‘‘අප හතරවන කර්මාන්ත විප්ලවය කරා ගමන් කළයුතුයි‘‘ - අගමැති



ලොව අනෙකුත් රටවල් මෙන් දියුණුවී ඉදිරියට යාමට නම් හතරවන වන කර්මාන්ත විප්ලවය ඇරඹිය යුතු බවත්, ඊට වුවමනා විශේෂඥ දැනුම ලබාදී එය ජය ගැනීමට හැකි වන පරිදි මෙරට විශ්වවිද්‍යාල හා පශ්චාත් උපාධි අංශ දියුණු කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (04) දින කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසුවේය. 

මේ අවස්ථාවට රාවුෆ් හකීම්, අකිල විරාජ් කාරියවසම්, කරුණාරත්න පරණවිතාන, ආශු මාරසිංහ, විමලවීර දිසානායක, තිලංග සුමතිපාල, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලක්‍ෂ්මන් දිසානායක ඇතුළු පිරිස සහභාගී වී සිටියහ. 


ඩිජිටල් තරඟයට ලක්ව ඇති ලෝකය සමඟ ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට හැකිවන ආකාරයට ඉදිරි වසර 5ක් සඳහා දිගු කාලීන සැලැස්මක් අප ඇතිකරගත යුතු බවද අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.


අද මේ විශ්වවිද්‍යාලය දියුණුවක් ලබා තිබෙනවා 

''අද මෙම ස්ථානයට පැමිණියේ පශ්චාත් උපාධි ආයතනයේ නව දේශනාගාරය විවෘත කිරීමටයි. මා දන්නා පරිදි මෙම ගොඩනැගිල්ල කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය ලෙස පැවති කාලයේදී මගේ පියා එහි King George  ශාලාවේ දේශනවලට සහභාගි වී සිටියා.

මම අධ්‍යාපනය ලබන අවධියේ මෙහි නව කලාගාරයක් මෙන්ම තුරඟ තරඟ පිටියේ තිබු ගොඩනැගිලි ද විශ්වවිද්‍යාල සඳහා භාවිත කරනු ලැබුවා. නීතිපීඨය සඳහා කුඩා කාමර දෙකක් තිබුණා. නමුත් අද වන විට මෙම විශ්වවිද්‍යාලය විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා.

මෙම ස්ථානයට නායකත්වයක් ලබා දුන් උප කුලපති ලක්ෂ්මන් දිසානායක මහතා විශ්‍රාම යෑමට පෙර මම මෙම ස්ථානයට පැමිණීමට තීරණය කළා.  එතුමා කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණි කාලයේ මට මෙහි ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දීමේ වගකීම භාර දී තිබුණා. එදා කොළඹ මණ්ඩපය පිළිබඳ ප්‍රශ්නය නිසා විශාල උද්ඝෝෂණයක් පැවතුනා.

එම වර්ෂයේ විශ්වවිද්‍යාලයට ඇතුලත් වූ අපි සියලූ දෙනා පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත් නිසා වෙනත් විශ්ව විද්‍යාලයක නොව කොළඹ විශ්වවිද්‍යාලයේම නම ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි. අද වන විට එය සාර්ථක වී ඇති බැවින් මා ඒ පිළිබඳ ආඩම්බර වෙනවා. මම සමඟ සමගාමීව අධ්‍යාපනය ලැබූ අය අතරින් දෙදෙනෙක් ලේකම්වරු වුණා. තව කෙනෙක් අග්‍රවිනිශ්චයකාරවරයෙක් වූ අතර මම රටේ අගමැති වුණා. කෙසේ හෝ මෙම විශ්වවිද්‍යාලයේ කටයුතු තව තවත් ඉදිරියට යා යුතුයි. 

හතරවන කර්මාන්ත විප්ලවය කරා යා යුතුයි 

අප දැන් හතරවන කර්මාන්ත විප්ලවය කරා ගමන් කළ යුතු කාලය එළඹ තිබෙනවා. එකල අපි විවෘත ආර්ථිකයක් අවශ්‍ය බව දැන සිටියා. නමුත් ඇත්ත වශයෙන්ම එකල ආර්ථික දෙපාර්තමේන්තුවේ අය පැවසුවේ පාලන ආර්ථිකයක් රටට අවශ්‍ය බවයි. විවෘත ආර්ථිකයක් අවශ්‍ය බව පැවසුවේ නීති දෙපාර්තමේන්තුවේ සිටි පිරිසයි. ලංකාවේ ආර්ථික ව්‍යුහය සකස් වූයේ ඒ ආකාරටයි. 

නමුත් අපිට මීට වඩා වැඩ කොටසක් කළ යුතුයි. රාවුෆ් හකීම් අමාත්‍යතුමා සදහන් කළ පරිදි  අපි ඒ වෙනුවෙන් වැඩකටයුතු රාශියක් ආරම්භ කළා. වෛද්‍ය විද්‍යා පීඨ 2ක් ඉංජිනේරු පීඨ 3ක් මෙන්ම තාක්ෂණ විද්‍යා පීඨ ගණනාවක්ම අපි ආරම්භ කළා. ශිෂ්‍ය සංඛ්‍යාව ද වැඩි කළා. කිලිනොච්චිය, කුලියාපිටිය ආදි ප්‍රදේශ ගැන සලකා බැලූ විට විශ්වවිද්‍යාල ගොඩනැගිලිවල විශාල පරිවර්තනයක් සිදු වී තිබෙනවා. එසේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 32000කට අවශ්‍ය පහසුකම් සපයා දී තිබෙනවා. ටැබ් මිලදී ගැනීම සදහා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ණය පහසුකම් ලබාදී තිබෙනවා.  පිටරට අධ්‍යාපන ලබන අවස්ථා වැඩි කර තිබෙනවා. ඒවගේම විශ්වවිද්‍යාල අතර සම්බන්ධතා වැඩිවී තිබෙනවා. මෙය ආරම්භයක් පමණයි.


අලුත් ආර්ථික රටාවක් වෙනුවෙන් කුමක් කරමුද ? 

මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කළ කාලයේ ලංකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාලය වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයි. දෙවන තැන හිමිවූයේ කොළඹ විශ්වවිද්‍යාලයටයි. ඒ සමයේ සිංගප්පුරුවේ විශ්වවිද්‍යාලවලට ඇතුලූ වීමට කවුරුත් කමති වුණේ නැහැ. මුදල් ලබා දුන්නත් සිංගප්පූරු විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා යාමට කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට කැමති විශාල පිරිසක් සිටියා. යම් පිරිසක් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළුවීමටත් උත්සාහ කළා. නමුත් අද තත්වය වෙනස් වෙලා.

අද ආසියාවේ හොඳම විශ්වවිද්‍යාල අතරින් පළමු තැන හිමිවන්නේ සිංගප්පුරුවේ ජාතික විශ්ව විද්‍යාලයටයි. කොළඹ හා පේරාදෙණියට හිමිවන්නේ තුන්සීයත් පසු වූ ස්ථානයි. එදා කොරියාව විශ්වවිද්‍යාල ආරම්භ කලා පමණයි. එසේ නම් අපේ අධ්‍යාපන ක්‍රමයත්, ආර්ථික ක්‍රමයත් පසුබෑමකට ලක්වී තිබෙනවා. බොහෝ රටවල ආර්ථික දියුණුව සමඟ අධ්‍යාපනය ද දියුණු වී තිබෙනවා. අද වන විට බංගලාදේශය විශ්වවිද්‍යාල විශාල දියුණුවක් අත්කරගෙන තිබෙනවා.  


මෙහිදී අප කාරණා දෙකක් පිළිබද අවධානය යොමුකළ යුතුයි. එකක් වන්නේ හතරවන කර්මාන්ත විප්ලවයයි. ඒ හරහා අලූත් ආර්ථික රටාවක්, නව දැනුම හඳුන්වා දිය යුතුයි.  ඒ සදහා අවශ්‍ය විශේෂ දැනුම විශ්වවිද්‍යාල හරහා ලබා දිය යුතුයි. ඒ නිසා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය මෙන්ම පශ්චාත් උපාධි අංශද තව තවත් දියුණු කළ යුතුයි. ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයක් සඳහාම මෙම අවස්ථා ලබාදීමට නොහැකි වුණත් තෝරාගත් විශ්වවිද්‍යාල වලට මෙම අවස්ථා ලබාදිය යුතුයි. 

නව තොරතුරු තාක්ෂණය, නැනෝ තාක්ෂණය දියුණු කළ යුතුයි.  එසේම වාණිජ කෘෂිකර්මය ද හඳුන්වා දිය යුතුයි. සිංගප්පුරුවේ තට්ටු නිවාස වලින් අපිටත් වඩා මල් ප්‍රමාණයක් විදේශ රටවලට මේ වන විට අලෙවි කරනවා. මෙම ක්‍රමවේද දියුණු කිරීම සඳහා අපි මුදල් වෙන් කළ යුතුව තිබෙනවා 

සුහුරු පන්ති කාමර 

අපේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා සුහුරු පන්ති කාමර ක්‍රමය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ගුරුවරු පුහුණු කිරීම ආරම්භ කර තිබෙනවා. දැනුම සහිත ශ්‍රී ලාංකික ගුරුවරු ගණනාවක් වෙනත් රටවල් වල සිටිනවා. ඔවුන් නැවත ගෙන්වා ගැනීමටත් කටයුතු කළ යුතුයි. පශ්චාත් උපාධි සඳහා සහභාගි වන අයට පසුව  ගෙවීමේ ක්‍රමවේදය  ඔස්සේ අපිට ණය ලබාදිය හැකියි. ආණ්ඩුවක් ලෙස ඉදිරි වසර 5 තුල අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇතිකිරීම අපේ අරමුණයි. 

අපේ විශ්වවිද්‍යාල දියුණු කළ යුතුයි. ආසියාව තුල අධ්‍යාපනයේ  නවීකරණයක් ඇති කළ යුතුයි. වර්තමානය වන විට ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල අතර මුල්තැනක් ගන්නවා. එසේ නම් අපේ විශ්වවිද්‍යාලත් එම මට්ටමට ගෙන ආ යුතුයි. ආණ්ඩුවක් ලෙස අප ඒ පිළිබඳව කල්පනා කළ යුතුයි. උපාධිය හදාරන අතරම රැකියාවක් ලබා දෙන වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.

ඇමෙරිකාව තමන් ලෝකයේ බලවත්ම රට යැයි මීට වසර 10කට පමණ පෙර පැවසුවා. වැඩිම දළ දේශීය නිෂ්පාදනය ඇති රටත් ඇමෙරිකාවයි. නමුත් එම තත්වය උපරිම වශයෙන් තවත් වසර 10කින් පමණ අවසන් වන බව ඇමෙරිකානු සෙනට් සභිකයෙකු වරක් පැවසුවා. තවත් වසර 10ක් පමණ ගත යන විට චීනය ඉන්දියාව, ඇමෙරිකාවට වඩා දළ දේශීය නිෂ්පාදනයෙන් ඉහල අගයන් වාර්තා කරන බව  ඔහු එදා පැවසුවා. 

දැන් ලෝකයේ ඩිජිටල්කරණයට ලක්වී තිබෙනවා. අද සටන තිබෙන්නේ ඒ මතයි. එමගින් ඉදිරි වසර 5 වෙනුවෙන් දීර්ඝ කාලීන සැලැස්මක් අපි දැන් අති කරගත යුතු යැයි මම පවසනවා.  ඒ වගේම ඔබට අලූත් ගොඩනැගිල්ලක් ලැබීම  පිළිබඳව මම අවසාන වශයෙන්  සතුට ප්‍රකාශ කරනවා.''