''අභියෝග හමුවේ වුවත් රැකියා ලබාදුන්නා'' - අගමැති


එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තමන් පක්ෂය තුල කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි එක්සත්ව ඉදිරියට ගෙන යන බවත් නව සන්ධානය ගොඩනැගීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පක්ෂයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවත් ඊයේ (2) දින අරලියගහ මන්දිරයේදී පැවති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වර්ෂය සඳහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිත හමුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.  

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ, 

රටක් දියුණු කරන්න කාලයක් අවශ්‍යයි

''ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කිරීම ඇතුළු තීන්දු තීරණ කිහිපයක් හේතුවෙන් ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වටපිටාවක් අපි ඇතිකර තිබෙනවා. අද අපට කොතරම් දෝෂාරෝපණ එල්ල කළත් ඒ කිසිවෙකුත් සුදු වෑන් වලින් ගෙන ගොස් අතුරුදහන් කිරීම් හෝ ඝාතනය කිරීම් සිදු කර නැහැ. දිනා ගත් නිදහස ආරක්ෂා කරමින් අප සියලූ දෙනාම ඉදිරියට ගමන් කළ යුතුයි. 

පසුගිය වසර කිහිපය තුල විශාල වැඩකටයුතු ප්‍රමාණයක් සිදුකර තිබෙන නිසා එම වැඩපිළිවෙල තවත් ඉදිරියට ගෙන යා යුතුයි. කොතරම් අභියෝග හමුවේ වුවත් රැකියා ලබාදීමට අප පියවර ගත්තා. ඉදිරියේදීත් රැකියා ලබාදීමට රැකියා අවස්ථා බිහිකළ යුතුව තිබෙනවා. 

රටක් දියුණු කිරීමට වසර 10 – 15 ක කාලයක් අවශ්‍ය වෙනවා. මෙම සංවර්ධන වැඩපිළිවෙල ආරක්ෂා කර ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අපේම ආණ්ඩුවක් ඇති කිරීමට පියවර ගත යුතුයි. පක්ෂය තුල කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි එක්සත්ව ඉදිරියට ගෙන යන බව පක්ෂ නායකයා වශයෙන් සඳහන් කරන්න කැමතියි. ඇති කිරීමට නියමිත සන්ධානයේ වැඩකටයුතු ඉතා ඉක්මනින් අවසන් කරන ලෙස පක්ෂ නායකයින්ටත්, පක්ෂ නිලධාරීන්ටත් මම උපදෙස් ලබාදී තිබෙනවා.'' යන්නයි. 


මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  පැවසුවේ එජාපය එක්සත්ව එක්සිත්ව කටයුතු කරමින් ඉදිරි මැතිවරණ සියල්ල ජයග්‍රහණය කොට වසර 10ක් අඛණ්ඩ පාලනයක් ගෙන යන බවයි. 

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ මේ රට ජාත්‍යන්තර වශයෙන් කොන් වී පැවතුණ බව පැවසූ අමාත්‍යවරයා එදා විදේශ රටකින් ණය මුදලක්වත් ලබා ගැනීමට නොහැකි තත්වයකට පත්ව තිබූ බවත් ඒ රට නිසි මගට ගෙනවිත් ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස ආරක්ෂා කරමින් රට සංවර්ධනය කොට ඉදිරියට ගෙන ආ බව පෙන්වා දුන්නේය.

මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, සමාජ නිදහස පෙරටත් වඩා ලැබී තිබෙන බව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර ඒ නිදහස යොදාගෙන ආණ්ඩුව විවේචනයට ලක් කළත් සුදු වෑන් යොදා ගෙන මාධ්‍යවේදීන් පැහැරගෙන යාම්, මාධ්‍ය ආයතනවලට පහරදීම්, කිසිවක් සිදුකර නොමැති බවද පැවසීය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට මේ රටේ උපාධිධාරින් අන්ත අසරණ තත්වයට පත්ව සිටි බවත් ඔවුන්ට රැකියා ලබාදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරමින් ඉදිරියට ඒමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බවත් රංගේ බණ්ඩාර වැඩිදුරටත් පැවසීය. 

මෙම අවස්ථාවට නිරෝෂන් පෙරේරා, වසන්ත සේනානායක, අනෝමා ගමගේ, නාලක කොලොන්නේ, රෝහිණි විජේරත්න, ඉම්රාන් මහරුෆ් ඇතුළු පිරිස සහභාගී විය.