‘‘සෝෆා ගිවිසුම අත්සන් කර නැහැ‘‘ - අගමැති



'රජය ඇමරිකා එක්සත් ජනපදය සමඟ සෝෆා ගිවිසුමක් අත්සන් කර නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ  (17) සවස අරලියගහ මන්දිරයේදී හමුවූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසට සහතික විය.

සෝෆා ගිවිසුම, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සහ ඉඩම් (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත පිළිබඳව පැන නැගී කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් අගමැතිව මුණගැසුණි..

මෙයට පෙර නීතිඥ සංගමයේ නියෝජිත පිරිස විදේශ ඇමැති තිලක් මාරපන හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද  හමුවී තිබිණි.

සාකච්ඡාව අවසානයේදී ඒ පිළිබඳව අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ.

"ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් සමග සාර්ථක රැස්වීමක් පැවැත්වුණා. සෝෆා ගිවිසුම, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සහ ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ගැන ඔවුන් කරුණු විමසුවා. සෝෆා ගිවිසුමක් අප විසින් අත්සන් කර නැති බව මා ඔවුන්ට පැවසුවා. ඔවුන් ඒ ගැන සතුට පළ කළා. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳවද මම කරුණු පැහැදිලි කළා. ඉඩම් (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත දැන් පාර්ලිමේන්තුව හමුවේ ඇති බව මම පැවසුවා. ඒ සම්බන්ධ තම නිර්දේශ ඉදිරිපත් කරන බව නීතිඥ සංගමයේ නියෝජිතයන් ප්‍රකාශ කළා. "

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, උප සභාපති ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, ලේකම් නීතිඥ කෞශල්‍ය නවරත්න ඇතුළු විධායක සභිකවරු සහභාගි වූහ.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, අමාත්‍ය තලතා අතුකෝරාළ, අගමැති ලේකම් සමන් ඒකනායක සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකයේ අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන ඇතුළු පිරිස ද මීට සහභාගී විය.