නායකයාගේ විනෝදය මගේ ද විනෝදය වේ




- මහේෂ් හපුගොඩ - 


එක් යුගයක ජනප්‍රිය ගායකයෙක් වූ මදුමාධව අරවින්ද විසින් මුහුණු පොතට අප්ලෝඩ් කර තිබු පෝස්ටුවක් සහ වීඩියෝවක් මගේ මුහුණු පොත් මිතුරෙක් මට දකින්නට සැලැස්සුවා. නැත්නම් මම මධුමාධව ගේ එකවුන්ට් එක බලන්න යන්නේ නැහැ. එයින් මම දුටුවා ඔහු ගෝඨාබය රාජපක්ෂ මහතා ගේ පුරවැසි නඩු තීන්දුවෙන් පස්සේ උදම් වෙලා ප්‍රතිචාර දක්වන හැටි සහ ජයපැන් බොන සැටි. ඒක ඔහුගේ අයිතිය. ඒ ගැන මට ගැටළුවක් නැහැ.

ඒ එක්කම ඔහු දමා තිබූ ඒ පොස්ටුව ගැන විශාල විරෝධයක් මුහුණු පොත පුරාම පළවී තිබුණා. ඒකෙන් වක්‍රව කියවුනේ වියන්ගොඩටත් එක්නැළිගොඩ ගිය මාවතේ ම යන්න සුබ පතනවා කියන එක. එක්නැළිගොඩගේ දෛවය අප දන්නා නිසා මධුමාදව මේ කියන දේ සරල නැහැ. අපගේ ව්‍යාපෘතිය ට එරෙහි වන ඕනෑම කෙනෙකුට එක්නැළිගොඩ ගිය මාවත විවෘතයි කියන එක ඉතාම ප්‍රශ්නකාරී ප්‍රකාශයක්. තමන්ට විරුද්ධ ඔක්කොම අතුරුදහන් වුනොත් කෝ මධුමාදව අනෙකෙක්? කෝ අපිට ආදරයක්? අනෙකෙක්, වෙනසක්, විරෝධයක් නැති සමාජය කොච්චර නීරස වෙයි ද?

ඔහු ජයපැන් බොන වීඩියෝවක් තියනවා. ඒ වීඩියෝව ඇතුලේ ඔහු කියන එක වගන්තියක් තියනවා. ඒ වගන්තියේ ඔහු කියනවා 'අපට ඉන්නේ මවක් විතරයි' කියන එක. මේක ඔහුටත් අවිඥානිකයි. ඒ කියන්නේ පියෙක් නැහැ ඔහුව ශිෂ්ට කරන්න. ඔහුගේ ප්‍රමෝදය කප්පාදු කරන්න. නැවත සංකේත පිළිවෙලට ගෙනත් මේ පොළොවේ හිටවන්න. අනෙකාගේ මතයට ගරු කරන්න කියල දෙන්න.


ඔහු සමරන්නේ යම් යුතෝපියාවක්. මේ ලෝකේ නොමැති එහෙත් ඔහුගේ හිතේ පමණක් තියන මනෝ රාජ්‍යයක්. ලංකා මාතාව නැවත ඉපදුණා වගේ දෙයක් ඔහු කියන්නේ. මාතෘ මූලික හැඟවුමක් උත්කෘෂ්ට කිරීමක්. මේ යුතෝපියාවට එරෙහි ඕනි එකෙක් විනාශ කරමු කියල ඔහු ඉල්ලනවා. ජාතිය කියන සංකල්පය ගැන මගේ මතය මොකක් උනත් මේ පරිකල්පිත සිංහල රාජ්‍යයේ ප්‍රමෝදය වෙනුවෙන් අනෙකා විනාශ කිරීම තමයි ඇත්ත දේශපාලන ප්‍රශ්නය. මෙතැන තමයි රෝස මල. වමේ දකුණේ භේදයක් නැතුව හැමෝම ඇත්තට එකතු වෙන්න ඕනි තැන මෙතන. නැත්නම් අපිට කරන්න දේශපාලනයක් ඉතුරු වෙන්නේ නැහැ.





මේ පරිකල්පිත මනෝ රාජ්‍යයේ පිතෘ මූලික පාලකයෙක් ඉන්නවා. මෙතැනදී ඔහු ඒක අවිඥානික විදියට ප්‍රක්ෂේපනය කරන්නේ පුරුෂ හැඟවුමක් විදියට ඔවුන්ගේ නායකයාට - ගෝඨාබය මහත්තයට. එකම එක දෙය තමයි මේ පශ්චාත් නූතන පියා මධුමාදව ගේ විනෝදය කප්පාදු නොකරන එක. කිසිවක් ගැන පාලනයක් නැති නිසා ඒ ඇතුලේ ඔහු කරන්නේ නායකයාගේ ආශාව තව තවත් රඟ දක්වන එක. ඒකයි අර ජෝන් සී. මැක්ස්වෙල් කියන 'නායකයා කවුද කියන එක ඔහුගේ අනුගාමිකයින් ගෙන් හිතාගන්න පුළුවන්' කියන ප්‍රකාශය මෙතනදී මනෝ විශ්ලේෂී අර්ථයෙන් සම්බන්ද වෙන්නේ.

ඉතින් නාසිවාදය ඇතුලේ වුනෙත් නායකයා ජාතිය එක්ක යුතෝපියාවක් හැදුව එක සහ අනුගාමිකයෝ ඒ නායකයා ගේ විපරීත ආශාව රඟ දක්වපු එක. වැඩි දුරටත් කිව්වොත් නායකයාටත් වඩා හොඳට.