දෙවන බස ඉගෙනුමෙන් දස්කම් පෑ සිසුන් 3,500ක් ඇගයේ




'දන්නව නම් උගන්වන්න- දන්නෙ නැත්නම් ඉගෙන ගන්න' නමින් ක්‍රියාත්මක කරන ලද ගුවන්විදුලි වැඩසටහන් ශ්‍රවණය කර, 2018 අ.පො.ස (සා.පෙළ) විභාගයේ සිංහල හා දෙමළ භාෂා විෂය ධාරාව සඳහා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3,500 දෙනෙකු සහ ඔවුන්ගේ ගුරුවරුන් 600 දෙනෙකු ඇගයීම සඳහා සංවිධානය කෙරෙන උත්සවයක් 2019 ජූලි 18 දින සවස 3.00 සිට  අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි. මෙම වැඩසටහන ගරු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙයි. 

සිංහල සහ දෙමළ භාෂා ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇත. සිංහල සිසුන් තුළ දෙමළ භාෂා අවබෝධයත්, දෙමළ සිසුන් තුළ සිංහල භාෂා අවබෝධයත් පවතින්නේ අවම මට්ටමකය. 

දෙවන බස ප්‍රවර්ධනය කිරීම උදෙසා ගුවන්විදුලි මාධ්‍ය උපයෝගී කරගනිමින් ජාතික ඒකාබද්ධතා,රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. මේ සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවා සහ ප්‍රාදේශීය සේවාවන් යොදා ගෙන ඇත.

මෙම වැඩසටහන ජාතික ඒකාබද්ධතා,රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍ය මනෝ ගනේසන් මහතාගේ සංකල්පයකි.