‘‘අපද්‍රව්‍ය බහාලුම් ප්‍රති අපනයනයට කරන්න‘‘ - රේගු සේවා සංගමය



අපද්‍රව්‍ය අඩංගු බහලූම් සිය ගණනක් ආනයනය කර ඇති අතර එම අපද්‍රව්‍ය මෙරට පරිසරයට මුදාහැරීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස හා එලෙස අපද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සඳහා ඉඩකඩ ලබා දුන් ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස සමස්ත ලංකා රේගු සේවා සංගමය අද (18) දින ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. 


අදාළ ලිපියේ වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ, 

‘‘මේ වන විට අපද්‍රව්‍ය අඩංගු බහලූම් 225කට ආසන්න ප‍්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඉන් 120ක්ම වරායෙන් මුදාගෙන කටුනායක වෙළඳ කලාපය තුල ගබඩා කර තිබේ.

ඔබතුමා යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසක් ඊයේ දිනයේ එම ස්ථානයට ගොස් තිබූ අතර ඔවුන් ප‍්‍රකාශ කළේ එලෙස ගොඩගසා ඇති අපද්‍රව්‍ය වලින් යම් බහලූම් ප‍්‍රමාණයක් මේ වන විටත් ප‍්‍රති අපනයනය කර ඇති බවත් ඉතිරි අපද්‍රව්‍යත් ප‍්‍රති අපනයනය කිරීමට පියවර ගන්නා බවත්ය. එහෙත් මෙම නිලධාරීන් ඉදිරිපත් කරන්නේ අපද්‍රව්‍ය මෙරටට ගෙන්වූ ජාවාරම්කරුවන් විසින් ලබාදෙන තොරතුරු මිස ඔවුන් අධීක්ෂණය කර ලබා ගත් ඒවා නොවේ. එබැවින් එම තොරතුරු වල සත්‍යතාවය පිළිබඳව අපට ගැටළුවක් තිබේ. ලැබී ඇති තොරතුරු වලට අනුව මේ වන විටත් ගොඩබාන ලද අපද්‍රව්‍ය වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් රට තුළට බැහැර කර ඇති අතර ඉතිරි ඒවාද සූක්ෂම ලෙස එසේ බැහැර කරනු ඇත. එසේ වුවහොත් අපේ රටේ පරිසර පද්ධතියට සිදුවිය හැකි හානිය සුළුපටු නොවන අතර එහි වන්දිය නූපන් පරම්පරාවලටද ගෙවීමට සිදුවනු ඇත. එසේ වුවහොත් වර්තමාන පරිසර ඇමතිවරයා ලෙස ඔබතුමාද එහි මූලික වගකිවයුත්තෙකු වීම නොවැලැක්විය හැකි වනු ඇත.

එබැවින් ප‍්‍රමුඛතම කාර්යයක් ලෙස සලකා කටුනායක වෙළඳ කලාපය තුල ඇති අපද්‍රව්‍ය තොග හා කොළඹ වරාය තුල ඇති අපද්‍රව්‍ය සියල්ලම විධිමත් පරීක්ෂාවක් යටතේ ප‍්‍රති අපනයනය කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු. එසේම මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් රට හමුවේ හෙළිදරව් කර ඔවුන්ට නිසි දඬුවම් පමුණුවන ලෙසත්, මෙම ජාවාරම සඳහා අවශ්‍ය නීතිමය ඉඩකඩ සකස්කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්        2013-07-11 වන දින නිකුත් කල අංක 18-18-30 දරන ගැසට් පත‍්‍රය අවලංගු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.‘‘ යන්නයි.