‘අත්දැකීම් ප්‍රකාශ කළ හැකි හොඳම මාර්ගය සාහිත්‍යයි’ - ජෝකා අල්හාති



- වින්ධ්‍යා ගම්ලත් - 



වසර දහයක කාලයක් පුරා ඇගේ හිතේ පැළපදියම් වී තිබුණු නිමිත්ත නවකතාවක් බවට පත්වී ඉතා කෙටිකලකින්ම ලෝක සම්භාවනාවට ලක්වෙනවා. ඒ මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අරාබි ජාතික ලේඛිකාව බවට පත්වෙමිනුයි. ජෝකා අල්හාති නම් ඇය පසුගිය මැයි 21 වැනිදා පැවති බුකර් සම්මාන උළෙලේදී Celestial Bodies නවකතාව වෙනුවෙන් ඇගයීමට ලක්වෙනවා. මේ කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නේ මැරිලින් බූත් විසිනුයි.  

ජෝකා ගේ හිතේ මේ නවකතාව ගැන මූලික අදහස පහළ වෙන්නේ එඩින්බර්ග් සරසවියේ සම්භාව්‍ය අරාබි කාව්‍යයන් ගැන ආචාර්ය උපාධිය හදාරන අතරතුරේදීයි. සොහොයුරියන් තිදෙනෙකු අතර පවතින සමීප සම්බන්ධය මෙන්ම වෙනස් වන ඕමානයේ ජීවිත අළලා නවකතාවක් රචනා කිරීමේ අදහස යථාවක් බවට පත්වෙන්නේ ඉන් වසර දහයකට පසුවයි. 

‘මේ නවකතාවේ කතා වස්තුව වගේම චරිත ගැන වුණු මූලික අදහස මගේ හිතේ ගැබ්වී තිබුණා. නමුත්, ඇත්තටම, මගේ  Celestial Bodies නවකතාවේ ආරම්භය සිද්ධ වුණේ ගෙදරට වෙලා ඔහේ කාලය ගතකරන කාලයේදී යි. ඕමානයේ මිනිස්සු ගැන ලෝකයට පැවසීමේ දැඩි කැමැත්තක් තිබුණා. මේ කෘතිය ලොවපුරා ඉන්න පාඨකයෝ කියවාවි යැයි හිතනවා. විශේෂයෙන්ම, අරාබි සාහිත්‍යය පරිශීලනය කරන ගල්ෆ් කලාපයේ ඉන්න ලේඛකයින් ගැන දැනගන්න ඔවුන් උනන්දු වේ යැයි විශ්වාස කරනවා.‘ යනුවෙන් ජෝකා සිය කෘතිය ගැන අදහස් පළකරමින් පවසනවා. 

ප්‍රංශ, ස්පාඤ්ඤ, ජර්මන් හා පෝලන්ත ලේඛකයින් පරදමින් බුකර් සම්මානය දිනාගත් ජෝකා ලද ජයග්‍රහණය අරාබි හා ගල්ෆ් සාහිත්‍යයේ පිබිදීමට ද හේතු වනු ඇති බවට විචාරක මත පළවෙනවා. 

ඕමානයේ අල් අවාෆි ගමේ ජීවත්වෙන සොහොයුරියන් තිදෙනෙකුව වන මයියා අස්මා හා කෞලා යන චරිත මේ කෘතියේ සිටින ප්‍රධාන චරිතයන්ය. මයියා දැඩි කම්පාවට පත්වීමෙන් අනතුරුව අබ්දුල්ලා හා විවාහ වන අතර අස්මා අනිවාර්යයෙන්ම කළයුත්තක් සේ සලකා විවාහ ජීවිතයට ඇතුළත් වන්නීය. මේ අතර තමන් වෙත එන සියළු විවාහ යෝජනා ප්‍රතික්ෂේප කරන කෞලා කැනඩාවට සංක්‍රමණිකයෙකු ලෙස ගිය තම පෙම්වතා පැමිණෙන තුරු බලා ඉන්නවා. මේ කාන්තාවන් තිදෙනා වහල් හිමි සාම්ප්‍රදායික ඕමාන් සමාජය අධිරාජ්‍යවාදී යුගයෙන් පසු ක්‍රමයෙන් පරිවර්තනය වන අන්දම දැකගත් සාක්ෂිකරුවන්ය. 

ජෝකා මේ සොහොයුරියන් තිදෙනා ගැන සිහිපත් කරමින් පවසන්නේ, ‘මයියා, අස්මා හා කෞලා කියන සොහොයුරියන් තුන්දෙනාට දැන් බොහොම සතුටු ඇති. ඒත්, මං මේ ගැන වැඩිදුරටත් හිතන්න වෙනවා. ඔවුන් හැමදෙනාම ආදරයෙන් වෙලෙමින් ආත්මීය වශයෙන් ස්වාධීනව කටයුතු කරනවා. ඒවගේම බොහොම සංකීර්ණ චරිත වන මේ තුන්දෙනා දැඩි ධෛර්යයකින් ජීවිතයට මුහුණදෙනවා. මං හිතන්නේ, ඇත්තටම අද කාලේ ඕමානයේ ජීවත් වෙන කාන්තාවෝ ගෙවන්නෙත් මොවුන් වැනිම වු ජීවිතයක් බවයි‘ යන්නයි. 

Celestial Bodies කෘතියේ විස්තර කෙරෙන පවුලේ ඉතිහාසය සොයා යනවිට ඕමානය වෙනස්වී තිබෙන අන්දම දැකගත හැකිවේ. ඕමානයේ වහල් මෙහෙය අවසන් කෙරෙන්නේ 1970 වසරේදීය. 

‘මේ නවකතාවේදී වහල්භාවය වගේ තහනම් මාතෘකාවක් ගැන ලිවීම පවා ඕමානයේ සමහර පාඨකයින්ට සතුටට හේතුවන කරුණක්. නමුත්, සමහර පාඨකයෝ මේ ගැන ඒ තරම් සතුටට පත්වුණේ නැහැ. මෙමගින් විෂයාත්මක වශයෙන් පිළිගැනීමක් ලැබුණු බව ඇත්ත වුණත් ඉතිහාසයට මුහුණදෙන්නත් අපිට සිද්ධ වෙනවා. මගේ ලේඛනය තුළින් සමහර අත්දැකීම් ගැන හඬ නගන්නට උත්සහ ගැනීමත් අතිශය වැදගත් වුණා. විශිෂ්ඨ කතාවකින් පාඨකයින්ට ඉතිහාසය ගැන දැනගන්න හැකිවෙන නිසා ප්‍රබන්ධ කතා වැදගත් වෙනවා. සමහරවිට, ඉතිහාසය නවකතාවත් සමග සන්ධානගත වෙමින් තමන්ටම අනන්‍ය විදියට කටයුතු කරනවා. අබ්දුල්ලා කියන්නේ අතිසාර්ථක වෙළෙන්දෙකුගේ පුතෙක්, ඒ වගේම මයියාට ගැළපෙන හොඳ අනාගත ස්වාමි පුරුෂයෙක්. නමුත්, අබ්දුල්ලා හැදී වැඩෙන්නේ මේ වෙළෙන්දාගේ නිවසේ ශේෂ වී ගියපු වහල්බවින් නිදහස ලැබූ සරීෆාගේ සෙවණේ. මේ එකිනෙක සබඳතා ගැන පාඨකයින්ට ප්‍රසිද්ධියේ පැවසිය යුතු නොවූවද මේ තුළ ගැබ්ව තිබෙන ඉතිහාසය කෘතිය පුරා ඉදිරිපත් කිරීම අතිශය වැදගත් වෙනවා’. වහල් මෙහෙය අවසන් කළ ඕමානය හා සමාජයේ කොන් කිරීමට ලක්වූ වහල්බවින් පීඩා විඳි මිනිසුන් මෙන්ම වහල් බවින් මිදුනු මිනිසුන් ගැන Celestial Bodies කෘතියේ ගැබ්වී තිබෙන තොරතුරු ගැන ජෝකා විස්තර කරන්නේ එලෙසයි. 

මේ වනවිට 41 හැවිරිදි වියේ පසුවන ජෝකා, මස්කට් සුල්තාන් සරසවියේ කලා හා සමාජ විද්‍යා අංශයේ සහකාර කථිකාචාර්යවරියක ලෙස සේවයේ යෙදෙනවා. ඇය මීට පෙර 2004 වසරේදී Manamat (Dreams) හා 2016 දී Narinjah (Bitter Orange) නමින් කෘතීන් දෙකක් පළකර තිබෙනවා. 

‘මං අරාබි භාෂාවට දැඩිව ඇළුම් කරනවා. ලේඛිකාවක තමන්ගේ භාෂාවට ආදරය කරන අතරතුරදී අරාබි භාෂාව බොහොම නිවැරදිව භාවිත කරන්න උත්සහ ගන්න නිසාම අනෙක් භාෂාවන් අතිදුෂ්කර බව වැටහෙනවා. එක භාෂාවකට දැඩිව ආදරය කරද්දී තවත් භාෂාවක් හැදෑරීම මහත් පීඩාවක් වෙන්න පුළුවන්. මං පාසල් අවදියේදී ඉංග්‍රීසි භාෂාව ගැන ලොකු උනන්දුවක් දැක්වූවේ නැතිවුණත් මගේ ආචාර්ය උපාධියේදී ඉංග්‍රීසි බසින් ලියන්න සිද්ධ වීමත් අතිශය අසීරු වුණා. මට තවත් භාෂාවකින් ලියන්න සිද්ධ වේවි කියලා කවදාවත් හිතුවේ නැහැ.‘ යනුවෙන් අරාබි හා ඉංග්‍රීසි භාෂා වලින් කටයුතු කිරීමේදී තමන් අත්විඳි දුෂ්කරතා පෙන්වාදෙමින් ජෝකා පවසන්නීය. ඇගේ විශ්වාසය වී තිබෙන්නේ ‘අත්දැකීම් ප්‍රකාශ කළ හැකි හොඳම මාර්ගය සාහිත්‍යයි’ යන්නයි.