‘‘සාමකාමීව ඡන්දය ප්‍රකාශ කරන්න‘‘ - අගමැති


ප්‍රජාතන්ත්‍රවාදී, නීතිගරුක, සාධාරණ සහ යුක්තිගරුක පරිසරයක පැවැත්වෙන මුල්ම ජනාධිපතිවරණය හෙට දිනයේදී පැවැත්වෙන බවත් ඡන්දය සාමකාමීව ප්‍රකාශ කරන ලෙසත් අද (15) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළ අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.


‍මෙහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, 

‘‘19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර, රට පුරා ප්‍රජාතන්ත්‍රවාදී, නීතිගරුක සහ සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමට අප කටයුතු කළා. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී, නීතිගරුක, සාධාරණ සහ යුක්තිගරුක පරිසරයක පැවැත්වෙන මුල්ම ජනාධිපතිවරණය හෙට, සෙනසුරාදා පැවැත්වීමට සියලූ කටයුතු සූදානම්.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියලූම විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව විසින් සලසා තිබෙනවා. ඊට අවශ්‍ය ආරක්ෂාව ප්‍රමාණවත් පරිදි සැලසීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය වෙත අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. පුරවැසියන් වශයෙන් අප සියලූ දෙනාගේම යුතුකම හා වගකීම වන්නේ නිදහස්, සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා අදාළ ආයතනවලටත්, නිලධාරීන්ටත් උපරිම සහය ලබා දීමයි.

අප කළ යුත්තේ මේ නිදහස් පරිසරය තවතවත් ශක්තිමත් කරලීමයි. යළිත් අතීතයේ මෙන් අශීලාචාර දේශපාලන සංස්කෘතියක් නිර්මාණය නොවීමට උපරිම අයුරින් දායක වීමයි. ඒ නිසා මා ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින්නේ හෙට, එනම් නොවැම්බර් 16 වන දින සාමකාමීව ඔබේ ඡන්දය ප්‍රකාශ කර මෙම ජනාධිපතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි. 

එසේම, මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නීතිය හා සාමය ආරක්‍ෂා කරමින්  සාමකාමීව කටයුතු කරන ලෙස මා ඔබ සැමගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා.'' යන්නයි.