''නව ජනපති මානව හිමිකම් සුරැකීමට කැපවිය යුතුයි'' - පොම්පියෝ


මෙරට නව ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වල ප්‍රතිසංස්කරණ, මානව හිමිකම් ප්‍රවර්ධනය හා වගවීම වෙනුවෙන් කැපවිය යුතු බව  එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ ඊයේ (18) දිනයේදී වි‍ශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.


මෙම නිවේදනයේ වැඩිදුරටත් පවසන්නේ, 

''ශ්‍රී ලංකාවේ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදීව පැවැත්වීම සම්බන්ධයෙන් ලාංකිකයින්ට සුබ පතන ඇමරිකා එක්සත් ජනපදය නව ජනපති ගෝඨාභය රාජපක්ෂට ද සිය සුබ පැතුම් එක් කරයි. 

ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ, වගවීම, මානව හිමිකම් වලට ගරු කිරීම හා ප්‍රචණ්ඩත්වය නැවත ඇති නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කරන ලෙස අපි ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලා සිටිමු.  ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදයට ගැළපෙන නිදහස්, සාධාරණ හා විනිවිද පෙනෙන ජනාධිපතිවරණයක් පවත්වමින් ලංකාව සිය ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය හා ඊට ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්වීය. 

 සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට සහය දුන් මැතිවරණ කොමිෂන් සභාව, ලාංකීය සිවිල් සමාජය මෙන්ම අපේක්ෂකයින් ද අගය කර සිටින්නෙමු. ලංකාව වටිනා හවුල්කරුවෙකු වන අතර සියලු රට වලට සමෘද්ධිමත් විය හැකි නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් පෝෂණය කිරීම, යහපාලනය ප්‍රවර්ධනය හා කලාපීය කාරණා සම්බන්ධයෙන් සහයෝගීතාව ප්‍රවර්ධනය මෙන්ම යුක්තිය, ප්‍රතිසන්ධානය හා මානව හිමිකම් ප්‍රවර්ධනයෙහිලා රජය හා ලාංකිකයින් සමග කටයුතු කිරීමට අපට අවශ්‍යයය.'' යන්නයි.