''ජනාධිපතිවරණය සමරිසි විමුක්තියේ පළමු වෙඩිමුරයයි'' - වරදාස්



සිය මුහුණූ පොතේ සටහනක් තබන සමාජ ක්‍රියාකාරිකයෙකු වන වරදාස් ත්‍යාගරාජ් පවසන්නේ, පසුගියදා නිමාවට පත්වූ ජනාධිපතිවරණය සමරිසි විමුක්තියේ පළමු වෙඩිමුරය වූ බවයි. 

අදාළ සටහන, 


''අවසන් වූ ජනාධිපතිවරණය සමරිසි ප්‍රජාවට නැවුම් අත්දැකීමක් විය. පළමුවරට උතුරෙත් දකුණේත් සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැපවු මාලිමාවෙන් තරග වැදුණු අනුර කුමාර සහෝදරයා දිනවීමට මාද ඇතුලු සමරිසි ප්‍රජාවේ කිහිප දෙනෙකුම ජාතික ජන බලවේගයේ කොටස්කරුවන් ලෙස හැකි හැම අයුරකින්ම වැඩ කළෙමු. ප්‍රජාවක් ලෙස මෙතෙක් ඡන්දය පාවිච්චි කිරිමට මැලිව සිටි බොහෝ අයට එය පාවිච්චි කිරිමට දේශපාලන හේතුවක් ලබා දුන් මේ ජනාධිපතිවරණය සමරිසි විමුක්තියේ පළමු වෙඩිමුරය විය.

මෙහිදී අනුරට බලාපොරොත්තු වූ ප්‍රමාණයක ඡන්ද ප්‍රමාණයක් නොලැබීම ගැන මට දුකක් තිබුණද, එය අපගේ දේශපාලන ගමන් මග පිළිබඳ අවසානාත්මක ඇගයීමක් ලෙස නොතැකිය යුතුය.

අපගේ පළමු ජයග්‍රහණය වනුයේ සාම්ප්‍රදායිකව එජාපය වෙත තල්ලු කොට තිබු සමරිසි විමුක්තිය ඉන් මුදවාගෙන ප්‍රගතිශීලී මාවතකට ගෙන ඒමට මුලපිරිමට හැකි වීමය. දෙවනුව සමරිසි ප්‍රජාව කොන්කිරිමට එරෙහි එම ප්‍රයත්නය අවම ප්‍රතිරෝධයකින් ජනගත කිරිමට සමත් වීමු. තෙවනුව මෙතෙක් එජාපයේ ප්‍රභු දේශපාලන තන්ත්‍රයෙන් මිදුණු රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනවර්ගයට අයත් උතුරේ මෙන්ම දකුනේත් සමරිසි ප්‍රජාවට එකට වැඩ කළ හැකි වේදිකාවක් තැනීමට අපට හැකි වීමය. මෙමගින් සමරිසි ප්‍රජාව තවදුරටත් දේශපාලන පක්ෂවල පස්සා දොරෙන් නොව ඉස්සරහ වේදිකාවෙන් ගොඩවන්නට හැකි පිරිසක්‍ බවට පත් වෙමින් සිටි. එමනිසා මේ ප්‍රතිඵලය මත පමණක් අපගේ ව්‍යායාමය විනිශ්චය කිරිමට උත්සුක නොවෙමු.

කෙසේ නමුත්, සිංහල අතිබහුතරය විසින් නව න්‍යාය පත්‍රයක් සහිතව ජනාධිපතිවරයෙක් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් තෝරාගැනීම අප අගය කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනල්ලු එදා විථී බැස්ස ව්‍යායාමය අපතේ නොගිය එක ගැන නිහතමානී සතුටක් සමරිසි ප්‍රජාවද සතුය.

නමුත් ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදීවූ පත් වූ පමණින් ඔහු ප්‍රජාතන්ත්‍රවාදීවේය යන්නට කිසිවෙකුටත් සහතික විය නොහැක. විශේෂයෙන් ඔවුන්ව පත් කළ ජනතාවටම එරෙහි වූ අවස්ථා එමටය. සමරිසි ප්‍රජාව අප ඉන් ඇති පමණ බැට කා ඇත්තෙමු. එම නිසා අපගේ මීළග ඉලක්කය විය යුත්තේ ඉදිරි කාලයේදි සමරිසි ප්‍රජාවද ඇතුලු අප සියලු දෙනාට සමානව සලකන පාලනයකට අවශ්‍ය බලවේග ශක්තිමත් කළ යුතුය. එම නිසා මේ ආරම්භ කළ අපගේ ගමන තව තවත් ඉදිරියට ගෙන යාම අපගේ කරමත ඇති වගකීමකි. ඒ මාර්ගය කටුක එකකි. පාලකයින් අපිව ජාතිය, ආගම, භාෂාව හා ප්‍රදේශය යනාදී ලෙස බෙදන්න්ට උත්සාහ කරාවි. නමුත් අපගේ ශක්තිය ඇත්තේ එම බෙදීම රේඛාවලට ඉහළින් යන පාලමක් ලෙස උතුර-දකුණ යා කළ පාලමක් වෙනුවෙන් නැගී සිටියහොත් පමණි. ඒ වෙනුවෙන් අපි සූදානම් වෙමු.

එන්න හදමු ඒ සමනළ පාලම'' යන්නයි.