''කාදිනල්තුමා සත්‍ය සොයන්න කළ ඉල්ලීමට එකඟ වෙනවා'' - අගමැති



පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ඉල්ලීම සමඟ තමා එකඟ වන අගමැති රනිල් වික්‍රමසිංහ  ඊයේ (06) ගාල්ල, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරම්භ වූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දකුණු පළාත් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පැවසුවේය. 

එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දැනට ජනාධිපති විසින් පත් කර ඇති කමිටුව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කරන වාර්තාවල ඇතුළත් තොරතුරු මෙන්ම, අනෙකුත් සියලූ තොරතුරු අනාවරණය කරගනිමින් සත්‍යය සොයා ගැනීමට එවැනි ස්වාධීන ජනාධිපති කොමිසමක් මගින් හැකි වන බව ද අගමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

දැනට පත් කර තිබෙන ජනාධිපති කමිටුවේ සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවන් ඉදිරියේ දී නිකුත් වීමට නියමිත බැවින් එම වාර්තාවන් ද පදනම් කර ගනිමින් තවදුරටත් කරුණු සොයා බලා මාස 6 – 7 ක් ඇතුළත ජනතාවට සත්‍යය අනාවරණය කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළ අගමැතිවරයා, අනාගතයේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීමට එවැනි කොමිසමක් ඉවහල් වන බව ද පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවක් ලෙස අප ගත් ක්‍ෂණික ක්‍රියාමාර්ග නිසා මාස දෙකක් ගත වීමට පෙර ඊට සම්බන්ධ වූ ත්‍රස්තවාදී කණ්ඩායම සොයා ගෙන ඔවුන් සියලූ දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද ඔහු  වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 


පසුගිය ආණ්ඩු යටතේ අසාධාරණයට පත්වූ හා අඩු සැලකිල්ලට පාත්‍රව සිටි ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වත්මන්  ආණ්ඩුව යටතේ විශාල සංවර්ධනයක් සිදු කර ඇති බව අමාත්‍ය වජිර අබේවර්ධන ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දකුණු පළාත් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් පැවසීය. 

දකුණු පළාතේ වැඩිම ජනගහණයක් සිටින ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ අයිතිවාසිකම් රැකගැනීමට ක්‍රියා කළ එකම නායකයා  අගමැති රනිල් වික්‍රමසිංහ බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය. 

ගම්පෙරළිය වැඩසටහන යටතේ ග්‍රාමීය සංවර්ධනය මෙන්ම, බෞද්ධ විහාරස්ථාන වැඩිම සංඛ්‍යාවක්  ප්‍රතිසංස්කරණය කළ එකම ආණ්ඩුව වන්නේ වත්මන් ආණ්ඩුව බව යැයි ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මෙහිදී පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ඉදිරියේ දී තනි ආණ්ඩුවක් යටතේ සියලූ අභියෝග ජය ගනිමින් මීට නොදෙවෙනි සංවර්ධනයක් ඇති කිරීමට සූදානම් බව ද ගයන්ත කරුණාතිලක පැවසීය.