‘‘විද්‍යා පීඨ ගුරුවරු දහදාහකට මේ වසරේදී පත්වීම් ලබාදෙනවා‘‘ - අගමැති


දැනුම හා තාක්ෂණය තිබෙන රටවල් ලොව ඉදිරියෙන්ම සිටින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (3) දින මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල පිළිසකර කර විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් පැවසුවේය. 

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක ද විදුහල්පතිනි සුමේධා ජයවීර යන මහත්ම මහත්මීන් ඇතුළුව රාජ්‍ය නිලධාරීන් හා ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.

වසර 13ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම තුලින් එදා ගල්ලෑල්ල, කළුලෑල්ල භාවිතා කරමින් අධ්‍යාපනය ලැබුව යුගය පසුකර වයිට් බෝඩ්, සුහුරු පන්ති කාමර දක්වා පැමිණ තිබෙන බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා මෙරට දරුවන්ට නවීන දැනුම ඔස්සේ ඉදිරියට ගොස් ලොව ජයගැනීමේ මංපෙත් විවරකර දීම සඳහා පියවර ගෙන තිබෙන බව ද පෙන්වා දුන්නේය. 

එහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවේ, 

‘‘ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල අලූත්වැඩියා කර විවෘත කිරීමට මට ආරාධනා කිරීම පිළිබඳව විදුහල්පතිතුමිය ඇතුළු සියළු දෙනාට මාගේ ස්තුතිය පිරිනැමීමට කැමතියි.

මේ ගොඩනැගිල්ල ෙඓතිහාසික ගොඩනැගිල්ලක් බව කිව යුතුයි. ඊට හේතුවම වන්නේ විද්‍යාලයේ ඉතිහාසය තරම් මේ ගොඩනැගිල්ල පැරණියි. ශාන්ත පාවුළු විද්‍යාලය අසල තිබූ දේවස්ථානය සමඟ එදා මේ පාසල ඉදිවුණා. 

ශාන්ත පාවුළු විද්‍යාලය ආරම්භ කරන අවදිය වනවිට බම්බලපිටිය, කොල්ලූපිටිය ප්‍රමුඛ මේ ප්‍රදේශයේ බහුලව නිවාස තිබුණේ නැහැ. හැම තැනම පොල්වතු දකින්න තිබුණා. මගේ මවගේ මවගේ පවුලේ අයටත් මේ ප්‍රදේශයේ පොල්වතු තිබුණා. 

පාසල් යන අවධියේ සිට මේ විද්‍යාලය ගැන මම දැන සිටියා. එදා තුන්මුල්ල මන්සන්දියෙන් බම්බලපිටිය දෙසට වැඩිපුර තිබුණේ කාන්තා පාසල් බව කිව යුතුයි. විශාඛා විද්‍යාලය, ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, හෝලි ෆැමිලි විද්‍යාලය  මේ අතර ප්‍රධාන තැනක් ගත් විද්‍යාල ලෙස එදා සැලකුවා. වර්තමානය වනවිට මේ තත්වය වෙනස් වී තවත් විද්‍යාල ගණනාවක් අළුතින් ඇතිවී තිබෙනවා. 

රටේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එදා මේ විද්‍යාලයට ප්‍රථමයෙන් මා පැමිණි අවස්ථාවේ එවකට විදුහල්පතිනිය ලෙස කටයුතු කළ භාග්‍යා ගුණසේකර මැතිනිය මාව පිළිගත් අයුරු මට සිහිපත් වෙනවා. මෙම විද්‍යාලයේ ඉතිහාසයේ ගුණසේකර මැතිනියට විශේෂ තැනක් තිබෙනවා. 

මම අධ්‍යාපන ඇමති ධූරයට පත්වන කාලයේදී අමාත්‍යාංශයේ අයත් එතුමියට බය වෙලයි සිටියේ. එතුමිය සිදුකළ සේවය අපට අමතක කරන්න බැහැ. එදා විද්‍යාලය සම්බන්ධව මතුවන ප්‍රශ්නවලදි එතුමිය දුරකථනය මගින් සෘජුවම මට කතා කරනවා. ඒ සම්ප්‍රදාය අනුව වත්මන් විදුහල්පතිනිය වන සුමේධා ජයවීර මැතිනිය ද කටයුතු කිරීම ගැන එතුමියට ප්‍රශංසා කරනවා.

ශාන්ත පාවුලූ බාලිකා විද්‍යාලය මෙන්ම ලංකාවේ තිබෙන සෑම විද්‍යාලයක්ම විශාල ප්‍රතිසංස්කරණයකට ලක්කළ යුතුව තිබෙනවා. විසිවැනි ශතවර්ෂයේ අපි අධ්‍යාපනය ලැබූ ක්‍රමයට වඩා දියුණු තත්වයක් අද තිබෙනවා. ගාල්ලෑල්ල, කළුලෑල්ල භාවිත කරමින් අධ්‍යාපනය ලැබූ යුග පසුකර වයිට් බෝඩ් එක දක්වා පැමිණියා.

අධ්‍යාපන ඇමති ලෙස මා සියලු දරුවන්ට පෙළපොත් දුන්නා

මා අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ සමයේ පාසල් දරුවන් සියළු දෙනාට පෙළ පොත් ලබාදීමට ක්‍රියා කළා. එදා දුරකථන තිබුණේ නැහැ. අපි ගනුදෙනු කළේ ලිපි මගින් බව කිව යුතුයි. හදිසි අවස්ථාවක විදුලි පණිවුඩයක් යැව්වා. වෙනත් සන්නිවේදන මාර්ගයක් තිබුණේ නැහැ. අද වනවිට ඒ තත්වය සම්පූර්ණයෙන් වෙනස් වී තිබෙනවා.

කර්මාන්ත විප්ලවයටත් පසු අද නව තාක්ෂණය පැමිණි තිබෙනවා. ඒ තාක්ෂණය අපේ අධ්‍යාපනයට අද ලැබී තිබෙනවා. එදා මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දීමෙන් පසු අධ්‍යාපනය සීඝ්‍රයෙන් පැතිරුණා සේ නව තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ඉදිරියට යන බව කිව යුතුයි.

වර්තමානය වනවිට පරිගණකය මෙන්ම අයිෆෑඩ්, ටැබ් ආදිය තිබෙනවා. ගුගල්, යුටියුබ්, ට්වීටර් ඊමේල් ආදි විවිධ වූ අංග තිබෙනවා. මේ එකක්වත් එදා තිබුණේ නැහැ. අද සම්පූර්ණයෙන්ම ලොව වෙනස් වී තිබෙනවා. පුද්ගලයෙකුට ගමනක් යෑමට උවමනා කරන ත්‍රිරෝද රථය, ටැක්සිය අද තාක්ෂණය භාවිතා කර පහසුවෙන් ගෙන්වා ගත හැකියි. 

අපි අළුත් යුගයකට පා තබා තිබෙනවා 

මේ අනුව අපි අළුත් යුගයකට පා තබා තිබෙනවා. එමගින් අධ්‍යාපනය ලබාගත හැකියි. ලෝකය ස්මාට් යුගයකට පැමිණ තිබෙනවා. මේ ස්මාට් යුගය තව අවුරුදු දහයකින් පහළොවකින් වෙනස් වී වෙනත් යුගයක් ඇතිවේවි.

එදා පළමු පරිගණකය මේ පාසලට මා ලබාදුන්නා. නමුත් අද පරිගණක, නැනෝ තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, විවිධ වෛද්‍ය තාක්ෂණ, ජෙනටික්ස්, ආදි සෑම එකක්ම තිබෙනවා. මේ හැම එකකින්ම අපට උවමනා දැනුම ලබාගත යුතුයි. ඒ දැනුම මූලික වශයෙන් ලැබෙන්නේ පාසලින් බව සිහිපත් කළ යුතුයි. අද ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ දැනුම හා තාක්ෂණය තිබෙන රටවල් බව කිව යුතුයි. ඒ රටවල කුඩා දරුවන්, ශිෂ්‍යයන්, වැඩිහිටියන් ආදි සෑම කෙනාම තාක්ෂණයට අනුව වැඩකටයුතු කරමින් ඉදිරියට යනවා. එසේ නම් අපට තාක්ෂණ දැනුම පදනම් කරගත් සමාජයක් තිබිය යුතුයි.

ශ්‍රී ලංකාවද ස්මාර්ට් අධ්‍යාපන ක්‍රමයට යොමු කළ යුතුයි. ඒ අනුව පළමු ස්මාර්ට් පංති කාමරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ ආරම්භ කළා. ඒ අනුව මේ වනවිට එය පාසල් ගණනාවක ආරම්භ කර තිබෙනවා. 

පළමු ස්මාර්ට් විදුහල කුරුණෑගලදී 

මෙරට පළමු ස්මාර්ට් විද්‍යාලය පසුගිය දා අපි කුරුණෑගල ආරම්භ කළා. ගුරුවරුන්ට මේ පුහුණුව වැඩිපුර ලබාදිය යුතුයි. පාසල්වල මෙය ඉදිරියේදී ආරම්භ කිරීමට අපි පියවර ගන්නවා.

දැනුවත්කමින් පිරිපුන් ශ්‍රම පිරිසක් මේ රටට අවශ්‍ය වී තිබෙනවා. පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් සියයට පනහක් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පාසල්වලින් පිටව යනවා. මේ නිසා වසර දහතුනක් දරුවන්ගේ අධ්‍යාපනය අනිවාර්ය කිරීමෙන් අවශ්‍ය අයට උසස් ද්විතීයික අංශයේ විෂය ධාරාවට ඇතුල්වීමටත් අපි අවස්ථාව සලසා දී තිබෙනවා.

මේ පාසලේ දී තාක්ෂණය පිළිබඳව සංගම් කිහිපයක් තිබෙන බව මා දුටුවා. එය ඉතාම හොද තත්වයක් බව කිව යුතුයි. මෙලෙස එම තාක්ෂණ දැනුම ලබාගෙන විද්‍යාලයෙන් පිටවූ පසු රැකියාවට හෝ වෙනත් තැනක  දැනුම යොදවා එය තවත් වර්ධනය කරගත හැකියි.


නව තාක්ෂණය මුසු වූ වෘත්තීය පාඨමාලා වුවමනයි 

වෘත්තීය පුහුණුව ලබාගැනීමට අද අවස්ථාව උදාවී තිබෙනවා. අද නව තාක්ෂණය සමග තිබෙන වෘත්තීය පුහුණු පාඨමාලාවල  අඩුවක් තිබෙනවා. ඒ නිසා ඉදිරි අවුරුදු පහ තුල එම තත්වය වැඩි කිරීමට අපි පියවර ගන්නවා. 

දැනුම ඇති ශ්‍රම පිරිසක් ඇතිකිරීමට නම් රටේ සියයට තිස් අටක් 38% වන කාන්තා ශ්‍රම දායකත්වය සියයට හැටපහ (65%) දක්වා වැඩිකළ යුතුයි. දිවා සුරැකුම් මධ්‍යස්ථන, ප්‍රවාහනය වැනි අංශද  දියුණු කරමින් ඒ අංශවලට කාන්තා ශ්‍රම දායකත්වය වැඩිකළ යුතුයි.

අද අප උත්සාහ කරන්නේ රටට අළුත් අධ්‍යාපන ක්‍රමයක් ලබාදීමටයි. අපි හැම විටම දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කළා. ඒ නිසා අපි නැවත දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවේ ඇති කිරීමට පියවර ගන්නවා. 

පාසල් අධ්‍යාපනය දෙස බලනවිට අපේ රට ඉහළින් සිටිනවා. නමුත් දැන් ලබන අධ්‍යාපනය යල් පැනපු අධ්‍යාපනයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා මෙය වෙනස් කිරීම සඳහා අපි විශාල වැඩපිළිවෙලක් මේ වනවිටත් ආරම්භ කර තිබෙන බව කිව යුතුයි.

අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලැබූ ගුරුවරු 10,000 මේ වසරේ  ඇතුළත් කරනවා

අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලැබූ ගුරුවරු 10,000 මේ වසරේ  ඇතුළත් කරනවා. එමෙන්ම තවත් අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කිරීමට අප පියවර ගෙන තිබෙනවා. පාසල් ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ටද අළුත් දැනුම ලබාදිය යුතුයි. අපේ පාසල්වල විදුහල්පතිවරු විදේශ රටවලට යවා එම රටවල අධ්‍යාපනයේ සිදුවුන වෙනස්කම් ගැන අවබෝධයක් ඒ අයට  ලබාදිය යුතුයි.

අධ්‍යාපනය දියුණු කිරීම සඳහා වත්මන් අධ්‍යාපන ඇමතිතුමා විශාල වගකීමක් භාරගෙන අද ක්‍රියාකරමින් සිටිනවා. රටේ කොපමණ ප්‍රශ්න තිබුණත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන්කර අධ්‍යාපනයේ සිදුවිය යුතු පරිවර්තනය අපි මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ වැඩ පිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙහි පූර්ණ දියුණුවක් ඇතිකළ යුතුයි.

එදා මේ පාසලට මා පැමිණෙන විට මට මුණ ගැසුනේ මේ ශිෂ්‍යාවන්ගේ මව්වරු. ඒ මව්වරු එදා ලැබූ අධ්‍යාපනය අද දරුවන්ට ලබාදිය යුතු නැහැ. මව්වරුන්ට එදා ජංගම දුරකථනය තිබුණේ නැහැ. මවට එදා අයිපෑඩ් එකක් තිබුණේ නැහැ. යූටියුබ්, ට්වීටර් ආදිය එදා මවට තිබුණේ නෑ. ඒ සියල්ලම ඔබට තිබෙනවා නම් අධ්‍යාපනය වෙනස් කර ඉදිරියට යා යුතුයි. ඒ වැඩකටයුත්ත අපි ඉදිරියට ගෙන යනවා.'' යන්නයි.