‘‘ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරී පනතක් තව මාස තුනකින් ගේනවා‘‘ - මංගල


අයවැයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට හා මෙම ණය කපා හරින ණය නියාමන අධිකාරී පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය මංගල සමරවීර අද (5) පාර්ලිමේන්තුවේදී පැවසුවේය. 

ක්ෂුද්‍ර මූල්‍ය නියාමන රාමුවක් ඇති කරමින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට හා ඒ නියාමන රාමුව තුළ විධිමත් නීතිමය බලයක් ආරෝපණය කිරීමට බලාපොරොත්තු  බව ඔහු අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමින්  වැඩිදුරටත් පැවසුවේය. 

අමාත්‍යවරයා පැවසූ අදහස් වැඩිදුරටත්, 

‘‘රුපියලේ අගය සීග්‍රයෙන් අවප්‍රමාණය වනවෙලාවේ තීන්දුවක් ගන්න සිදුවෙනවා. තීරු බදු රහිත වාහන ආනයනයට ඉඩ දෙමින් කටයුතු කරනවා.ණයවර ලිපි නිකුත් කරන්න අවස්ථාව ප්‍රකාශ කර තිබෙනවා. ජුනි මස 01 සිට ණයවර ලිපි නිකුත් කරන්න පුළුවන්. මන්ත්‍රී ඩග්ලස් දේවනන්ද මහතා ප්‍රශ්නයක් විමසුවා. ගම්පෙරළිය උතුරේ දී දෙමළ භාෂාවට පෙරළා භාවිතා කරන්න කියලා.මෙහි නමේ ප්‍රශ්නයක් නෑ, කුමන නමින් ආවත් ගම්පෙරළිය වැඩසටහන ඉතා සාර්ථක ලෙස උතුරු පළාතේ සිදු වෙනවා.. මෙය දකින්නේ වෙළඳ නාමයක් ලෙස. පරිවර්තනය කිරීමේ කිසිම විරුද්ධයක් නෑ.අපි මේ ගැන සාකච්ඡ කළ හැකියි. ජනතාවට ලැබෙන සේවය ඉහළ මට්ටමකින්  ලැබෙනවා. ඊයේ (4) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණාය පිළිබඳව විමසා තිබුණා.

ක්ෂුද්‍ර මූල්‍ය ණය කාන්තාවන්ට බරපතල ප්‍රශ්නයක් 

මෙය බරපතල ප්‍රශ්නයක්. අපේ  රජය කාන්තාවන්ට ණය 45000කගේ කපා හැරියා. පවුල් පාලනය කළ අය ක්ෂුද්‍ර මූල්‍ය ගැන කතා කිරීම දෛවයේ සරදමක්. සුනාමි ව්‍යසනයෙන් පසු රටට ගලාගෙන ආ අතිවිශාල ආධාරවලින් යම් කොටසක් විවිධ අය තම ගෙවල් වලට හරවා ගත්තා. මේ පශ්චාත් සුනමි ආධාර තමයි ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයේ මුල.

ජාතික සංවර්ධන අරමුදලට මොකද වුණේ කියලා අපි හොයනවා. 2015 ජනවාරි ආණ්ඩුව ගන්නකොට ජනතාව කණකර උකස් කර බේරාගන්න නොහැකිව හිටියා. 2015 මුල් කාර්තුව සිට මේ දක්වා රජය රුපියල්  මිලියන 94ක සහන ලබාදී තිබෙනවා. 2015 අතුරු අයවැයෙන් ගොවි ණයවලින් සියයට 50%ක් අහෝසි  කළා.දිස්ත්‍රික්ක 12ක නියඟයෙන් දුක් විදි,ණය ගත් කාන්තාවන් 45,000කගේ ණය  මාස දෙකකට පෙර ඉවත්  කළා. බිලියන 1.2ක් රජය වියදම් කළා.ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ජාවාරම තුළ දුගී කාන්තාවන් නැති කරන ජාවාරම  පිටුපස තිබෙන්නේ තිබෙන්නේ පසුගිය රජයේ කළු සල්ලි. 

රජයේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම 

මේ ව්‍යාපාරය කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක් ලෙසයි ආරම්භ වුණේ. මේ පිළිබඳ පැහැදිලි කරුණු පාර්ලිමේන්තුවට ලබාදෙන්නම්. අප අයවැයෙන් ක්ෂුද්‍රමූල්‍ය ණය කපා හරින්නත් ආර්ථික සංවර්ධනය තුළින් සංහිදියාව ඇති කරන්නත් කටයුතු කළා. ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින ණය නියාමන අධිකාරි පනතක් පාර්ලිමේන්තුවට මාස තුනකින් ඉදිරිපත් කරනවා. රජය මේ තත්ත්වය හඳුනාගෙන ක්ෂුද්‍රමූල්‍ය ප්‍රශ්නය විසඳීමට පටන් ගත්තා. දේපළ මංකොල්ල කෑම වැලැක්වීමට මින් බලාපොරොත්තු වෙනවා.ක්ෂුද්‍ර මූල්‍ය නියාමන රාමුවක් ඇති කරමින් පාරිභෝහිකයා ආරක්ෂා කරන්නත් ඒ නියාමන රාමුව තුළ විධිමත් නීතිමය බලයක් ආරෝපණය කරන්න බලාපොරොත්තු වෙනවා‘‘