- සජීව චාමිකර -
පවුල් 10,000ක් හා කුඹුරු අක්කර 3500ක් හානියට පත්වෙලා
මොනරාගල, මදුරුකැටිය ග්‍රාම නිලධාරී වසමට අයත් කලවැල්ආර ගම ප්‍රදේශයේ කුඹුක්කන් ඔය දකුණු ඉවුරේ පවත්වාගෙන යන ග්‍රීන් වොට්ස් පෞද්ගලික සමාගමට (Green Watts Pvt Ltd) අයත් ග්ලිරිසීඩියා දැව ඉන්දන තාප බලාගාරයෙන් (Dendro Power Plant) බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් කුඹුක්කන් ඔයේ පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නා පවුල් 10,000 ක් හා මෙම ඔයේ ජලයෙන් වගා කෙරෙන කුඹුරු අක්කර 3500 ක් පමණ මේ වන විට හානියට ලක් ව තිබේ.
මෙරට 103 ක් වන ගංගා අතුරින් කර්මාන්තශාලා අපද්‍රව්‍ය වලින් දූෂණයට ලක් නොවූ ඉතා ම අතලොස්සක් වන ගංගා අතුරින් එකක් වූ කුඹුක්කන් ඔය මෙම තාප බලාගාරය හේතුවෙන් අද වන විට දරුණු ලෙස දූෂණයට ලක් වෙමින් තිබේ.
චීන - ශ්‍රී ලංකා පෞද්ගලික හවුල්කාර සමාගම් දෙකක් යටතේ මෙම බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මෙහි චීන හවුල්කාර සමාගම වන්නේ Messrs Beijing Full Dimension Power Tech Company Ltd ය.
චීන බලාගාරයේ ස්වභාවය
මෙම බලාගාරය ග්ලිරිසීඩියා දැව ඉන්දන තාප බලාගාරයක් ලෙස ක්‍රියාත්මක වේ. මකුලත, නංචි, ලාඩප්පා හා වැටහිරියා යන විවිධ නම් වලින් හඳුන්වන ග්ලිරිසීඩියා (Gliricidia sepium) ශාකයේ දැව භාවිතා කර සිදු කරන මෙම බලාගාරය මඟින් මෙගා වොට් 10 ක විදුලි බලයක් උත්පාදනය කිරීමට සැලැසුම් කර ඇත. නමුත් අද වන විට මෙගා වොට් 4 ක විදුලි බලයක් නිපදවන අතර ඒ සඳහා දිනකට මෙටි්‍රක් ටොන් 300 ක ග්ලිරිසීඩියා දැව භාවිතා කරයි. මෙම දැව භාවිතයෙන් බොයිලේරු හයක් මගින් දර දහනය කර හුමාල ටර්බයින තුනක් මගින් විදුලිය නිපදවීම සිදු කරයි.
මෙම බලාගාර ව්‍යාපෘතිය අරමුණු කිහිපයක් මත පදනම් ව ආරම්භ කර ඇත. පුනර්ජනනීය බලශක්තිය (Renewable Energy) වර්ධනය කිරීම හා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් පැය 70,000 ක විදුලි බල ධාරිතාවක් එක් කිරීම ප්‍රධාන අරමුණු විය. බලාගාරයට අවශ්‍ය ග්ලිරිසීඩියා දැව ලබා ගැනීම සඳහා ඇති කරන වගා බිම් මගින් තිරසර කෘෂි කර්මාන්තයක් ඇති කිරීම, කෘෂි රසායනික භාවිතයෙන් තොර ව පශු සම්පත් සංවර්ධනය, හරිත ආවරණය වර්ධනය කිරීම, ග්ලිරිසීඩියා වගාවට යොමු කිරීම මගින් කාන්තාවන්ගේ ආදායම් උත්පාදන මාර්ග වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අනෙක් අරමුණු අතර විය. නමුත් මෙම බලාගාරයේ අද වන විට සිදු කර ඇත්තේ විශාල ජනතාවක් පානීය ජලය හා වෙනත් දෛනික අවශ්‍යතාවන් සඳහා ජලය ලබා ගත් ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන කුඹුක්කන් ඔය දූෂණය කිරීම හා කුඹුරු අක්කර දහස් ගණනකට අප ජලය යොමු කිරීම මගින් ඒවා භාවිතයට ගත නොහැකි තත්ත්වයට පරිවර්තනය කිරීමයි. මේ සියල්ල සිදු කර ඇත්තේ මාස අටක කාලයක බලශක්ති උත්පාදන ක්‍රියාවලිය තුළ ය.
2009 සිට අලුත් වගාවක් සිදුකර නැහැ
2009 වසරේ සිට බලාගාරයේ ඉදිකිරීම් සිදු කළ ද බලාගාරයට අවශ්‍ය ග්ලිරිසීඩියා දැව ලබා ගැනීමට මෙම සමාගම මගින් අලුතින් කිසිදු වගා බිමක් ඇති කර නොමැත. ව්‍යාපෘතියේ අරමුණ කෙසේ වුව ද ග්‍රීන් වොට්ස් සමාගම විසින් සිදු කරන්නේ දැනට ගොවි බිම් වල ඇති ග්ලිරිසීඩියා දැව බලාගාරයට ලබා ගැනීමයි. එමගින් මෙරට හරිත ආවරණය තවදුරටත් අඩු වන අතර ව්‍යාපෘතියේ අරමුණු ලෙස නිලධාරීන් හා ජනතාව මුලා කිරීමට සඳහන් කර ඇති හරිත ආවරණය වැඩි කිරීමක් මෙම ව්‍යාපෘතියෙන් සිදු නොවේ.
මෙම බලාගාරයට දැනට ග්ලිරිසීඩියා දැව භාවිතයෙන් ක්‍රියාත්මක වුව ද ඉදිරියේ දී අවශ්‍ය වන දැව ප්‍රමාණය ග්ලිරිසීඩියා ශාක මගින් සැපිරීමට නොහැකි වන අවස්ථා වල දී වෙනත් ශාක වල දැව ලබා ගැනීම සිදු වනු ඇත. එහි ප්‍රතිඵලය වන්නේ මොනරාගල හා ඒ ආශ්‍රිත දිස්ත්‍රික්ක වල ශාක ආවරණය සීග්‍රයෙන් ඉවත් වීම හා ඒ මගින් මෙම දිස්ත්‍රික්ක වල ජල හිඟය තවදුරටත් උග්‍ර මට්ටමකට පරිවර්තනය වීම ය. මේ තත්ත්වය ඉංගිරිය ප්‍රදේශයේ ස්ථාන ගත කර ඇති මෘදු දැව භාවිතයෙන් තුනී ලෑලි නිෂ්පාදනය කරන මර්බොග් කර්මාන්තශාලාවේ ද දැක ගත හැකි විය. කල්පිරුණු, ගලවා ඉවත් කරන රබර් ශාක වල දැව භාවිතයෙන් මෙම කර්මාන්තශාලාව ක්‍රියාත්මක කරන බව පළමු සැලැසුමේ සඳහන් වුව ද අද වන විට ලංකාව පුරා තෙත් හා අතරමැදි කලාපයේ ගෙවතු ආශ්‍රිත ව ඇති මෘදු දැව ශාක මහ පරිමාණයෙන් මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන සඳහා යොදා ගනී. එය ඉතා ම දරුණු ලෙස ලංකාවේ හරිත ආවරණය අඩු කිරීමට බලපා ඇත. ඒ හේතුවෙන් වැසි චක්‍රය අක්‍රමවත් වීම, ජලය භූගත වීමේ යාන්ත්‍රණය අඩාල වීම හා ජල අර්බුද ඇති වීම වර්ධනය වෙමින් පවතී. මොනරාගල, චීන තාප බලාගාරය මගින් ද ඉදිරියේ දී මේ තත්ත්වය වර්ධනය වනු ඇත.
චීන බලාගාරයෙන් කුඹුක්කන් ඔය දූෂණය කිරීම
මෙම බලාගාරයේ ඉදි කිරීම් 2009 වසරේ දී ආරම්භ කළ ද බලාගාරය ඉදි කර විදුලිය ජනනය කිරීම ආරම්භ කළේ 2018 දෙසැම්බර් මාසයේ සිට ය. එතැන් සිට ගත වූ මාස අටක කාලය පුරා ම අප ජලය කුඹුක්කන් ඔයට බැහැර කිරීම සිදු කර ඇත. ජූලි මාසයේ සිට ආරම්භ වූ අධික නියං සමය තුළ දී එම අප ජලය සියල්ල ම කුඹුක්කන් ඔයේ සාන්ද්‍රගත වීම සිදු විය. ඒ සමඟ ම මේ බලාගාරයේ හානිකර ක්‍රියාකාරීත්වය පිළිබඳ ව අනාවරණය වීමට පටන් ගැනින.
කුඹුක්කන් ඔයට අප ජලය බැහැර කිරීමට අමතර ව ඔයෙන් විශාල ජලධාරිතාවක් දිනකට බලාගාරයේ ක්‍රියාකාරීත්වය සඳහා ලබා ගැනීම සිදු වේ. ග්ලිරිසීඩියා දැව දහනය කර හුමාලය මඟින් හුමාල ටර්බයින වල ක්‍රියාකාරීත්වයෙන් විදුලිය නිපදවීම සඳහා හා යන්ත්‍ර සූත්‍ර සිසිල් කිරීමේ දී ඉවත් වන අධික ලෙස උණුසුම් ජලය සිසිලනය කිරීම සඳහා ද කුඹුක්කන් ඔයේ ජලය භාවිතා කිරීම සිදු කරයි. මේ නිසා දිනකට විශාල ජල ප්‍රමාණයක් කුඹුක්කන් ඔයට මෙන් ම කුඹුක්කන් ඔයේ ජලය ලබා ගන්නා ගොවීන්ට හා විශාල ජෛව ප්‍රජාවකට අහිමි වේ. නමුත් අදාළ සමාගමේ පාලනාධිකාරිය සඳහන් කරන්නේ භූගත ජලය හා ගලා යන වැසි ජලය මෙම බලාගාරය සඳහා භාවිතා කරන බව ය. නමුත් මේ සියල්ල සම්පූර්ණ අසත්‍ය බව මේ වන විට තහවුරු වී ඇත.
චීන බලාගාරයෙන් බලපෑමට ලක් වන ගොවි බිම්
ලංකාවේ දිගින් දොළොස්වන ස්ථානය හිමි කුඹුක්කන් ඔය ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල කඳුවැටියෙන් ආරම්භ වී කිලෝමීටර 116 ක් පුරා ගමන් කර අරුගම්බේ ප්‍රදේශයෙන් මුහුද හා එක් වේ. මෙහි සමස්ත ජලපෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර 1211 කි. කුඹුක්කන් ඔයේ ගලා යන ජලය වාරි කර්මාන්තය සඳහා භාවිතයට ගැනීමට කුඹුක්කන් ඔය අමුණ 1932 වසරේ දී ඉදි කර ඇති අතර පසුව ඩී. එස්. සේනානායක මහතා විසින් 1956 වසරේ දී මෙම අමුණ යටතේ කොලනි ක්‍රමය හඳුන්වා දී ගොවි ජනපද ඇති කර ජනතාව පදිංචි කර තිබේ. එම ජනතාව අද දක්වා ම යල හා මහ දෙකන්නය වගා කර ගැනීමට අපහසු ව ජල හිඟයෙන් පීඩා විඳි නමුත් ජල දූෂණයෙන් පීඩාවට පත් වීම ආරම්භ වී ඇත්තේ මේ වසරේ සිට ය. මේ සඳහා සම්පූර්ණයෙන් ම වගකිව යුතු වන්නේ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු සියලූ ම රාජ්‍ය ආයතනයි.
මෙහි ජලය භාවිතා කර දැව ඉන්දන බලාගාරයට කිලෝමීටර 2 ක් පමණ පහළින් පිහිටි දෙකේ කණුව ප්‍රදේශයේ කුඹුක්කන් ඔයේ ජලය ලබා ගෙන මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල, බුත්තල හා මොනරාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනට අයත් පවුල් 10,000 කට පමණ පානීය ජලය ලබා දීම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සිදු කරයි. මීට අමතර ව බලාගාරයට මීටර 300 ක් පමණ පහළින් පිහිටි කුඹුක්කන් ඔය අමුණට පහළින් ජලය ලබා ගෙන කුඹුරු අක්කර 3500 කට පමණ යල හා මහ දෙකන්නය වගා කිරීමට ජලය ලබා දේ. මේ කුඹුරු ඉඩම් සියල්ල බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාලිගාවිල, ඔක්කම්පිටිය, හොරොම්බුව, පහළගම, සුදු වතුර ආර හා ගාමිණී පුර යන ග්‍රාම නිලධාරී වසම් වල විහි දී තිබේ. මෙම වගා බිම් වලට ජලය ලබා ගැනීම සඳහා කුඹුක්කන් ඔයේ කුඩා අමුණු 24 ක් ඉදි කර තිබේ. මෙම අමුණු වලට අමතර ව කුඹුක්කන් ඔයේ ජලයෙන් සද්දාතිස්ස වැවට හා පලුකපිටිය වැවට ජලය ලබා ගෙන කුඹුරු අක්කර 500 ක් හා 200 ක් බැගින් සමස්තය අක්කර 700 ක් පමණ වගා කෙරේ. මීට අමතර ව මෙම ඔයේ ජලය දෛනික ජල අවශ්‍යතාවන් වන සේදුම් ක්‍රියාවලීන් හා ස්නානය සඳහා භාවිතයට ගැනීමට නාන තොටුපොළවල් විශාල ප්‍රමාණයක් පිහිටා තිබේ. මේ සියල්ල පිහිටා ඇත්තේ දැව ඉන්දන බලාගාරයට පහළින් කුඹුක්කන් ඔය අමුණේ සිට කුඹුක්කන් ඔය යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වන ප්‍රදේශය දක්වා ජනාවාස සහිත ප්‍රදේශයේ ය.
යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ටත් බලපෑම්
යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ටත් බලපෑම්
කුඹුක්කන් ඔය යාල හා කුමන ජාතික වනෝද්‍යාන තුළින් ගලා ගොස් අරුගම්බේ ප්‍රදේශයෙන් මුහුද හා එක් වේ. මෙම දැව ඉන්දන බලාගාරයේ අපවිත්‍ර ජලය හේතුවෙන් පානීය ජලය හා වාරි ජලය ලබා ගන්නා ජනතාව පමණක් නොව යාල හා කුමන ජාතික වනෝද්‍යාන වල වන ජීවීන් හා නොගැඹුරු සාගරය ආශ්‍රිත ජීවීන් ද මෙම අප ජලය හේතුවෙන් බලපෑමට ලක් වේ. මීට අමතර ව බලාගාරයේ ග්ලිරිසීඩියා දැව දහනයේ දී පිට වන දුමාරයෙන් ද ඒ අවට ජනතාව ස්වසන ආබාධ හේතුවෙන් දැඩි පීඩාවට පත් වෙමින් සිටී. රාත්‍රි කාලයේ දී මෙම දුමාරය පහළ මට්ටමේ රැදී තිබීම නිසා ඇති වන කායික පීඩාවන් වර්ධනය වේ.
නීති විරෝධී චීන බලාගාරය ස්ථාපිත කිරීමට දේශපාලකයන්ගේ සහය
ග්‍රීන් වොට් සමාගමට අයත් දැව ඉන්දන තාප බලාගාරය ඉදි කර ඇත්තේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් කුමාරවත්ත කොටසේ අක්කර 50 ක පමණ භූමි ප්‍රදේශයක ය. මෙම භූමිය කුඹුක්කන් ඔයේ දකුණු ඉවුර දිගේ විහිදී ඇත. මෙම ඉඩම් අදාළ සමාගමට ලබා දීමේ ක්‍රියාවලිය සඳහා පසුගිය රජය පැවති සමයේ ඌව පළාත් මහ ඇමතිවරයා වූ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් නීති විරෝධී ව කටයුතු කර තිබේ. ඔහුගේ නීති විරෝධී සහයෝගය මත මෙම ව්‍යාපෘතිය සඳහා සියලූ ම ඉඩම් ලබා ගැනීම සිදු කර ඇත. එම ක්‍රියාවලිය නීති විරෝධී ව සිදු කිරීමේ දී 2009 හා 2010 වසර වල කුඹුක්කන වතු යායේ සේවක පිරිසක් ඊට එරෙහි ව උද්ඝෝෂණය කිරීමේ දී මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්. එම්. රත්නවීර මහතා විසින් ඔහුගේ ආධාරකරුවන් භාවිතා කර උද්ඝෝෂකයන්ට පහර දී පළවාහැර මෙම ව්‍යාපෘතියට ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාට ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දී තිබේ.
මේ ආකාරයෙන් නීති විරෝධීව ආරම්භ කළ ව්‍යාපෘතියට කිසිදු පාරිසරික අනුමැතියක් ලබා ගෙන නොමැත. ඊට එරෙහි ව කිසිදු වගකිව යුතු රාජ්‍ය ආයතනයක් කටයුතු කර නොමැත. එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ කුඹුක්කන් ඔයේ ජලය ජනතාවට හා වන සතුන්ට භාවිතයට ගත නොහැකි තත්ත්වයට අදාළ සමාගම විසින් විනාශ කිරීම යි. මේ නිසා විශාල ජනතාවක් අද වන විට සෞඛ්‍ය ප්‍රශ්න වලට, පානීය හා වාරි ජල අර්බුදයන්ට මුහුණ දී ඇත.
චීන සමාගමකට අයත් මෙම බලාගාරය ඉදි කිරීම සඳහා අවශ්‍ය සියලු යන්ත්‍රෝපකරණ නැව් මගින් ප්‍රවාහනය සිදු කර ඇත්තේ චීන ප්‍රධාන සමාගමක් වන COSCO Shipping Project Logistics Co. Ltd මගිනි. මේ සියල්ල ම හම්බන්තොට, මාගම්පුර වරාය හරහා ලංකාවට ගෙන ඒම සිදු කර ඇත්තේ නොමිලේ වීම විශේෂත්වයකි.
මෙම බලාගාරයේ සේවකයින් 131 ක් පමණ සේවය කරන අතර ඉන් 65 දෙනෙක් චීන ජාතිකයින් වේ. ඔවුන් සියලු දෙනාම සංචාරක වීසා මගින් මෙරටට පැමිණ රැකියාවේ නිරත වේ. මීට අමතර ව මෙම බලාගාරයෙන් ලැබෙන ආදායමෙන් සියයට 70 ක් චීන සමාගමට ද සියයට 30 ක් ලංකාවට ද හිමි වන පරිදි ගිවිසුම් ගත වී ඇත.
මේ සියල්ලෙන් ම පෙනී යන්නේ මෙම චීන බලාගාරය මගින් කුඹුක්කන් ඔයේ ජලය හා අවට වාතය දූෂණය කරද්දී, ගොවි ජනතාව අවතැන් කරද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් ඊට එරෙහි ව කටයුතු කිරීම වෙනුවට මඟ හැර සිටීමට හේතුව රාජ්‍ය ආයතන හා මෙම චීන සමාගම අතර සම්බන්ධතා පැවතීම බව ය. මේ නිසා ම බලාගාරය ස්ථාපිත කිරීමේ දී හා පවත්වාගෙන යාමේ දී අණ පනත් ගණනාවක් උල්ලංඝනය කිරීම හා ඒ නිසා ම දැවැන්ත ජල දූෂණයක් මෙම බලාගාරයෙන් සිදු වෙද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් ඒ පිළිබඳ ව සොයා බැලීමට මැදිහත් නොමැති වීම කනගාටුවට කරුණකි.
කුඹුක්කන් ඔයට දූෂණයෙන් තොර ව පැවතීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීම
කුඹුක්කන් ඔයට බලපෑමකින් තොර ව නිදහසේ ගලා යාමට අයිතියක් ඇත. නැතහොත් ඊට ගඟක් ලෙස පැවතීමේ අයිතියක් ඇත. එම අයිතියට බලපෑම් කිරීමට හෝ එම අයිතිය අහිමි කිරීමට කිසිවකුට හැකියාවක් නොමැත. එපමණක් නොව දූෂණයෙන් තොර ව ගලා යාමට ද කුඹුක්කන් ඔයට අයිතියක් ඇත. එම අයිතිය අහිමි කිරීමට ද කිසිවකුට හැකියාවක් නොමැත. මීට අමතර ව කුඹුක්කන් ඔයට නෛතික පුද්ගලභාවයක් ඇත. එබැවින් කුඹුක්කන් ඔය දූෂණය කිරීම යනු පුද්ගලයකුට හානි කිරීමට සමාන ය. මේ සියල්ල හුදු ප්‍රකාශ ලෙස හැගුන ද විවිධ රට වල අධිකරණ මගින් ලබා දුන් නඩු තීන්දු කිහිපයකින් මේ තත්ත්වය සනාථ කොට ඇත.
2017 වසරේ දී නවසීලන්තයේ වැන්ගනුයි ගඟ (Whanganui River) දූෂණය කිරීම හා සම්බන්ධ නඩුවක දී නවසීලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දුන් නඩු තීන්දුවකින් තහවුරු කර ඇත්තේ වැන්ගනුයි ගඟට යුතුකම් හා වගකීම් වලින් බැදුණු නෛතික පුද්ගලභාවයක් පවතින බව යි. ලෝකයේ අධිකරණයකින් පළමු ව මෙය නවසීලන්ත අධිකරණයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරු ව 2017 වසරේ දී ම ඉන්දියාවේ උත්තරාකන්ඞ් මහාධිකරණය විසින් ගංගා හා යමුනා ගංගා දූෂණය කිරීම හා සම්බන්ධ ව විභාග වූ නඩුවක දී මෙම ශුද්ධ වූ ගංගා පුද්ගලයකුට සමාන අයිතිවාසිකම් සහිත බවට ප්‍රකාශයට පත් කෙරින. එහි දී ජීවත් වන පුද්ගලයකුගේ සියලූ ම අයිතිවාසිකම්, යුතුකම් හා වගකීම් සහිත නෛතික පුද්ගලයකුගේ තත්ත්වයට ප්‍රකාශයට පත් කර ඇත. මේ අනුව මෙම ගංගා දූෂණය කිරීම, පුද්ගලයකුට හානි කිරීමට නිත්‍යනුකූලව සමාන වන බව ද සඳහන් කර ඇත. එමගින් ගගේ ජීවත් වීමේ අයිතිය උල්ලංඝනය වන බවට ගංගාවට අපද්‍රව්‍ය එක් කර දූෂණය කිරීම යන්න ප්‍රමාණවත් වන බවට දක්වා ඇත. එම නඩු තීන්දුවේ දී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම ගංගා අතීතයේ සිට අප සැමට ශාරීරික හා අධ්‍යාත්මික පෝෂණය ලබා දී ඇති බවත් සමස්ත ප්‍රජාවගේ ජීවිතය, සෞඛ්‍යය, යහපැවැත්ම ලබා දී ඇති බවත් මෙම ගංගා කඳුකරයේ සිට මුහුද දක්වා සියලු ප්‍රජාවගේ ජීවත්වීම පවත්වාගෙන ගොස් ඇති බවත් ය.
මෙම නඩු තීන්දු මත පදනම් ව කුඹුක්කන් ඔයට චීන තාප බලාගාරයෙන් අපද්‍රව්‍ය එක් කිරීමෙන් සිදු කර ඇත්තේ වසර දහස් ගණනක සිට අද දක්වා මිනිසා ඇතුළු විශාල ජෛව ප්‍රජාවකට ජීවය ලබා දුන් ගංගාවක් දූෂණය කර සමස්ත ජෛව ප්‍රජාවගේ ජීවත් වීමේ අයිතිය අහිමි කිරීමකි. නැතහොත් කුඹුක්කන් ඔයට දූෂණයෙන් තොර ව පැවතීමේ අයිතිය අහිමි කිරීමකි. මේ නිසා අප කුඹුක්කන් ඔයට ජීවත් වීමට ඇති අයිතිය අහිමි කිරීමට එරෙහි ව සටන් කළ යුතු ව ඇත. එම අයිතිය තහවුරු කිරීම සඳහා අණ පනත් ගණනාවක නෛතික ප්‍රතිපාදන ඉවහල් කර ගත හැකි ය.
Post a Comment