''මනුෂ්‍යත්වය උත්කර්ෂවත් කරමු‘‘ - අගමැතිතුමාගේ අලුත් අවුරුදු දින පණිවිඩිය


''සොබාදහමත් දිනෙන් දින අලූත් වෙමින් වසන්තශ්‍රීයෙන් හැඩ ගැන්වෙන බක් මාසයේ එළඹෙන සිංහල, දමිළ අලූත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලූත් කරගැනීමටත්, ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවකි.

අලූත් අවුරුද්ද කේන්ද්‍ර කොට ගත් සංකල්ප, චාරිත්‍ර විධි මේ සියල්ල සොබාදහම සහ මිනිසා අතර වන සහසම්බන්ධතාව අලූත් කරන අතරම, මනුෂ්‍ය සමාජය තුළ ද ආදරය, ගෞරවය, සහෝදරත්වය, එකමුතුකම වැනි මානව වටිනාකම් ගොඩනැංවීම ඉලක්ක කොටගෙන නිර්මාණය වී ඇත. 

උතුරු - දකුණු භේදයකින් තොරව ලාංකේය සමාජයේ සැම එක්ව සමරන අලූත් අවුරුද්ද අප ජීවිතවල මෙන්ම මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයකි. අවුරුදු සිරිත් විරිත් එහි නිසි අරුත් පහදවාගෙන මනුෂ්‍යත්වය උත්කර්ෂවත් කිරීමේ සහ ජීවිතයේ සැබෑ සතුට අත්විඳීමේ අභිලාෂයෙන් අනුගමනය කිරීම ඉතාම වැදගත් ය.

ලක්වැසි ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය උදාවන සුබ අලූත් අවුරුද්දක් වේවායි හෘදයාංගමව සුභාශිංසන එක්කරමි.''