‘‘එකම විකල්පය ජාතික ජන බලවේගයයි‘‘ - විජිත හේරත්




ජාතික ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන්නේ පූර්ව සැලසුමක් සමග බවත් ඒ වෙනුවෙන් මීට පෙර ඉතා සැලසුම්සහගත ලෙස ප්‍රතිපත්ති මාලාවක් පසුගිය පෙබරවාරියේදී සකස් කළ බවත් ඊට  මෙරට විද්වතුන්, වෘත්තිකයින්, කලාකරුවන් විශාල පිරිසක් සහභාගි වූ බව  ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,


අපි ජනපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ පූර්ව සැලැස්මක් සමග 

‘‘ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව විවිධ දේශපාලන කණ්ඩායම්, බහුජන සංවිධාන, විද්වතුන්, වෘත්තිකයින්, කලාකරුවන් ඒකරාශී වෙලා ජාතික ජන බලවේගය විදිහට පසුගිය 18වැනිදා ගෝල්ෆේස් පිටියේදී පවත්වපු පෙරළියේ මහ රැලියේදී අපේ අපේක්‍ෂකයා රටට ප්‍රකාශ කළා. එම රැලිය සාර්ථක කරගන්න කටයුතු කළ සියලු දෙනාට මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලෝකය පුරා සිටින ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් අප සමඟ සජීවීව එම රැලියට සම්බන්ධ වුණා. ඒ සියලු දෙනාටත් අපගේ ස්තුතිය ප්‍රකාශ කරනවා.

ජාතික ජන බලවේගය ලෙස අපි ජනාධිපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන්නේ පූර්ව සැලසුමක් සමගයි. ඒ වෙනුවෙන් අපි මීට පෙර ඉතා සැලසුම්සහගත ලෙස ප්‍රතිපත්ති මාලාවක් සකස් කළා. ඒ වෙනුවෙන් අපේ රටේ විද්වතුන්, වෘත්තිකයින්, කලාකරුවන් විශාල පිරිසක් සහභාගි වුණා. මේ වෙනකොට අපේ රටේ ජනතාවට එජාප, ශ්‍රීලනිප පෙරමුණු එපා වෙලා තිබෙනවා. මේ වෙනකොට රනිල්-මෛත්‍රී ආණ්ඩුවත් එපා වෙලා. ජනතාවගේ වුවමනාවන් ඉටු කරන්න විකල්ප දේශපාලන ප්‍රතිපත්තියක් සහිත බලවේගයක අවශ්‍යතාවය මතුවෙලා තිබෙනවා. ඒ විකල්පයට දේශපාලන නායකත්වයක් ලබාදීම සඳහා තමයි ජාතික ජන බලවේගය ගොඩනැගෙන්නේ. ජනතාව ආර්ථික පීඩාවෙන් මුදාගන්න විකල්ප ආර්ථික ප්‍රතිපත්තිය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි.

ගොඩනගමු ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති මාලාව එළිදැක්වූවේ පෙබරවාරි වලයි 

ගොඩනගමු ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති මාලාව අපි එළිදැක්වූවේ පසුගිය පෙබරවාරි 19වැනිදායි. එය ඉදිරිපත් කළේ ජාතික ජන බලවේගයේ සාමාජික සංවිධානයක් වන ජාතික විද්වත් සංවිධානයයි. එම ජාතික ප්‍රතිපත්ති මාලාව පදනම් කරගෙන තමයි අපි මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ. එම ප්‍රතිපත්ති මාලාවේ අධ්‍යාපනය, සෞඛ්‍ය, තොරතුරු තාක්‍ෂණය, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය, කලාව, සංස්කෘතිය, ජාතිය ගොඩනැගීම, පුරවැසි වගකීම්, විදේශ ප්‍රතිපත්තිය, ජාතික ආරක්‍ෂාව, ජාතික සමගිය, වංචා, දූෂණවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම යන සියලුම ක්‍ෂේත්‍ර පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය කර තිබෙනවා. ගෝල්ෆේස් රැලියෙන් පසුව ඒ ගැන කලබල වුණු ඇතැම් දේශපාලන කණ්ඩායම් අපිට චෝදනා එල්ල කරනවා, අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළාට ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළේ නැහැ කියලා. ඒක පදනම් විරහිත චෝදනාවක්. අපි මීට මාස ගණනකට ඉහතදී තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න පුළුවන් අපේක්‍ෂකයෙක් අපි ඉදිරිපත් කළා. දැන් ජනතාවට කල් බලන්න දෙයක් නැහැ. තීරණය ගත යුත්තේ ජනතාවයි. 

රට වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩගන්න ජනතාවගේ බඩගින්න නිවන්න, තරුණයන්ගේ විරැකියාවට උත්තරයක් හොයන්න, ඉඩම් පිළිබඳ ප්‍රශ්නය විසඳන්න, දේශපාලන සිරකරුවන්ගේ ගැටලු විසඳන්න නම් ජාතික ප්‍රතිපත්තියක් දෙපයින් සිටවන්න ඕනෑ.

ජනාධිපතිවරයෙකු මෙන්ම ආණ්ඩු බලයත් අවශ්‍යයි 

ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපතිවරයාට පමණක් රට සංවර්ධනය කිරීමේ හැකියාවක් නැහැ. එම ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවීම සඳහා ආණ්ඩු බලයකුත් අවශ්‍යයි. 19 සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයාට විධායක බලතල නැහැ. ඔහුට ඇමතිධුර දරන්න හැකියාවක් නැහැ. සේනාධි නායකයා ජනාධිපතිවරයා වන අතර ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලය, විදේශ තානාපතිවරුන් පත්කිරීම ඇතුළු විධිවිධාන ප්‍රමාණයක් තිබෙනවා. නමුත් රට ගොඩනැගීමේ ක්‍රියාවලිය ආණ්ඩුව මත පදනම් වෙනවා. අපි ඒ බව කලින්ම දැක්කා. ඒ සඳහා තමයි අපි දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කරලා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළේ. අපි ගෝල්ෆේස් පිටියට ආවේ ඊට පෙර අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව විශාල පිරිසක් සමඟ දීර්ඝ කාලීන සාකච්ඡාවන් සාර්ථක වීමෙන් පස්සේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන්න සියලු ක්‍ෂේත්‍රවල ප්‍රවීණයෝ, විශ්විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරු, කලාකරුවෝ, වෘත්තිකයෝ විශාල පිරිසක් සම්බන්ධ වුණා. ඒ වගේම රටේ සෑම ප්‍රදේශයකම ගිහින් අපි ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගත්තා. ඒ වගේම ඒ ඒ ක්‍ෂේත්‍රයන් පිළිබඳව දත්ත, වාර්තා, තොරතුරු පදනම් කරගෙන තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කළේ.

18 රැළියෙන් පස්සේ ඇතැමුන් කලබල වෙලා 

18 රැලියෙන් පස්සේ ඇතැම් පිරිස් කලබල වෙලා. ගම්මන්පිල වගේ දේශපාලන අතදරුවන් ගෝල්ෆේස් රැලිය පිළිබඳව විවිධ කතා කියනවා. මේ දේශපාලන අතදරුවන් අවධානය දිනාගන්න සෙල්ලම් බඩු පොළොවේ ගහනවා. අපි ඒවා ගණන් ගන්නේ නැහැ. සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව නියෝජනය කරමින් රට ගොඩනැගීමේ තීරණාත්මක සන්ධිස්ථානය අපි පසුගිය 18වැනිදා ගෝල්ෆේස් පිටියේදී සනිටුහන් කළා. රට වෙනස් කිරීමේ යෝධ පියවර තැබුවා. ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කොට තිබෙන අනුර දිසානායක සහෝදරයා මහ පොළොවේ පය ගහපු ගොවි, ධීවර, ශිෂ්‍ය කම්කරු ජනතාවගේ හද ගැස්ම හඳුනන දේශපාලන පරිණතභාවයක් තිබෙන අවුරුදු ගණනාවක් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණු සහෝදරයෙක්. ඔහු සමඟ අපි ජනාධිපතිවරණයට සූදානම්.

තව මාස 3කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එජාප, රාජපක්‍ෂ කඳවුරේ ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් නැහැ. ඔවුන්ගේ ප්‍රතිපත්ති සමානයි. හොරකම, නාස්තිය, දූෂණය ඒ කඳවුරේ ජාන ලක්‍ෂණයයි. ඒ අපේක්‍ෂකයින් වටා ඉන්න බොහෝ පිරිසක් චූදිතයින්, අපරාධකාරයින්, අධිකරණවල නඩු තිබෙන පුද්ගලයින්. ඒ අයත් එක්ක කොහොමද ජනතාවාදී පාලනයක් හදන්නේ, ආර්ථිකය ගොඩගන්නේ? ඔවුන් රට ගොඩනගන්න සුදුසුද? පහුගිය වසර 70ක කාලය තුළ රට හදන්න බැරි බව ඔවුන් විසින් ඔප්පු කර තිබෙනවා. ඒ නිසා එම හොරුන්ගේ කඳවුරට එරෙහි පිල ජාතික ජන බලවේගයයි. ජනතාවට තිබෙන එකම විකල්පය ජාතික ජන බලවේගයයි. අපිට හොඳ ප්‍රතිපත්තියක් තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීම සඳහා හොඳ දේශපාලන නායකත්වයක් තිබෙනවා, එම ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවීම සඳහා මැදිහත් වන ලෙස ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම දෙනාට අපි ආරාධනය කරනවා.‘‘

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පැවසුවේ, 

ජවිපෙ කිසිදු විටක ජනපතිවරණ වලදී ආණ්ඩු හදන්න මැදිහත් වුණේ නෑ

‘‘ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අවස්ථාවකදී ජනාධිපතිවරණවලදී ආණ්ඩු හදන්න මැදිහත් වුණේ නැහැ. ජනාධිපතිවරණවලදී විවිධ උපක්‍රම පාවිච්චි කරලා තිබෙනවා. විවිධ දේශපාලන තීන්දු අරගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස 2015 පාර්ලිමේන්තු මැතිවරණය ගත්තත් ජනතා විමුක්ති පෙරමුණේ අපි වෙනම තරග වැදුණා. එජාපය වෙනම තරග කළා. අද වෙනම ඉන්න මෛත්‍රී සහ මහින්ද පිල පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග කළේ එක කණ්ඩායමක් ලෙසයි. විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණවලදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි යන තීන්දුවට අනුව කටයුතු කර තිබෙනවා. එක් පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණේ මතය මේ වනවිට මතවාදීව ජයග්‍රහණය කොට තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් එක්සත් ජතික පක්‍ෂය පවා මේ වනවිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයට පැමිණ තිබෙනවා. අපි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ ජයග්‍රහණය කිරීමේ අරමුණින්. ඒ වගේම ඉන් නොනැවතී රටේ ආණ්ඩු බලය ලබාගැනීම දක්වා වන දීර්ඝ ක්‍රියාවලිය පිළිබඳව මනා සැලසුමකින් තමයි අපි මෙවර තරග වදින්නේ.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉදිරියේදී විවිධ දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කරන්න අපි මේ වනවිට තීරණය කොට තිබෙනවා.‘‘ යන්නයි.