයේ. මම බිරිඳක්, මවක්, මිත්තනියක් ලෙසින් මට මගේම කියලා පවුලක් තිබුණට මගේ දෙවැනි ගෙදර වුණේ පත්තර මහගෙදර. මම පවුල් ජීවිතයත් රස්සාවත් සමබරව ගෙන ගිය කෙනෙක්. මගේ සැමියා අවුරුදු 31ක් මේ ආයතනයේ සේවය කළා. ඔහුගේ පියා ලේක්හවුස් ආයතනයේ ආදී කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ කාලයේ සිට වසර හතළිහක් ලේක්හවුස් ආයතනයේ සේවය කර තිබෙනවා. මගේ මල්ලිත් මේ ආයතනයේ වසර විස්සක් සේවය කළා. මම හැමදාම ලේක්හවුස් ආයතනයට ආදරෙයි. ගෙවුණ කාලය තුළ මම මගේ මාධ්‍ය ජීවිතය ‍ෙබාහෝම තෘප්තිමත්ව කළා. මම ලේක්හවුස් ආයතනයට පැමිණියේ රණපාල බෝධිනාගොඩ මහතා සභාපතිත්වය දැරු කාලයේ. ජීවිතයේ කවදාවත්ම පත්තර මහගෙදර ගත කළ ජීවිතය මට අමතක වෙන්නේ නෑ.”

විශ්‍රාමික එළැඹ ගත වූ තුන්වැනි දිනයේදි හිටපු දිනමිණ කතුවරිය පැවැසුවේ එසේය. කවදත් තනතුර හිස මත තබා නොගත් ඇය කා සමඟත් සුහදව කටයුතු කළාය. දිනමිණ වන් ඉතිහාස ගත පුවත් පතක ප්‍රධාන කතුකම හෙඹවූවද ඇය පත්තර මහ ගෙදර හැමටම කවදත් “පුෂ්පා අක්කා ම” විය. කවුරුත් ඇයට එසේ ඇමතුවේ ළෙන්ගතුකමනි.

දශක හතරකට වැඩි කළක් පත්තර මහගෙදර හැඩ කළ ආදරණීය පුෂ්පා අක්කේ, ඔබට නිදුක් නීරෝගී බව ලැබේවා!

ඉසවි ( උපුටා ගැනීම : සිළුමිණ )