ප්‍රගාමී තොරතුරු අනාවරණය - තොරතුරු අයිතිය පිළිබඳ ඉටුනොවූ වගකීම (2)


- විජයානන්ද ජයවීර -

ප්‍රගාමී තොරතුරු අනාවරණය පහදාගමු 

ප්‍රගාමී අනාවරණය යනුවෙන් ඇත්ත වශයෙන් ම හඳුන්වන්නේ අයදුම්පත් වලට අනුව ඉල්ලුම් කරන පුරවැසියන්ට පමණක් මදින් මද තොරතුරු ලබා දීමකට සීමා නොවී විවෘතව මහජනතාවට ප්‍රසිද්ධියේ දැන ගැනීමට සැලැස්වීම පිණිස සැම පොදු අධිකාරියක් ම තමන් සතු සියලු තොරතුරු ප්‍රගාමී ලෙස ප්‍රකාශයට පත් කිරීමයි. තමන්ට කළ හැකි උපරිම අන්දමින් ප්‍රගාමී ව තොරතුරු අනාවරණය කිරීම තොරතුරු පනතේ අරමුණ පිළිබඳ ව, විශේෂයෙන්ම එහි පූර්විකාවේ ඉස්මතු කර ඇති වගවීම සහ පාරදෘෂ්‍යභාවය යන අභිප්‍රාය සම්බන්ධයෙන් පොදු අධිකාරියකට ඇති කැපවීම පිළිබිඹු කරයි. තොරතුරු අයිතිය පනත යටතේ ප්‍රගාමී තොරතුරු අනාවරණය පිළිබඳ රෙගුලාසිය හඳුන්වා දීමට පෙර පොදු අධිකාරි වල පාරදෘෂ්‍යභාවය පොදුවේ මහජන සංනිරීක්ෂණයට ලක් කළ හැකි ක්‍රමවේදයක් අපට නො වීය. කෙසේ වෙතත් පාරදෘෂ්‍යභාවය හා වගවීම පිළිබඳ ආයතනික කැපවීම කෙරෙහි මහජන විශ්වාසය වැඩි විය හැක්කේ එම ආයතන ප්‍රතික්‍රියක අනාවරණයට වඩා ප්‍රගාමී අනාවරණයට බර තබා කටයුතු කරන විට ය.

පුරවැසියන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉටු කර දීම යනු පොදු අධිකාරියක් විසින් හුදෙක් අයදුම්කරු ට පමණක් තොරතුරු ලබා දීම නොව මුලු මහත් සමාජයට ම දැන ගැනීමට හැකි වන අන්දමට පොදුවේ තොරතුරු හෙළිදරව් කිරීමයි. ඉන්දීය නීතිය මෙන් නොව අපේ තොරතුරු නීතිය යටතේ පනවන ලද අංක 20 දරන රෙගුලාසිය මගින් පොදු අධිකාරියක් විසින් ප්‍රගාමී තොරතුරු අනාවරණය ඉටු කරනු ලැබිය යුතු නිශ්චිත කාලයක් නියම කර නැත. එහෙත් ප්‍රගාමී ලෙස පළ කළ යුතු තොරතුරු ලෙස එම රෙගුලාසියෙන් හුවා දක්වා ඇති කරුණු ඕනෑම පොදු අධිකාරියකට පාරදෘෂ්‍යභාවය හා වගවීම සම්බන්ධයෙන් සිය කැපවීම පිළිබිඹු කර දැක්වීමට තරම් ප්‍රමාණවත් ය. ඒ අනුව අඩු ම වශයෙන් රාජ්‍ය අංශයේ පොදු අධිකාරි සියල්ල නිශ්චිත කාලයක් තුළ රෙගුලාසි අංක 20 මුලුමනින් ම පිළිපැදීමට මෙහෙයවිය හැකි මූලෝපායක් රජය වසින් සකසා ක්‍රියාවට නැංවිය යුතු ය. ප්‍රතික්‍රියක අනාවරණය සාක්ෂාත් කර ගැනීමට මහත් උනන්දුවක් දැක්වූ පුරවැසි සංවිධාන ද එයටත් වඩා උනන්දුවක් ප්‍රගාමී අනාවරණය සාක්ෂාත් කර ගැනීමට යෙදිය යුතු ය. ප්‍රගාමී අනාවරණය තොරතුරු අයිතියේ මූලික ප්‍රතිමානය (norm)බවට පත් කර ගැනීම රජයටත් පුරවැසියන්ටත් අතිශයින් වැදගත් වන හේතු ගණනාවක් තිබේ.

අනොන්‍ය ප්‍රතිලාභ

විවිධ පොදු අධිකාරි මගින් සලසන සේවා හා ඒවා ලබාගන්නා ආකාරය පුරවැසියන්ට දැනුම් දීම රජයකට ප්‍රගාමී තොරතුරු අනාවරණය තුළින් පහසුවෙන් ම කළ හැකිය. එමගින් මහජන යහපත උදෙසා ගනු ලබන සංයුක්ත පියවර පැහැදිලි කර දීමට රජයට අවස්ථාව ලැබෙන අතර එකී කටයුතුවලින් නිසි පල ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය තොරතුරු එක හා සමානව ලබා ගැනීමට ද සියලු රටවැසියන්ට අවස්ථාව සැලසේ.

රජය තුළ හා විවිධ පොදු අධිකාරි අතර අන්තර් ආයතනික වශයෙන් තොරතුරු සංසරණය වීම දියුණු කිරීමට ද ප්‍රගාමී අනාවරණය හේතුවෙයි. විවිධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතන භාරයේ ඉතා වැදගත් තොරතුරු සම්භාරයක් තැනින් තැන හුදකලාව ගබඩා වී පවතී. මේ තොරතුරු එකී ආයතන වල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියේ බෙදා හදා ගැනීමට හැකි නම් එම ආයතන වල භූමිකාව හා ඉටු විය යුතු මහජන සේවා සම්බන්ධයෙන් වඩා පැහැදිලි චිත්‍රයක් මහජනතාවට ලබා දීමට හැකි වේ. එසේ මහජනතාව සමග තමන් සතු තොරතුරු විවෘතව බෙදා ගැනීම එකී ආයතන වල ප්‍රසිද්ධියටත් හා ඒවා මගින් ඉටු කෙරෙන කටයුතු පිළිබඳ මහජන අවබෝධය වැඩිදියුණු කිරීමටත් හේතු වෙයි.

ආයතනික මට්ටමින් කෙරෙන ප්‍රගාමී තොරතුරු අනාවරණය

ආයතනික මට්ටමින් කෙරෙන ප්‍රගාමී තොරතුරු අනාවරණය විවිධ ආයතනවලට හා ඒවායේ කාර්ය මණ්ඩල වලට එකී ආයතන අතර අන්තර් අවබෝධය ඇති කර ගැනීමට ත් එමගින් තම සේවා වල කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ගැනීමේ ලා පොදු එළඹීම් වලට අවතීර්ණ වීමට අවශ්‍ය කෙරෙන අන්‍යෝන්‍ය සහයෝගිතාව වඩා ගැනීමටත් වැදගත් ය. විවෘත තොරතුරු පද්ධතියකින් තොර ව රාජ්‍ය සේවකයන්ට තමන්ගේ ම ආයතනය සතු තොරතුරු පමණක් නොව සිය රාජකාරි සම්බන්ධයෙන් වැදගත් වන අනෙකුත් ආයතන සතු ව ඇති තොරතුරු පහසුවෙන් ලබාගැනීමට අපහසු වීම රජයේ පරිපාලන කටයුතුවල පිරිවැය හා අකාර්යක්ෂමතාව ඉහළ යාමට එක් හේතුවකි. බොහෝ විට රාජ්‍ය අමාත්‍යාංශයක සමස්ත පරමාර්ථය පිළිබඳ ව ඒත්තු යන සුලු පින්තූරයක් ගොඩනගා ගැනීමට පුරවැසියන්ට අපහසු වීමට එක් හේතුවක් වන්නේ සිය භූමිකාව එකී අමාත්‍යාංශය යටතේ සාධාරණීකරණය කළ හැකි අන්දමට අමාත්‍යාංශය යටතට ගැනෙන ආයතන තමන් සතු තොරතුරු ප්‍රගාමී ලෙස ප්‍රචාරණය නො කිරීමයි.

මහජන ඡන්දයෙන් තේරී පත් වූ ආණ්ඩු තම කල්කිරියාව මෙන් ම වියහියදම් ගැන ද මහජනතාවට වගවිය යුතු ය. රජයේ වියපැහැදම් පිළිබඳ සියලු තොරතුරු ස්වේච්ඡාවෙන් ම ප්‍රසිද්ධ කිරීම ‘අපට කිසිවක් සැඟවීමට නැත’ යන්න රජයෙන් ප්‍රකාශ වීමකි. ආයතනික වියදම්, ප්‍රසම්පාදන කටයුතු, මිළදී ගැනීම්, ආණ්ඩුවේ කොන්ත්‍රාත්තු ඈ දේවල් පිළිබඳ සියලු තොරතුරු මහජන සංනිරීක්ෂණය පිණිස ප්‍රසිද්ධ කිරීම දූෂණය හා වංචාව අධෛර්යමත් කිරීමට හේතු වන අතර අනිසි බලපෑම් වලින් තොර ව විෂයබද්ධ ලෙස තීරණ ගැනීමට ආයතන අධිකාරීන් පොලඹවයි. ප්‍රසම්පාදන, මිළ දී ගැනීම් පිළිබඳ පාරදෘෂ්‍යභාවය තරඟකාරී භාණ්ඩ හා සේවා සැපයුම් වලට ද හේතු වෙයි. එමෙන්ම වියදම කීය ද, කුමක් සඳහා කිනම් ප්‍රතිඵලයක් සහිතව ද යන්න නො සඟවා දැන ගැනීමට සියල්ලන්ට ම අවස්ථාව සලසයි.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ තොරතුරු ඉල්ලා ලැබෙන තනි තනි අයදුම්පත් වලට පිළිතුරු සැපයීමේ දී තොරතුරු ඉල්ලන්නාට මෙන් ම තොරතුරු සැපයීමට බැඳී සිටින ආයතනයට ද ඒ එක් එක් ඉල්ලීමක් පාසා කිසියම් පිරිවැයක් හා කාලයක් වැය කිරීමට සිදුවේ. එහෙත් එකී තොරතුර ප්‍රගාමී අනාවරණය යටතේ ප්‍රසිද්ධ කර ඇත්නම් එසේ තනි තනි ඉල්ලුම් වලට තොරතුරු සැපයීමට ආයතන වලට වැය කිරීමට සිදු වන සම්පත් හා කාලය අවම කර ගැනීමට හැකි වේ. තමන්ට අවශ්‍ය කරන තොරතුරු දැනටමත් ආයතනය විසින් ප්‍රසිද්ධ කරනු ලැබ ඇත්නම් ඒවා ලබා ගැනීම පිණිස නැවත තනි තනි අයදුම්පත් ඉදිරිපත් කිරීමට පුරවැසියන්ට අවශ්‍ය නොවනු ඇත. ප්‍රගාමී අනාවරණය නිසා අවශ්‍ය තොරතුර හුදෙක් එය ඉල්ලුම් කරන්නාට පමණක් නොව විශේෂ ආයාසයකින් තොර ව සියල්ලන්ට ම එක ම විටක දී ලබා ගත හැකිය. එසේ සුවිශේෂී ඉල්ලුම් කිරීමකින් තොරව තමන්ට අවශ්‍ය කරන තොරතුරු නිරායාසයෙන් ම සැක හැර දැන ගැනීමට මහජනතාවට හැකි වීම ආණ්ඩු කරණය කෙරෙහි ඇති මහජන විශ්වාසය වැඩි කරලීමට හේතු විය හැකිය.

මේ නිසා සියලු පොදු අධිකාරීන් තමන් සතු අනාවරණය කළ හැකි හැම තොරතුරක් ම ප්‍රගාමී ලෙස අනාවරණය කිරීම මගින් තොරතුරු ලබා ගැනීම පිණිස තොරතුරු පනතේ එන ප්‍රතික්‍රියක අනාවරණයේ පිහිට පුරවැසියන්ට නිරන්තරයෙන් ම ලබා ගැනීමට සිදුවීම අවම කළ යුතු ය. ප්‍රගාමී තොරතුරු අනාවරණය සිය ආයතනික සංස්කෘතිය ලෙස කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර තහවුරු කිරීම පොදු අධිකාරි වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ළා අත්‍යවශ්‍ය කළමනාකරණ සාධකයකි.

ප්‍රතිපත්ති හැඩ ගැස්වීමේ ලා පුරවැසියන්ගේ දැනුවත් සහභාගීත්වය

ප්‍රගාමී ලෙස තොරතුරු බෙදා හැරීම ප්‍රතිපත්ති සම්පාදනයේ ලා රජය, පුරවැසියන් සහ ව්‍යවසායකයන් අතර ඇතිවිය යුතු අන්තර් සංනිවේදනයට ඉතා වැදගත් වේ. ප්‍රතිපත්ති හැඩ ගැස්වීමේ ලා පුරවැසියන්ගේ දායකත්වය ලබා ගැනීමට නම් ඔවුන්ට නිති රෙගුලාසි, පවතින ප්‍රතිපත්ති, මූලෝපාය මෙන් ම දැනට සැලකිල්ලට ලක් වී ඇති අනෙකුත් විකල්ප පිළිබඳ තොරතුරු පහසුවෙන් ම ලබා ගැනීමට හැකි විය යුතු ය. ආයතනික වෙබ් අඩවිය ඔස්සේ අන්තර් ජාල පාදක පුවත් නිවේදන, අන්තර්ජාල සංසද, බ්ලොග්, ප්‍රජා ජාල, ඊමේල්, ටෙක්ස්ට් පණිවිඩ ආදිය මගින් එවැනි තොරතුරු බෙදා හැරිය හැකි වේ. ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධ මහජන උපදේශන (public consultation) සාර්ථක වීමට නම් ඒවායේ සඵලදායීබව පිළිබඳ ව මහජන විශ්වාසය තහවුරු වීය යුතු ය. උපදේශන දායකත්වය සඳහා මහජන යෝජනා ලැබුණු බව පිළිගැනීම හා ඒ සම්බන්ධයෙන් ආයතනික ප්‍රතිචාරය දැක්වීම එහි දී අත්‍යවශ්‍ය වේ.

උදාහරණයක් වශයෙන් පුරවැසියන් හා විවිධ පරදු දරන්නන් විසින් අදාළ ප්‍රතිපත්ති ක්ෂේත්‍රය පිළිබඳ ව ඉදිරිපත් කරන කරුණු කාරණා සාරාංශ කොට ඒ පිළිබඳ යෝජනා කරනු ලබන ඉදිරි ක්‍රියා මාර්ගය පොදු අධිකාරියට සිය වෙබ් අඩවිය මගින් දැනුම් දිය හැකිය. ප්‍රතිපත්ති හැඩ ගැස්වීමේ මෙවැනි සාකච්ඡා සඳහා මහජන දායකත්වය ලබා ගැනීමේ දී අදාළ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධ සමාජ මාධ්‍ය, බ්ලොග් සටහන්, ඊමේල්, විවෘත දත්ත සහ කැමති අකැමැති බව පිළිබඳ වෙබ් සමීක්ෂණ ඇතුළු සුදුසු අන්තර් ක්‍රියාකාරි සංනිවේදන විධි වෙබ් අඩවිය හරහා උපයෝගී කර ගත හැකිය. එමෙන් ම එවැනි මහජන උපදේශන පැවැත් වීමේ දී අදාළ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් විධිමත් ප්‍රතිචාරයක් ලබා ගැනීමට අන්තර්ජාලය හරහා විද්‍යුත් පෙත්සම් ඉදිරිපත් කිරීමට පුරවැසි කණ්ඩායම් වලට ඉඩ සලසා දීම ද වැදගත් ය. ඒ හැර පවතින හෝ පැවතිය යුතු ප්‍රතිපත්තියක් සම්බන්ධව තමන්ගේ අභිමතය හා යෝජනා ආයතනය හා සම්බන්ධ වගකීම දරණ මහජන නියෝජිතයන් ට හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දැනුම් දීම පිණිස ආයතනික වෙබ් අඩවියෙන් සුදුසු අවකාශයක් ලබා ගැනීමට පුරවැසි කණ්ඩායම් වලට ද අවශ්‍ය විය හැකිය .

ප්‍රගාමී තොරතුරු අනාවරණය දියුණු කිරීම සම්බන්ධයෙන් වාර්තා කිරීමට ඉන්දියානු රජය විසින් පත් කළ කොමිටියේ වාර්තාව මගින් යෝජනා කරන පරිදි රටේ ඕනෑම නීතියක් කෙටුම්පත් කිරීමේ දී, සංශෝධනය කිරීමේ දී සහ මහජනතාවට සෘජු ලෙස බලපාන සෞඛ්‍ය, අධ්‍යාපනය, සමාජ සුබසාධනය, ස්වාභාවික සම්පත් සම්බන්ධ ප්‍රතිපත්ති හැඩ ගැස්වීමේ ලා ප්‍රසිද්ධ මහජන උපදේශන පැවැත්විය යුතු වේ.

සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා පද්ධති, මහා මාර්ග පද්ධතිය, විදුලි බල පද්ධතිය, ජල සම්පාදනය හා නො අඩු වැදගත් කමකින් යුත් යටිතල පහසුකම් ව්‍යුහයක් ලෙස රජය විසින් ගබඩා කර ඇති සමස්ත තොරතුරු සංචිතය අපේ අද්‍යතන ජන ජීවිතයට අත්‍යවශ්‍ය වෙමින් පවතී. මනාව දැනුවත් වූ තීරණ ගැනීමට තම රටවැසියන්ට ඇති හැකියාව වර්ධනය කිරීමට කැමති හැම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක ම වගකීම වන්නේ ප්‍රගාමී ලෙස තොරතුරු ප්‍රකාශ කිරීම මගින් සිය තොරතුරු සුපිරි මාර්ගය මහජන උපයෝගීතාව පිණිස වැඩිදියුණු කිරීමයි.




(ලේඛකයා යුනෙස්කෝ ආයතනයේ සංනිවේදන ප්‍රවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කොට විශ්‍රාම ගත්තේ ය.)







සබැඳි ලිපි