සජිත් - ගෝඨාට සුබ පතයි, නියෝජ්‍ය නායකත්වයෙන් ඉල්ලා අස්වේ


මීට සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් නිකුත් කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසන්නේ දැඩි සටනක් හා උද්යෝගිමත් මැතිවරණ ව්‍යාපාරයක් අවසානයේදී ජනතාවගේ තීරණයට හිස නමා ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීප්වීම පිළිබඳ ගෝඨාභය රාජපක්ෂට සුබ පතන 
බවයි. 

තමන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සියළු ජනතාවට හදපිරි ස්තුතිය පිරිනමන බවත්, ඉතිහාසයේ අතිශය සාමකාමී මැතිවරණයක් මෙරට තුළ දැකබලාගැනීමට හැකිවූ බවත් 
ඔහු මෙමගින් අවධාරණය කර සිටියි. 

පසුගිය වසර පහක කාලය තුළ ස්වාධීන මැතිවරණ කොමසම හා නීතියේ ආධිපත්‍යය මෙරට තුළ සුරකිමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හැකිවූ බවත් මෙරට හත්වන විධායක ජනාධිපති ලෙස තේරීපත්වන ජනාධිපතිවරයා මේ ආයතන ඉදිරියටත් ශක්තිමත් කරනු ඇති බවත් ඔහු සිය විශ්වාසය පළකරයි. 

පශ්චාත් මැතිවරණ සමය තුළදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කිසිදු ආධාරකරුවෙකුට පීඩාවක් හෝ හානියක් නොකරන ලෙසත් ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි.

මේ සමග එජාපයේ නියෝජ්‍ය නායකත්වයෙන් ද තමන් ඉල්ලා අස්වන බව ඔහු පවසයි

සම්පූර්ණ නිවේදනය, 

''මා සමග පුරා වසර 26ක් දේශපාලනය කිරීමේදී එකට සිටි ආදරණීය සියළුම ජනතාවට සිය ස්තුතියි.!
සජිත් ප්‍රේමදාස

තීරණාත්මක සහ අසීරු මැතිවරණයක් අභියසදී, හද පිරි ගෞරවයෙන් යුතුව ජනතාවගෙ තීරණයට හිස නමමින් ශ්‍රී ලංකාවෙ හත්වන විධායක ජනාදිපති ගරු ගෝඨාභය රාජපක්ශ මැතිදුන්ට සුභාසිංශන එකතු කිරීමිට මම කැමැත්තෙමි.

එලෙසම ශ්‍රී ලංකාව පුරා මා කෙරෙහි විශ්වාසය තබමින් මා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කල සියලු ශ්‍රී ලාංකීකයින් හට මගෙ හද පිරි ගෞවරය පල කිරීමට කැමැත්තෙමි. පුරා වසර 26ක් පුරාවට මගේ දේශපාලන දිවියේ අත්තිවාරම වූයේ ඔබයි. එලෙසම දිවා රෑ නොබලා මාගේ ඡන්ද ව්‍යාපාරයේ නියලුනු සෑම දෙනාටමද මාගෙත් මගේ පවුලේ සාමාජිකයන්ගේද හද පිරි ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි.
පසු ගිය වසර 5 පුරාවට සිදු කෙරුනා වූ ස්වාධීන මැතිවරණ කොමිසම් සභාවක් ස්ථාපනය කිරීම, ආයතනික ප්‍රතිසංස්කරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් වල ප්‍රතිඵලයක් ලෙස අප සියලු දෙන ශ්‍රී ලංකාවේ පැවති අතිශයින්ම නිදහස් හා සාමකාමී මැතිවරණයක් අපි භුක්ති වින්දෙමු. නව ජනාධිපතිතුමන් වෙත කෙරෙන මාගෙ ඉල්ලීම නම් එම ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යුහයන් තවදුරටත් ශක්තිමත් කරමින් ආරක්ෂා කරන ලෙසටත්, කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි කිසිදු පාක්ෂිකයෙකුට හිරිහැරයක් හෝ කරදරයක් නොවන අන්දමින් රට පාලනය කරන ලෙසයි.
පුරා වසර 26ක කාලයක් මා ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වුනු අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අහිංසක ජනතාවට නිරතුරු සේවය කිරීමට උත්සුක වුනෙමි. නිවාස සංවර්ධන අමාත්‍ය දූරයේ පසු ගිය වසර 5 තුල සේවය කිරීම මා ලද මහඟු ගෞරවයක් ලෙස සලකන අතරම වර්ෂ 2025 වන විටදී හිසට නිවසක් ඇති සමාජයක් නිර්මාණය කිරීමට වෙහෙසවී කටයුතු කළෙමි. මාගෙ විශ්වාසය සහ ප්‍රාර්ථනාව නම් පොදු මහත් ශ්‍රී ලාංකීක ජනතාව එම උත්සහය තේරුම් ගෙනා බවයි.

මැතිවරණයේ තීරණය ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් මා ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.

එලඹෙන සති කිහිපය තුලදී මගේ මැතිවරණ ක්‍රියාවලිය තුල මා හට සහයෝගය පල කල සියලු දෙනා සමග සහ මගෙ ආදරණීයන් සමග එක්වී මගෙ අනාගත දේශපාලන දිවිය සම්බන්දව තීරණයකට එලඹීමට මා අධිෂ්ඨාන කරමි.

මීට,
පොදු මහා ජනතාවට ලැදි,

සජිත් ප්‍රේමදාස''