අමාත්‍ය මණ්ඩලය වැඩි කිරීමට ගන්නා උත්සහය සාධාරණද ?




වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව 30 සිට 48 දක්වාත්, කැබිනට් නොවන අමාත්‍ය සංඛ්‍යාව 45 දක්වාත් වැඩි කිරීමට ආණ්ඩුව නැවතත් උත්සාහ ගනිමින් සිටින බව කියැවේ. එසේ කිරීමට යන්නේ, පාලක එක්සත් ජාතික පක්ෂය ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවා ගන්නේය යන තර්කය මත පදනම් වෙමිනි. මේ සඳහා වන යෝජනාවක් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ජුලි 31 වැනි දා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. ඇල්. පීරිස් පසුගිය බදාදා කීවේය. 

‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවන අවස්ථාවකදී අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ සලස්වා ඇති එක්තරා ප්‍රතිපාදනයක් පාවිච්චියට ගනිමින් ආණ්ඩුව මෙසේ ක්‍රියා කිරීමට තැත් කරන පළමු අවස්ථාව මෙය නොවේ. දින 52 ව්‍යවස්ථා විරෝධී ක්‍රියාදාමය අවසන් වූ සැණින්ද ආණ්ඩුව මෙසේ කිරීමට උත්සාහ කෙළේය. 

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය 48 දක්වා වැඩි කර ගැනීම සඳහා ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවීම අරමුණු කරගත් යෝජනාවක් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පෙබරවාරි 1 වැනි දා පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාරදුනි. මෙවැනි යෝජනාවක් පාර්ලිමේන්තුව තුළින් සම්මත කර ගැනීම අවශ්‍ය වුණේ, සාමාන්‍ය තත්වයන් යටතේ අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව 30 දෙනෙකුට නොවැඩි විය යුතුය යන සීමාවක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති කොට තිබෙන බැවිනි. එසේ වෙතත්, ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවන අවස්ථාවකදී අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව තීරණය කිරීම පාර්ලිමේන්තුවට බාර වන බව ඒ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේම දැක්වෙයි. ඒ අනුව, තමන් ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවීමට යන බව ආණ්ඩුවේ නායකයෝ කියන්නට වූහ. එසේ කරන්නේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂය යටතේ තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින එකම මන්ත්‍රීවරයා සමග එක්ව එක්සත් ජාතික පෙරමුණු පාර්ශ්වය ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවන්නේය යන තර්කය මත පදනම් වෙමිනි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ආණ්ඩුව කැරැවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව එදා 100 ටත් වැඩි සංඛ්‍යාවක අමාත්‍ය මණ්ඩලයක් පවත්වාගෙන ගොස් තිබුණු තත්වයක් තුළ දැන් අමාත්‍ය මණ්ඩලය මෙසේ විශාල වීම ගැන පැමිණිලි කිරීම සදාචාරවත් නැතැයි කෙනෙකුට අවශ්‍ය නම් කිව හැකිය. එහෙත් එක වරදක් නිසා තවත් වරදක් නිවැරදි වන්නේ නැති බව අපි දනිමු. එසේම, එක්සත් ජාතික පක්ෂයටත් මෙසේ අමාත්‍ය මණ්ඩලය විශාල කර ගැනීමේ සදාචාරමය අයිතියක් නැත. මන්ද යත්, 2015 දී ඔවුන් බලයට පැමිණීමේ වේදිකාවේ ප්‍රධාන පොරොන්දුවක් වශයෙන් ඉදිරිපත් කෙරුණේ, අමාත්‍ය මණ්ඩලය තමන් විසින් 30 කට සීමා කරන්නේය යන ප්‍රතිඥාව වූ බැවිනි.

වර්තමාන ආණ්ඩුව තනි පක්ෂයක ආණ්ඩුවක් නොවේ. එය පක්ෂ දෙකකින් සමන්විතයි. එකක් වන්නේ, එක්සත් ජාතික පක්ෂ/එක්සත් ජාතික පෙරමුණ ය. අනෙක වන්නේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයයි. එම පක්ෂයට පාර්ලිමේන්තුවේ සිටින්නේ එක මන්ත්‍රීවරයෙකු පමණි. ඔහු, අලි සහිර් මව්ලානා ය. 19 වැනි ව්‍යවස්ථාව යටතේ ‘ජාතික ආණ්ඩුව’ යන්න නිර්වචනය කොට ඇත්තේ, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂය, පාර්ලිමේන්තුව නියෝජනය කරන වෙනත් පක්ෂයක් හෝ කිහිපයක් සමග සන්ධානගතව පිහිටුවා ගන්නා ආණ්ඩුවක් වශයෙනි. එබැවින්, වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂය සමග සන්ධානගතව පිහිටුවාගන්නා ආණ්ඩුවක් ‘ජාතික ආණ්ඩුවක්’ වශයෙන් හැඳින්වීම අනීතික යැයි කීමට පුළුවන් කමක් නැත.

එසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ ලාංඡනය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින බහුතර පිරිස, මුස්ලිම් කොන්ග්‍රසය ලාංඡනය යටතේ තේරී පත්වූ එකම නියෝජිතයා වන මඩකලපුව මන්ත්‍රී මව්ලානා සමග සන්ධානගත වීම ‘ජාතික ආණ්ඩුවක්’ වශයෙන් හැඳින්වීම නෛතික වශයෙන් වලංගු විය හැකිද යන්න පැහැදිලි නැත. මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් 5 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ එක්සත් ජාතික පක්ෂ/එක්සත් ජාතික පෙරමුණු නියෝජිතයන් වශයෙන් නිසා ඔවුන් මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ නියෝජිතයන් වශයෙන් නොසැලකේ. එසේ වෙතත්, මව්ලානා පාර්ලිමේන්තුවේ සිටින්නේද නැද්ද යන්න ඕනෑම අවස්ථාවක තීරණය කිරීමේ හැකියාව ඇත්තේ එම පක්ෂ නායක රවුෆ් හකීම්ට ය. එසේ තිබියදී, මව්ලානා වෙනම පක්ෂයක් වශයෙන් සැලකිය හැකිද යන ප්‍රශ්නය තිබේ. 

එසේම, ආචාර විද්‍යාත්මක ගැටළුවක් ද තිබේ. ආණ්ඩුව, තනි පුද්ගලයෙකු සමග ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවා ගැනීමට බලන්නේ, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව 18 කින් වැඩි කර ගැනීමටම පමණි. එය, දුෂ්ට අභිලාෂයක් නොවේද?

ඕනෑම මැතිවරණයකින් පසු වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි කරගන්නා යම් පක්ෂයක් තිබේ. ඒ පක්ෂයට, මේ කියන ඊනියා ‘ජාතික ආණ්ඩුව’ පිහිටුවා ගැනීම සඳහා වෙනත් ඕනෑම කුඩා පක්ෂයක් සමග සන්ධානගතව අමාත්‍ය සංඛ්‍යාව වැඩි කර ගැනීමට හැකි වීම, අමාත්‍ය මණ්ඩලය 30 කට සීමා කිරීමේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අභිලාෂයම ව්‍යර්ථ කරවන්නක් වන්නේය. ඒ අනුව, ඉදිරියේදී ඇති වන ඕනෑම ආණ්ඩුවක් මේ ආකාරයේ ‘ජාතික ආණ්ඩුවක්’ බවටත්, 30 සීමාව ඉක්මවා යන අමාත්‍ය මණ්ඩලයක් සහිත ආණ්ඩුවක් බවටත් පත්වනු ඇත.

ලංකාව වැනි රටකට විශාල අමාත්‍ය මණ්ඩලයක් අවශ්‍ය නොවන බව කාටත් පැහැදිලි ය. එහෙත්, තමන්ගේ මන්ත්‍රීවරුන් සතුටු කිරීම සඳහාම, විවිධ වරදාන සහ වරප්‍රසාද මාර්ගයෙන් මහජන ධනය කොල්ලකෑමට ඒ දේශපාලඥයන්ට ඉඩ සලසනු සඳහාම, මෙවැනි ‘ජාතික ආණ්ඩුවක්’ අටවා ගැනීමට අරඇඳීම දුෂ්ට ය.



(2019 ජුලි 31 වැනි දා Daily Mirror පුවත්පතේ පළවූ “Enlarging Cabinet, An Outrageous Attempt by Ruling Party" නමැති කතුවැකියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)