ඇමරිකන්කාරයෙක් ලංකාවේ රජ වීම - (දේශප්‍රේමීන්ගේ අවධානය පිණිසයි)




 - ගාමිණී වියන්ගොඩ -


ලංකා ඉතිහාසයේ නොයෙක් වර විදේශ ජාතිකයන් යටතට ලංකාව පත්ව ඇති බව අපි දනිමු. පුරාතන යුගයේ විටින් විට ඉන්දීය ආක්‍රමණිකයන් යටතේ ලංකාව පාලනය වී ඇත. නූතන යුගයේදී පෘතුගීසීන් යටතේ රටේ එක් කොටසක් වසර 155 ක් ද, ලන්දේසීන් යටතේ එම ප්‍රදේශය තවත් වසර 140 ක් ද, ඉංග්‍රීසීන් යටතේ මුළු රටම වසර 133 ක් ද පාලනය වී තිබේ. එහෙත් වසර 2500 කට අධික ලංකා ඉතිහාසය තුළ ඇමරිකානුවෙකු යටතේ කිසි විටෙක ලංකාව පාලනය වී නැත. එසේම ඒ සෑම අවස්ථාකම ලංකාව විදේශිකයන්ට යටත්ව ඇත්තේ හමුදාමය ආක්‍රමණිකත්වයක් යටතේ ය.

ලබන නොවැම්බර් 16 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළහොත්, ඡන්ද බලයෙන් ඇමරිකානුවෙකු යටතට ලංකාව පත්කරවීමේ ‘(අප) කීර්තියත්’ ලංකා ඉතිහාසයට එක් වනු ඇත.

මේ රටේ පසුගිය කාලයේ, විශේෂයෙන් තිස් අවුරුදු යුද්ධය සහ ඉන් අනතුරුව ගත වූ කාලය තුළ, සිංහල දේශප්‍රේමය තරම් දෛනික භාවිතයේ යෙදුනු වෙනත් කිසි කාරණයක් දැක ගැනීමට නොවුණි. ඒ දේශප්‍රේමය විසින් රටේ සංස්කෘතිය ආක්‍රමණය කරන ලදි. අපේ දේශපාලනය ආක්‍රමණය කරන ලදි. ඒ සියල්ලටමත් වඩා, අපේ ආගම ආක්‍රමණය කරන ලදි. 

රටේ ආර්ථික සහ දේශපාලනික විපර්යාසයන් තුළත් එකී දේශප්‍රේමය මුල් තැනක් ගත් බව පෙනුණි. එහිදී, දේශප්‍රේමයේ මාරක සතුරා වශයෙන් බොහෝ විට නාමකරණය වුණේ ඇමරිකාවයි. ලංකාවේ සිදු වන ඕනෑම සංසිද්ධියක් සම්බන්ධයෙන් ගර්හාත්ම අරුතක් ජනනය කැරැවීම සඳහා කවුරුත් සුපුරුදු පරිදි පාවිච්චියට ගත් ජනප්‍රිය සටන් පාඨයක් බවට ඇමරිකානු විරෝධය පත්විය.

අපේ සංවර්ධන අරමුණක් වෙනුවෙන් පසුගිය දා ඇමරිකාවෙන් ලැබීමට නියමිතව තිබූ ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ හෙවත් එම්. සී. සී. වශයෙන් හැඳින්වෙන ඩොලර් මිලියන 487 ක් තරම් වූ විශාල ප්‍රදානයත් භාර ගැනීම වළක්වන ලද්දේ ඇමරිකාව පිළිබඳ පවතින යම් ජන්මාන්තර එදිරිවාදිකමක ප්‍රතිවිපාකයක් වශයෙනි. එය, අපේ දේශප්‍රේමයේ ආසන්නතම බිල්ලයි. 
    
එහෙව් රටේ, ජනාධිපතිවරණයට දැන් ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානුවෙකු වීම බොහෝ දෙනාට, විශේෂයෙන් ඊනියා දේශප්‍රේමයෙන් තොරව හුස්ම ගැනීමට පවා නොහැකි බවක් පෙන්නුම් කරන මහජාතිවාදීන්ට ප්‍රශ්නයක් වී ඇති බවක් නොපෙනේ. එම්. සී. සී. ගිවිසුම හරහා ඇමරිකානු ආක්‍රමණයට ලක්වෙතැයි කීවේ ලංකාවේ එක් භූමි තීරුවක් පමණි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ නමැති ඇමරිකානුවා ලංකාවේ ජනාධිපති තනතුරට පත්වුවහොත් මුළු ලංකාවම ඇමරිකානුවෙකු යටතට පත්වන්නේය. 

මීට කලකට ඉහතදී ගෝඨාභය රාජපක්ෂ සිය බිරිඳ සමග ඇමරිකාවේ වාසයට යාම සඳහා යුද්ධයෙන් ඉල්ලා අස්වීම මොවුන්ට ප්‍රශ්නයක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ එසේ ඇමරිකාවට ගොස් ලංකාවේ පුරවැසි භාවය අතහැර අවුරුදු 12 ක් තිස්සේ පූර්ණ ඇමරිකානුවෙකු වශයෙන් ජීවත්ව සිටීම මොවුන්ට ප්‍රශ්නයක් නොවේ. 2005 දී අයියා ලංකාවේ රජවීම නිසා පමණක්ම ගෝඨාභය ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීම මොවුන්ට ප්‍රශ්නයක් නොවේ. 

ද්විත්ව පුරවැසිභාවය යනු පළමු පුරවැසිභාවයක් ද ඇති බවයි. ද්විත්ව වන්නේ ලංකාවෙන් ලබාගන්නා පුරවැසිභාවයයි. ප්‍රධාන වන්නේ ඇමරිකානු පුරවැසිභාවයයි. එයද, මොවුන්ට ප්‍රශ්නයක් නොවේ. ඊළඟට, ඒ ඇමරිකානු පුරවැසිභාවය අතහැර මුළුමණින් ශ්‍රී ලාංකිකයෙකු වීමට ගෝඨාභය රාජපක්ෂ තීරණය කරන්නේ මේ වසරේදී ය. එනම්, අවුරුදු 26 ක් තිස්සේ (1993-2019) තමන්ගේ ඇමරිකානුභාවය අතහැරීමට මේ ගෝඨාභය රාජපක්ෂට කැමැත්තක් නොතිබීම අර කී දේශප්‍රේමීන්ට ප්‍රශ්නයක් නොවේ. අවසානයේදී, පසුගිය අප්‍රේල් මාසයේ ඒ ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමේ සිතැඟියාව අනුව ඔහු ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට ඉල්ලුම් පත් භාර දෙමින් මුල් පියවර ගන්නේ වෙන කිසිවක් නිසා නොව, ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහාම පමණි. ජනාධිපති ධුරාපේක්ෂකත්වය ලැබුණොත් පමණක් තමන් ඇමරිකානු පුරවැසිභාවය අත්හරින්නෙමැයි ඔහු ප්‍රසිද්ධියේමත් කීය. එය පවා අර කී දේශප්‍රේමීන්ට ප්‍රශ්නයක් නොවේ. 

එකී ඇමරිකානු පුරවැසිභාවය අතහැරීම සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කොට ඇති ලියවිලිවල සත්‍යතාව මේ දක්වා ඔප්පු කොට පෙන්වීමට ඔහු අසමත්ව තිබේ. ඔහුගේ නීතිඥවරුන් විසින් ඇතැම් මාධ්‍ය සාකච්ඡා තුළ පෙන්වන ලියවිලි ව්‍යාජ ඒවා බව ඕනෑම කෙනෙකුට පෙනෙන්ට තිබෙන දෙයකි. උදාහරණයක් වශයෙන්, එක් ඇමරිකානු ලියවිල්ලක දාතම යොදා ඇත්තේ ඇමරිකානු ක්‍රමයට නොව, ලංකාවේ ක්‍රමයට ය. තවත් ලියවිල්ලක් තුළ ‘අවලංගු කරන ලදි’ යන්න ඉංග්‍රීසියෙන් සඳහන් වන්නේ, ‘අවලංගු කරනවා’ යනුවෙනි. ඇමරිකානුවන්ටත් ඉංග්‍රීසි වරදින බවද එයින් කියැවෙන්නේ?

යම් හෙයකින් මේ ජනාධිපතිවරණයෙන් ඔහු ජයගත්තොත්, නොවැරදීම ඔහුගේ මේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ඡන්ද පෙත්සමක් වශයෙන් ඉදිරියට එනු ඇත. මීට පෙර ගීතා කුමාරසිංහ සම්බන්ධයෙන් එවැනි ගැටළුවක් මතු වූ අවස්ථාවේ එය විසඳුණේ ඇගේ මන්ත්‍රී ධුරය අධිකරණය මගින් ඇයට අහිමි කිරීමෙනි.

මේ නිසා, මෙවර මෙරටේ ඡන්දදායකයා ඉදිරියේ ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදියෙකු සහ ෆැසිස්ට්වාදියෙකු අතර තේරීමක් කිරීම පමණක් නොව, ඇමරිකානුවෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු අතරේද තේරීමක් කිරීම ද වන්නේය. සැබෑ දේශප්‍රේමීන් නම්, සැබවින්ම මේ අවස්ථාවේ කළ යුත්තේ, මෙකී ඇමරිකානු ආක්‍රමණය පරාජය කිරීමයි. 

පසගිය දා දෙරණ නාලිකාවේ වැඩසටහනකට සහභාගී වෙමින් ගෝඨාභය රාජපක්ෂ මේ කාරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ඉදිරිපත් කළ පුරවැසිභාවය අහෝසි කෙරිණැයි කියන ලියවිල්ල තුළ පැවති ඉතා පැහැදිලි නොපෑහීම් ගැන එම වැඩසටහන මෙහෙයැවූ මාධ්‍යවේදිනිය කිසි ප්‍රශ්න කිරීමක් නොකළාය. එම වැඩසටහන, අදාළ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට වඩා ගෝඨාභය රාජපක්ෂට එම ප්‍රශ්නයෙන් පලායාමට අවස්ථාව ලබාදීම සඳහා සකස් කළ වැඩසටහනක් බව හොඳින්ම ප්‍රදර්ශනය වුණි. 

ඇත්ත වශයෙන්ම, යමෙකු ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමේදී එම පුද්ගලයාව ඇමරිකානු රාජ්‍ය ආයතන හතරකින් නිරවුල් කළ යුතුව තිබේ. ඉන් පළමුවැන්න වන්නේ, ඇමරිකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි. ඒ රටට ඔහුගෙන් අයවිය යුතු බදු ආදිය ඔහු නොපිරිහෙලා ගෙවා තිබේද වැනි කාරණා එහිදී සොයා බැලේ. දෙවැනි ආයතනය වන්නේ, ඇමරිකානු ආගමන විගමන දෙපාර්තමේන්තුවයි. තුන්වැනි ආයතනය වන්නේ, ඇමරිකානු ස්වදේශ ආරක්ෂක අමාත්‍යාංශයයි. අවසානයේ, ඇමරිකාවේ එෆ්.බී.අයි. නමින් හැඳින්වෙන ෆෙඩරල් බුද්ධි අංශය මගින්ද එම පුද්ගලයාගේ ඇමරිකානු පුරවැසිභාවය අතහැරීම අනුමත කළ යුතුව තිබේ. 

මේ කියන කිසි ආයතනයකින්, මේ දක්වා ගෝඨාභය රාජපක්ෂගේ නම ඇමරිකානු පුරවැසි ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අනුමැතිය දී නැත. ඒ අනුව බලන විට, මේ වසරේ පසුගිය අප්‍රේල් හෝ මැයි මාසයේදී ඔහු විසින් ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ඉදිරිපත් කොට ඇතැයි කියන පුරවැසිභාවය අතහැරීමේ ඉල්ලුම් පත්‍රය වනාහී, දීර්ඝ ක්‍රියාවලියක පළමු පියවරක් පමණි. වෙනත් වචනවලින් කිවහොත්, ඔහු ඇමරිකාවෙන් දික්කසාද වීමට ඉල්ලා ඇති මුත්, එරටින් ඒ දික්කසාදය ඔහුට ලැබී නැති බවයි. මෙය, පුද්ගලයෙකුගේ වෛවාහක දික්කසාදයක් සම්බන්ධයෙන් ඇතිවන තත්වයට සහමුලින්ම සමාන ය. ඔබ, සහකරුවාගෙන් හෝ සහකාරියගෙන් දික්කසාද වීමට අධිකරණයක් ඉදිරියේ නඩුවක් පැවරූ දවසේම ඔබ දික්කසාදය ලැබූවෙකු වශයෙන් සැලකෙන්නේ නැත. අධිකරණයේ අවසාන විනිශ්චය එන තෙක් ඔබ වෛවාහක ය. 

මෙතෙක් කල් සෑම සියලු දෙයක් ගැනම දේශප්‍රේමී ලේබලය ආඩම්බරයෙන් අලවා ගැනීමට ලොල් වූ බොහෝ පිරිස් මේ අතිශය වැදගත් කාරණය ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් නොතකා හැරීම, ඇත්තෙන්ම ඔවුන්ගේ දේශප්‍රේමයේ නිරුවත විදාරණය කරන්නකි. කෙසේ වෙතත්, සැබෑවට මේ රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් කවුරුත් මේ අවස්ථාවේ ඇමරිකානුවෙකුට ලංකාවේ ජනාධිපතිවීමට ඇති ඉඩකඩ මුළුමණින් වසා දැමෙන පරිද්දෙන්, එළැඹෙන නොවැම්බර් 16 වැනි දා තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කිරීම වටී. ඒ කාරණය අරභයා ඔවුන් තෝරාගත යුත්තේ, ගෝඨාභය රාජපක්ෂව පරාජය කිරීමේ හැකියාව ඇති එකම පුද්ගලයා වන සජිත් ප්‍රේමදාසවයි.