දුම්රිය සේවය නැංවීමට ණය ගැනීම දේශපාලන ප්‍රෝඩාවක්



කොළඹ හා තදාසන්න දුම්රිය සේවාව දියුණු කිරීමේ අරමුණින් සකස් කර ඇති සැලසුම් ව්‍යර්ථ උත්සහයන් බවත් දේශීය සම්පත් හා ශ්‍රමය යොදාගනිමින් දුම්රිය සේවය ප්‍රවර්ධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් වත්මන් ආණ්ඩුවට නැති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ඊයේ (22) දින නිකුත් කළ නිවේදනයකින් අවධාරණය කරයි. 

අදාළ නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කරන්නේ, 

අහසේ පාවෙන සැලසුම්

''කොළඹ සහ තදාසන්න දුම්රිය සේවාව නංවාලීමේ අරමුණින් සකස්කර ඇති සැලසුම් අහසේ පාවෙන සැලසුම් බවත්, එම සැලසුම් පෙන්නා පිටරටවලින් ණය ගෙන ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති දේශපාලන ප්‍රෝඩාවක් බවත්, දේශීය සම්පත් සහ ශ‍්‍රමය යොදා ගනිමින් දුම්රිය සේවය ප‍්‍රවර්ධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මේ ආණ්ඩුවට නැති බවත් වගකීමෙන් යුතුව පෙන්වා දෙමු. ඉරිකෝන් සමාගම ඉන්දියානු ණය ක‍්‍රමය යටතේ මුහුදු බඩ දුම්රිය මාර්ගය සෑදීමේදී එක් කිලෝ මීටරයකට රුපියල් කෝටි 19 ක් සහ උතුරු දුම්රිය මාර්ගය සෑදීමේදී එක් කිලෝමීටරයකට රුපියල් කෝටි 34 ක් වැය කළද, අපේක්‍ෂිත අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වී ඇත. එමෙන්ම එම ණය යෝජනා ක‍්‍රමය යටතේම ඉන්දියාවෙන් ගෙන්වා ඇති දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල ඉතාමත් දුර්වල තත්වයේ පවතී. චීන ජාතික සමාගමක් විසින් ඉදිකරන ලද මාතරxබෙලිඅත්ත දුම්රිය මාර්ගය වසර තුනකින් අවසන් කරන බව කීවද, ඒ සඳහා වසර 07 කට ආසන්න කාලයක් ගත කර ඇත. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ යන්ත්‍රෝපකරණ ද යෙදවීමට සිදුවිය. මිලියන 200 ක් වැය කර එම මාර්ගයේ සංඥා පද්ධතිය සවිකිරීමට හැකියාව තිබුණද ඒ සඳහා රුපියල් මිලියන 2000 ක් වැය කර ඇත. මේ වන විට මහව සිට  ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු ද ලබාදී ඇත්තේ ඉරිකෝන් සමාගමටය. ඒ සඳහා දේශීය සම්පත් හෝ ශ‍්‍රමය කිසිවක් යොදා ගන්නේ නැත.

අලුත් දුම්රිය ව්‍යාපෘතියෙන් කොළඹ තදබදය අවම වෙනවාද ? 


කොළඹ මගී තදබදය අඩු කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කරන බව මේ දිනවල කථා බහට ලක්වී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඇ. ඩො. මිලියන 160 ක (රු. මිලියන 28640) ණය මුදලක් අනුමත වී තිබෙන බව මාධ්‍යවල වාර්තා කර තිබෙනවා.

මීට අමතරව ඉන්දියාවෙන් ලොකොමෝටිව් එන්ජින් 03 ක් බලවේග කට්ටල 06 ක් හා මැදිරි 160 ක් ද චීනයෙන් බලවේග කට්ටල 09 ක් හා යුරෝපයෙන් තවත් එන්ජින් ප‍්‍රමාණයක් ණය පදනම යටතේ ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. තනි මාර්ග ද්විත්ව මාර්ග කිරීම, ද්විත්ව මාර්ග ත‍්‍රිත්ව මාර්ග කිරීම හා  කොළඹxරාගම 4 වන දුම්රිය මාර්ගයක් ඉදිකිරීම ගැන සාකච්ඡා බොහොමයක් තිබෙනවා. මීට අමතරව විදුලි දුම්රිය ධාවනය, සැහැල්ලූ දුම්රිය ධාවනය ආදිී ව්‍යාපෘති ගණනාවක් ද ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තියෙනවා. රටේ ජනතාව ණය කාරයින් කර ආණ්ඩුව මහා සංවර්ධන ව්‍යාපෘති සකස් කළද, එම ණය මුදල් වැය කර, සියයට දශම ගණනක හෝ ජනතාවට ප‍්‍රතිලාභ ගෙනදෙන සංවර්ධනයක් කිරීමට අපේ රටේ පැවති ආණ්ඩු වලට නොහැකිවී තිබෙනවා. මහා දැවැන්ත ව්‍යාපෘති පිළිබඳව සුරංගනා කථා කියමින් අහස් මාලිගා තැනීමට ආණ්ඩු සමත් වුවද දැනට ඇති දුම්රිය සේවය නිසි පරිදි විධිමත් ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුවටවත් දුම්රිය බලධාරීන්ටවත් නොහැකි වී තිබෙනවා. දුම්රිය ප‍්‍රමාදය හැමදාමත් එසේමයි. දුම්රිය අවලංගු වීම් හැමදාමත් එසේමයි. තිබෙන දුම්රිය සේවය වඩා යහපත් නොකර අහසේ පාවෙන කෝටි ගණන් වටිනා ව්‍යාපෘති සෑදීම හා ජනතාව ණය කාරයින් කිරීමට ආණ්ඩුවේ දේශපාලන ප්‍රෝඩාවක් බවද ඉතා පැහැදිලිය.

සංවර්ධනයේ මුවාවෙන් දැවැන්ත විනාශයක් 

අප දුම්රිය එන්ජින්, බලවේග කට්ටල, දුම්රිය මැදිරි, තාක්‍ෂණ උපදේශන, දුම්රිය මාර්ග මේ සියල්ල අප ගන්නේ ණයට. අපට ඒවා ලබා දෙන රටවල් සියල්ල අප රටේ දුම්රිය ආරම්භ කරන කාල වකවානුවේම දුම්රිය සේවාව ආරම්භ කරපු රටවල්. එහෙත් දුම්රිය මාර්ගයක් හදාගන්න, මැදිරියක් හදාගන්න අපට නොහැකි වී තිබෙනවා. බි‍්‍රතාන්‍ය ජාතිකයින් අපට ලබා දී ඇති සම්පත් ටිකද අප විනාශයට පත්කර තිබෙනවා. දුම්රිය පරිපාලනය, දුම්රිය ධාවනය, දුම්රිය මූල්‍ය කළමනාකරණය මේ සියළු දේ අතින් අප පරිහානියට ගොස් තිබෙනවා. ඒවා නැවත විධිමත් කිරීමකින් තොරව, ණයට කොපමණ දුම්රිය ගෙන ආවත්, ඒවා සියල්ලමත් කෙටිකාලයකින් විනාශ වෙනවා. ආණ්ඩු ණය ගත්තත් ඒවා ගෙවන්න වෙන්නේ මේ රටේ ජනයාටය. කෝච්චියක් දැක නැති, කෝචිචියක ගිහින් නැති ජනතාවත් මේ ණය ගෙවනවා. 

දුම්රිය සේවය සංවර්ධනය කිරීම සඳහා අනුගමනය කරන සෑම ක‍්‍රියාමාර්ගයක්ම අප ඉතාමත් අගේ කොට සළකන බව පෙන්වා දෙන අතර, එහෙත් සංවර්ධනයේ මුවාවෙන් සිදුකරන මහා දැවැන්ත විනාශය අප දැඩි ලෙස හෙලා දකිමු. ජනතාවට ප‍්‍රතිලාභ නොලැබෙන සංවර්ධනයක් තුලින් කිසි විටෙකවත් ජාතික දියුණුවක් අපේක්‍ෂා කළ නොහැකි බව පෙන්වා දෙන අතර, දුම්රිය සේවයේ කඩා වැටීමට මෙතෙක් පැවති ආණ්ඩු හා පවතින ආණ්ඩුවද එක එල්ලේම වගකිව යුතු බවද පෙන්වා දෙමු.'' යන්නයි. 





සබැඳි පුවත්