‘‘පරාක්‍රමබාහු රජතුමාත් බදු පැනෙව්වා‘‘ - අගමැති


ඉතිහාසයේ වැඩිම වී අස්වැන්නක් මෙවර ලැබී තිබෙන බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී තවදුරටත් ඒ තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තය හා වී වගාව නවීකරණය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු කර තිබෙන බව ඊයේ (07) අනුරාධපුරයේ පැවැති අලූත් සහල් මංගල්‍යට එක්වෙමින් පැවසුවේය. 

මෙම අවස්ථාවට අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම ධම්මරඛිත සිරිනිවාස නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය පී හැරිසන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක ඇතුළු පිරිස එක්වී සිටියහත 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ, 

වසර 2000 ක් පැරණි චාරිත්‍රයක් 

‘‘අලූත් සහල් මංගල්‍ය වසර දෙදහසක තුන්දහසක පමණ අතීතයේ සිට අප පවත්වාගෙන එන චාරිත්‍රයක්. එය සිංහල සංස්කෘතියේ කොටසක් ලෙස හැඳින්විය හැකියි. බත් කන කෘෂිකාර්මික ජාතියක් වූ අපේ ජීවිත රදාපැවතුණේ සාර්ථක කෘෂිකර්මාන්තය මතයි. අතීතයේ අපේ මුතුන් මිත්තන් මල්වතු නිම්නයේත්, යාන් ඔය නිම්නයේත් සහ මහවැලි නිම්නයේත් කෘෂි කර්මාන්තයේ යෙදුණා. ඒ වගේම තමන්ගේ ගම්මානවල ඉදිවූ කුඩා වැව් ආශ්‍රිතව වී වගාවේ නිරත වුණා. මේ සියල්ලටම අහස් ජලයත් අවශ්‍ය වුණා. එම නිසා සාර්ථක අස්වැන්නක් අවසානයේ ඉන් ලබාගන්නා පළමු සහල් අස්වැන්න දෙවියන්ට පුදකරමින් පූජා පැවැත්වීම සිරිතක් බවට පත් වුණා. 

දෙවියන්ට පුද පූජා පැවැත්වීමේ සිරිත මිහිදු මහරහතන් වහන්සේගේ පැමිණීමත් සමග ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ ගමේ පන්සලට පුද පූජා පැවැත්වීම දක්වා වෙනස් වුණා. අතීතයේ ඒ ආකාරයට ශිෂ්ඨාචාරය පමණක් නොව ආර්ථිකයත් හැඩ ගැසුණා. ඒ හරහා විශාල ලෙස ආදායම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ඒ වගේම ඒ කාලයේ ජනතාවගෙන් බදු එකතු කිරීමත් සිදු කළා. ඒ හරහාත් විශාල ලෙස ලාභ ලැබුවා. 

අතීතයේ පරාක්‍රමබාහු රජ සමයෙත් බදු පැනවූවා 

වර්තමානයේ බදු පණවන විට ආණ්ඩුවට චෝදනා කිරීමට පෙර අතීතයේ රජ දවස පරාක්‍රමබාහු රජතුමාත්  බදු පැනවූ බව සිහිපත් කර ගත යුතුයි. සිංහල රජ කාලයේ මෙන් නැවතත් වී වගාව රට පුරා ව්‍යාප්ත කිරීමට ඩී.එස්. සේනානායක මැතිතුමා කටයුතු කළා. එතුමා යටතේ විශාල ලෙස පැරණි වැව් ප්‍රතිසංස්කරණය වුණා. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ ආරම්භ වූ මහවැලි ව්‍යාපාරය හරහා රජ කාලයේ සිදු නොවුණු තරම් වාරිමාර්ග ව්‍යාපෘති ගණනාවක් ආරම්භ වුණා. 

ඒ අනුව යමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වර්තමානයේ විශාලතම ජලාශ ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශය ආරම්භ කළා. වාරිමාර්ග වෙනුවෙන් අපේ රජය විශාල වශයෙන් මුදල් වෙන් කර තිබෙනවා. 2003 වසර වන විට ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත රටක්. නමුත් පසුගිය කාලයේ පැවැති දැඩි නියගය නිසා ප්‍රදේශ ගණනාවකට ගොවිතැන් කිරීමට නොහැකි වුණා. නමුත් අවසානයේ දෙවියන්ට පින්සිඳු වෙන්නට නැවතත් අහස් ජලය අපට ලැබෙමින් පවතිනවා. 

මෙවර මෙට්‍රික් ලක්ෂ 30 අස්වැන්නක් ලැබුවා 

මෙවර සහල් අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්‍ෂ 30 ක් පමණ වනවා. කන්නයකට වැඩිම අස්වැන්නක් ලැබූ වසර මේ වසර බව පැවසිය යුතුයි. එම නිසා දෙවියන්ට පිං දෙනවා සේම වගාවට මහන්සි වූ ගොවියන්ටත් ස්තූතිවන්ත විය යුතුයි. එම ගොවීන් නොමැති නම් මෙවැනි අස්වැන්නක් ලබාගත නොහැකියි. කෘෂි කර්මාන්ත අමාත්‍යංශය, ගොවිජන සේවා ආයතන, පළාත් සභාවේ කෘෂි කර්මාන්ත අමාත්‍යංශය ආදී සියලූ ආයතනවල නිලධාරීන්ටත් ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම පී. හැරිසන් ඇමැතිතුමාටත්, හිටපු කෘෂි කර්මාන්ත අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාටත්, මහින්ද අමරවීර ඇමැතිතුමාටත් ස්තුතිවන්ත විය යුතුයි. 

ඉදිරියේදී මේ ප්‍රදේශවල තවත් වාරිමාර්ග ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරන බවත් මෙහිදී පැවසිය යුතුයි. මේ වනවිට දේශගුණය විටින් විට වෙනස් වෙනවා. එම නිසා වෙනස් වුණු දේශගුණයට අනුව ගෙවිතැන් කිරීමටත් කටයුතු කළ යුතුයි. පිලිපීනය වැනි රටවල් වල අඩු ජල භාවිතය හරහා ගොවිතැන් කරන ක්‍රම සොයා ගෙන තිබෙනවා. මෙවැනි ක්‍රම හරහා කෘෂි කර්මාන්තය දියුණු කළ යුතුයි. ඒ අනුව ඉදිරියේදී වී ගොවිතැනේ නවීකරණයක් සිදු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු කර ඇති බව පැවසිය යුතුයි. 


පසුගිය වසරේදී නියඟයෙන් පීඩා විඳි ජනතාවට ආධාර ලබාදුන්නා 

පසුගිය වසර තුන හතර තුළ අප අවධානය යොමු කළේ නියඟයෙන් පීඩා විඳි ජනතාවට ආධාර ලබාදෙන ආකාරය පිළිබඳවයි.  දැන් නියඟය තරමක් දුරට පහව ගොස් තිබෙන නිසා පුරුදු පරිදි ගොවිතැන් කටයුතුවල නියැලීමට හැකියාව තිබෙනවා.

ඒ වගේම ග්‍රාමීය ජනතාවට වැඩි ආදායමක් ලබාදීම සඳහා ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ හරහා ඔබේ ගම්මානවලට අවශ්‍ය යටිතල පහසුකම් සහ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය මුදල් ද ලබාදෙනවා. සිංහල ශිෂ්ඨාචාරය යනු කෘෂිකාර්මික ශිෂ්ඨාචාරයයි. අපේ රටේ ගොවිතැනින් ජීවත් වන ජනතාව අපි අමතක කර නැහැ. නමුත් ඉදිරි පරම්පරාව ගොවිතැන තුළ රඳවා ගන්නා ක්‍රමයක් අප කල්පනා කළ යුතුයි. 

ඔවුන් ගොවිතැන තුළ රඳවා ගැනීමට නම් නව කෘෂිකාර්මික ක්‍රමවේද තිබිය යුතුයි, ආර්ථිකය යහපත් විය යුතුයි.  මේවා අපට තිබෙන ප්‍රධාන අභියෝග බව අප හඳුනා ගනිමින් ඒවාට විසඳුම් සොයා ගත යුතුයි. එසේ නොවුණොත් අපේ සහල් අස්වැන්න විශාල ලෙස අඩු වෙනවා. අවසාන වශයෙන් ජය ශ්‍රී මහා බෝධියට පිං දෙමින් අස්වැන්න සාර්ථක වී පැවැත්වූ අලූත් සහල් මංගල්‍ය නිසා ඔබ සියලූදෙනාටම සුභ අලූත් අවුරුද්දක් වේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා.