වගකීම් විරහිත දේශපාලඥයින් ගෙදර යා යුතු නොවේද ?




- නාගානන්ද කොඩිතුවක්කු -


රට දැය ගැන සතපහක වගකීමකින් කටයුතු නොකරන, අහිංසක ජනතාවගේ ජීවිත ගැන කිසිම සැලකිල්ලක් නැති  කොළ හා නිල් පාට නියෝජනය කරන දේශපාලුවන්ගේ ක්‍රියාකලාපය ගැන තව තවත් තොරතුරු පසු ගිය දින දෙකේ ඔබ මැනවින් අත් දුටුවේය.  මොවුන් මැනවින් ප්‍රගුණ කර ඇත්තේ රට නිදහසේ මංකොල්ල කෑම පමණි. තමන්ගේ හෙළුව  පසුගිය පැය 48 තුල මොවුන් ලොවටම හෙළි කල අතර තමන් සමස්ථ ජනතාවම පාවාදීමට වගකිව යුතු බව BBC, CNN  ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගැනීමට සිදුවිය. 

නිරුත්තර වූ විධායක ජනාධිපති හා අගමැති ප්‍රමුඛ යහපාලන රජය මෙම මහත් ජීවිත දේපළ හා ආර්ථිකය බිඳ වැටීමේ  සම්පුර්ණ වගකීම භාර ගැනීම පමණක් කොහෙත්ම ප්‍රමාණවත් නොවේ. මොවුන් සියලු දෙනා තමන් දරන සියලුම මහජන නිලතල වලින් ඉල්ලා අස්විය යුතුයි. 

2019 අප්‍රේල් 11 දිනැති නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායකගේ ලිපිය හා ජනතාව පාවාදෙන නීතිපති හා පොලිස්පති 

ලොවම මවිත කල මෙම ලිපිය පැහැදිළිවම වැලක්වීමට තිබු ඛේදවාචකය ගැන කරුණු මැනවින් කරුණු සහිතව  කරුණු අනාවරණය කර තිබිණ.  එසේ වුවද,  ධුරය පාවාදීම ගැන  කිසිම ලැජ්ජාවක් නැති නීතිපති හා පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක  මෙම ලිපිය ජනතාවගෙන් වසන් කිරීමට සෑම උත්සාහයක්ම ගත්තේය. නමුත් යහපාලනයේ ඇමතියන් කීප දෙනෙකු විසින්ම  මෙම ලිපිය පිළිගෙන රටවැසියා ආරක්ෂා කිරීමට යහපාලන රජය  අසමත් වීම පිළිබඳව සිය බලවත් කණගාටුව ජනතාවට පළ කිරීමත් සමගම ජනතාව වෙනුවෙන් නොව දේශපාලුවන් ආරක්ෂා කිරීමේ නීච සම්ප්‍රධාය එදා ඉඳන්ම අනුගමනය කල නීතිපති හා පොලිස්පති දැන් ඇටි කෙහෙල් කෑ වුන් මෙන් හකුලාගෙන ඇත. 

අකර්මන්‍ය වී ඇති රජයේ බුද්ධි අංශය 

මේ අවස්ථාව වන විට රජයේ බුද්ධි අංශය ක්‍රියාත්මක වන්නේ පොලිස් දෙපාර්තමේන්තුව යටතේ මිස ත්‍රිවිධ හමුදාවේ කිසිම දැනුමක් පාලනයක් යටතේ නොවේ. කොහෙත්ම සෑහීමකට පත් විය නොහැකි මේ කණගාටුදායක තත්වය පිළිබඳව  හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක රට්ටුන්ට පැහැදිළිව කරුණු හෙළි කළේය. ඔහු කරුණු අනාවරණය කරමින් කියා සිටියේ පොලිස් දෙපාර්තමේන්තුව මෙම මහත් විනාශය ගැන තොරතුරු ත්‍රිවිධ හමුදාවට අනාවරණය නොකළ බවය. 

ජනතාව පාවාදුන් ජනාධිපති ඇතුළු රජය, පොලිස්පති නීතිපති වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතුයි 

තුට්ටු දෙකේ ජනතාවට පිළිකුල් වී සිටින ජනාධිපති, අගමැති හා කැබිනට්  මණ්ඩලය ගැන ජනතාවට තවත් කරුණු කියන්න අවශ්‍ය නැත. රට මේ තරමට බිඳ වැටීමට ප්‍රධාන හේතුව ජනතාව හැමදා වංචා කල දේශපාලුවෝ පමණක් නොව හැමදා ඔවුන් හමුවේ දනින් වැටෙමින් ඔවුන්ටේ උවමනා එපා කම් වලට තමන් දරන තනතුරු පාවිච්චි කරමින් ජනතාව පාවාදුන් රජයේ සේවකයින්ය. මේ අතර නීතිපති හා පොලිස්පති කැපී පෙනෙයි. 

මේ රටේ නීතිපති හා පොලිස්පති සැබවින්ම ජනතාවට තව වුවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙම ලිපිය  පදනම් විරහිත අසත්‍ය ලිපියක් ලෙස හුවා දක්වමින් රටේ ජනතාව වංචා කිරීමට සෑම  උත්සාහයක්ම ගත්තේය. ඔහුන් නීතියෙන් බැඳී සිටින්නේ  නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරමින් තමන් දරන ධුරයන් වෙත පැවරෙන කාර්ය හා කර්තව්‍ය නීති ප්‍රකාරව ඉෂ්ඨ කරමින් ජනරජයේ පරම අධිකාරිය වන ජනතාවට වගකීමට පමණක් බව නොදන්නා තරමට මොවුන් අන්ධ වී ඇත.එහෙයින් රට කන දේශපාලුවෝ ආරක්ෂා කිරීමට ඕනෑම පාවාදීමක් කිරීමට මොවුන් සැදී පැහැදී සිටිති.  විධායක ජනාධිපතිට හෝ තුට්ටු දෙකේ යහපාලනය ආරක්ෂා කිරීම තම වගකීම නොවන බව තේරුම් ගැනීමට මොවුන්ට ප්‍රඥාවක් නැත. එහෙයින් නීතිපති ජයසූරියට සහ පොලිස්පති ජයසුන්දරට තව එක දිනක්වත් රාජකාරියේ යෙදීමට සදාචාරාත්මක අයිතියක් නැත. එහෙයින් මොවුන් මෙම වරදට සම්පුර්ණ වගකීම භාරගෙන ජනතාවගෙන් සමාව ගෙන ඉල්ලා අස්විය යුතුය.   

අත්අඩංගුවේ පසුවූ සැකකරුවන් නිදහස් කල දේශපාලුවෝ තවමත් නිදැල්ලේ 


මේ අතර මෙම විනාශය දියත්කර සිය දිවි හානිකරගත් එක අපරාධකරුවකු මීට ප්‍රථම අත් අඩංගුවට ගෙන සිටි බවත් පසුව ඔහු දේශපාලුවකුගේ  මැදිහත් වීමෙන් නිදහස් කරන ලද බවත් දැන් කරුණු අනාවරණය වී ඇත.  එය දැන් යහපාලන රජය විසින්ම පිළිගෙන ඇත.රටේ ජනතාවට තව දුරටත් මේ තුට්ටු දෙකේ කථා වලින් පලක් නැත.  ඔවුන් අපේක්ෂා කරන්නනේ යුක්තිය පසඳලීම පමණි. මොහු කවරෙකු වුවද වහාම  සිර භාරයට ගැනීම අනිවාර්ය වෙයි. 

ආර්ථිකය නැවත බිඳ හෙලීම 

මේ දුෂිත පාලනයේ අවසානයක් තිබිය යුතුය. අවසානයේ නැවතත් දුකට සන්තාපයට පත්වුයේ තම ජීවිත පවා අහිමි කරගත්තේ කිසිවක් කර කියාගත නොහැකි අහිංසක ජනතාවයි. පන අදිමින් සිටි ආර්ථිකය හුස්ම නොවැටෙන තරමට නිහඬ වී ඇත. 


වගකීමෙන් ආරක්ෂා වීමට කරන ප්‍රකාශ  

රටේ ආර්ථිකය විනාශ කර, ජනතාවගේ ආරක්ෂාව පිලිබඳ පියවර ගැනීම පැහැර හැර ඇති ජනාධිපති හා අගමැති දැන්  රාජ්‍ය ආරක්ෂාවට ඇඳිරි නීතිය හා හදිසි නීතිය ප්‍රකාශ කරයි. ජනතාවගේ ජීවිත මෙසේ කාලකන්නි කරන්නේ ඔවුන් කල කුමන වරදකටද ?  තමන් කල ගොන්කම් හමුවේ අසරණ වී ඇති යහපාලනය දැන් මියගිය අයක වෙනුවෙන් ජනතාවගේ බදු මුදල් වලින් රුපියල් ලක්ෂ 10 බැගින් ගෙවන බව ප්‍රකාශ කරයි. ජනතාව මේ අඥාන අමනයෝ තව කෙතෙක් කල් ඉවසිය යුතුද ? 

විහිළුව තවත් තීව්‍ර කරන පරීක්ෂණ කොමිෂන් සභා

කිසිදු වගකීමකින් තොරව ක්‍රියාකරමින්  රට දැය  නිර්ලජ්ජිතව අනාථ කල නිර්ලජ්ජිත  විධායක ජනාධිපතිට හා අගමැති හා කැබිනට් මණ්ඩලයට තව දුරටත් ජනරජයේ පරම අධිකාරිය වන ජනතාවට මුහුණ දිය නොහැක.  තම වගකීම සහමුලින්ම පාවා දුන් මොවුන් මෙම මහා විනාශය පරික්ෂා කිරීමට  විජිත් මලල්ගොඩගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇත. මොහු කව්ද ? ජනතාව පිළිගන්නා චරිතවත් පුද්ගලයෙක්ද ? කොහෙත්ම නැත.  දැනටමත්   දුෂණ අපරාධ චෝදනා මත දුෂණ කොමිසම හමුවේ බරපතළ දුෂණ චෝදනා ලැබ සිටින මොහු ගැන තවදුරටත් කරුණු අනාවරණය කිරීම අනවශ්‍යය වන්නේය. 

මහින්ද රාජපක්ෂ විසින් මොහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයකට  පත්කරන විට එය දැඩි සේ විවේචනය කලේ නීතිඥ සංගමයේ සභාපති වරයා විසින්ය.  මලල්ගොඩ  අධිකරණයට පත්කලේ  අධිකරණය ජනාධිපතිගේ අන ක්‍රියාත්මක කරන ආයතනයක් බවට පත් කට  ජනාධිපති රාජපක්ෂගේ මන දොළ පිනවන ආයතනයක් බවට පත්කිරිමටදැයි නීතිඥ සංගමයේ සභාපති වරයා මොහු පත් කරන අවස්ථාවේදීම එය දැඩි විවේචනයට ලක් කරමින් විමසා සිටියේය.  එය මැනවින් සාක්ෂි ඇතිව තහවුරු කරන, ඔහු අධිකරණයට පත්කිරීම තරයේ හෙළාදකින නීතිඥ සංගමයේ එවකට සභාපති වරයා විසින් නිකුත් කරන වාර්තාවක් මේ සමග පල කෙරෙයි. එය මැනවින් හා උවමනාවෙන්මෙ තේරුම් ගෙන මෙවැනි අයකු සභාපති වශයෙන් පත්කරන පරීක්ෂණ කොමිසමකින් කෙතෙක් දුරට නිර්ව්‍යාජ, අවංක පරීක්ෂණයක් පැවැත්වෙනු ඇතිද යන්න ඔබටම මැනවින් තේරුම් ගත හැකිය. 


මෙම ඛේදවාචකයෙන් වාසි ගන්න බලන දේශපාලුවෝ 

මහින්ද රාජපක්ෂ නිල්පාට කමිසයකින් හා ඔහුටම අවේනික වූ රතු රෙදි පටිය පැළඳ රෝහල් ගානේ දුක බලන්න ගියේය. 2019 අප්‍රේල් 11 දිනැති නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායකගේ ලිපිය විශ්‍රාමික ජනාධිපති වශයෙන් ඔහු වෙතද ලැබී තිබිණ. දැන් කිඹුල් කඳුළු හලන ඔහුට ඒ පිළිබඳව නිසි පියවර ගැනීමට ඕන තරම් ඉඩ කඩ තිබිණ. බොරුව හා වංචාව හා රැවටීම පැල පදියන් වී ඇති මේ ජරාජීර්ණ වූ දේශපාලනයේ රාජපක්ෂගෙන් ඊට වඩා යමක් ජනතාවට අපේක්ෂා කල නොහැක 

බුද්ධිමත් ජනතාවගේ සමාජ මෙහෙවර 

රට තව දුරටත් අගාධයටම හෙලන මේ විහිලුව මෙතකින් නිමා විය යුතුය. මෙයින්වත් පාඩමක් ඉගෙන,  හැමදාම මේ දුෂිත වංචාකාරී දේශපාලුවෝ දියකර දෙන පුන්නක්කු දිවුල් කිරි කියා බොන, දරිද්‍රතාවයෙන් පෙළෙමින් ඔවුන් හමුවේ දනින් වැටෙන අහිංසක මිනිස්සු අවදි කිරීමට රටේ යමක් කමක් තේරෙන නමුත් තවමත් තමන්ගේ දිවි පෙවතට හානියක් වී නැතැයි සිතන සුළුතරය දැන්වත් තේරුම් ගත යුතුය. තව දුරටත් මේ කොළ, නිල් රතු නිවට දේශපාලුවෝ කෙරෙහි කිසිම විශවාසයක් තැබිය නොහැකි බව රට්ටුන්ට තේරුම් කර දීමේ වගකීම පැවරෙන්නේ ඔවුන් වෙතය. එය පමා කරන දිනක් පාසා රටට වන හානිය කිව නොහැකි තරම්ය.