''රනිල් වික්‍රමසිංහට ධූරයේ රැඳෙන්න කිසිදු සදාචාරත්මක අයිතියක් නෑ'' - නලින්


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවට එල්ල වූ විරෝධය  ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තුළින් පිළිබිඹු වූ බවත් එය සජිත් ප්‍රේමදාසට තිබෙන පුද්ගලික විරෝධයක් නොවන බව තමන් විශ්වාස කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අද (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය. 

එජාපයේ වත්මන් නායකත්වය යටතේ දේශපාලනයේ නියැලීමට තමන් සූදානම් නැති බව පවසමින් නලින් බණ්ඩාර බිංගිරිය ආසනයේ එජාප සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ද අගමැති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර තිබේ. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, 

බහුතරයක් තිබ්බට ආණ්ඩු කරන්නේ ඇයි ? 

''අපිට බහුතරයක් තියෙන කතාව ඇත්ත. නමුත්, අපි මොනාටද අපිට බහුතරයක් තියෙනවා කියලා අපිට ජනාධිපති තනතුරක් නැතිව තවදුරටත් ආණ්ඩු කරන්නේ. අපිට අවශ්‍ය නෑ ගෝඨාභය රාජපක්ෂ පිලට ආණ්ඩුව දීලා ඒගොල්ලන්ව  මාසෙන් එක හමාරෙන් පරාජය කරන්න හෝ ඒ මාස තුන, තුන හමාර යන එක අඩාල කරන්න. 


ප්‍රමාද නොවී ආණ්ඩුවෙන් යමු 

මං විශ්වාස කරන්නේ අපි කළයුත්තේ එක පැයක්වත් ප්‍රමාද නොවී, අගමැතිතුමා ඇතුළු කැබිනට්ටුව ආණ්ඩුවෙන් ඉවත් වෙලා වහාම ගෝඨාභය රාජපක්ෂගේ පිලට මේ ආණ්ඩුව බාරදෙන එක. 

සමහරුන්ට ඕන වෙලා තියෙනවා ඉදිරි මාස හතර හෝ හතර හමාර යන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවන්න අපේ අයට. ඒගොල්ලන්ට තියෙන වුවමනාව ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට අවාසියි දේශපාලනිකව මේ නියමිත කාලෙට කලින් පාර්ලිමේන්තු 
මැතිවරණයක් තියෙන එක. හැබැයි අපි දන්නවා දේශපාලනිකව අපිට වාසි දේ තමා පුළුවන් තරම් මැතිවරණය යම්කිසි කාලයකට එහාට යන එක.

රනිල් වික්‍රමසිංහට කිසිදු සදාචාරත්මක අයිතියක් නැහැ අගමැතිධූරයේ ඉන්න

පරාද වෙලා පැයක් යන්න කලින් අගමැතිධූරයෙන් ඉවත් වෙලා සූට්සේක් එකත් අරන් ගියපු රනිල් වික්‍රමසිිංහ මැතිතුමා මේ වෙලාවේ මොකද කරන්නේ. එතුමාට කිසිම දේශපාලන උපක්‍රමයක් තියෙන්නත් බැහැ, සදාචාරාත්මක අයිතියක් තියෙන්නත් බැහැ, මේ වෙලාවේ තවදුරටත් අගමැතිවරයා විදියට මේ ආණ්ඩුව අරගෙන යන්න. එතුමාගේ දේශපාලන උපක්‍රමය වෙන්න ඕන වහාම රාජපක්ෂ පිලට ආණ්ඩුව බාරදීලා යන එකයි. 
   

මේ මැතිවරණ ව්‍යාපාරයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව පරාජයට පත්කරන්න  කටයුතු කරපු සුළු පිරිසක් තමයි අද උත්සහ කරන්නේ රාජපක්ෂ පිලට මේ මහ මැතිවරණයේදී බන්දේසියක තියලා ජයග්‍රහණය අරන් දීලා පක්ෂයේ  බලය රැකගෙන තවදුරටත් විපක්ෂ නායක තනතුරු දරමින්, මහ ලේකම් තනතුරු දරමින් අනෙකුත් තනතුරු දරමින් තව කාලයක් ඉඳලා 25 දී බලය ගන්න. '' යන්නයි.