නිට්ටඹුවේදී පොලිසිය තවත් මිනී මස් කති

නිට්‌ටඹුවේදී පොලිස්‌ වෙඩි වැදී යතුරුපැදියේ ගිය තරුණයා මරුට

පොලිසිය හිටියේ බීලා වගෙයි - තුවාල ලැබූ අනෙක්‌ තරුණයා කියයි


පෙරේදා (11 දා) රාත්‍රි නිට්‌ටඹුව පස්‌යාල හන්දිය අසලදී පොලිස්‌ අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලිසියෙන් වෙඩි තැබීමෙන් යතුරුපැදිකරු මියගොස්‌ එහි සිටි අනෙක්‌ පුද්ගලයා සුළු තුවාල ලබා ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ යතුරුපැදිය ධාවනය කළ ගිනිදම්මන, කිතුල්මන, මීරිගම
ප්‍රදේශයේ පදිංචි සුභාෂ් ඉන්දික ජයසිංහ නමැති විසිහතර හැවිරිදි එක්‌දරු පියකි.

මියගිය පුද්ගලයා මුදල් ගනුදෙනු කරන අයකු යටතේ සේවය කරයි. ඔහුට අයත් මුදල් එකතු කරගෙන මිතුරකු සමග නිට්‌ටඹුවේ සිට පස්‌යාල ප්‍රදේශයට ගමන් කරමින් සිටියදි හෙතෙම මෙම අනතුරට මුහුණපා ඇත.

පෙරේදා රාත්‍රී 11.30 ට පමණ නිට්‌ටඹුව පොලිසියේ (53411) වෙළගෙදර සහ (85874) නුවන් යන කොස්‌තාපල්වරුන් දෙදෙනා නිට්‌ටඹු හන්දිය අසල ආසන්න ස්‌ථාන දෙකක රාජකාරි කරමින් සිට ඇත.

එම අවස්‌ථාවේදී මුහුණු ආවරණය කළ හිස්‌ වැසුම් පැළඳ අධික වේගයෙන් ධාවනය වූ මෙම යතුරුපැදියට නතර කරන ලෙස එක්‌ නිලධාරියකු අණ කර තිබේ.

මෙහිදී යතුරුපැදිකරු පොලිස්‌ අණ නොතකා කොස්‌තාපල්වරයාගේ ඇඟට යතුරුපැදිය කපා ධාවනය කර ඇතැයිද එහිදී ඉදිරියෙන් සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයා එම යතුරුපැදිය නතර කරන ලෙස අණ කර ඇතත් එය ද නොතකා ඔහුගේa පාදයේ ද ගැටෙමින් ධාවනය කිරීමේදී එම නිලධාරියා යතුරුපැදිකරුට වෙඩි තබා ඇතැයි ද, උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

වෙඩි වැදුණු යතුරු පැදිකරු මීටර් 120 ක්‌ පමණ දුර ධාවනය කර ඇති අතර එහිදී යතුරුපැදිය පෙරලී වැටී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මියගිය පුද්ගලයාගේ උරහිසට පහතින් වෙඩි පහරවැදී ශරීරය හරහා ගොස්‌ පිටවී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

සිද්ධියෙන් සුළු තුවාල ලබා වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන සචින් චතුරංග (18) නමැති තරුණයා මෙසේ ප්‍රකාශ කළේය.

"මියගිය ඉන්දික අයියා යතුරුපැදිය වේගයෙන් ධාවනය කළේ නැහැ.

අනුරාධපුරයට යන වාහන වැඩි නිසා ඒ මොහොතේ යතුරුපැදිය මාර්ගයේ වේගයෙන් ධාවනය කිරීමේ හැකියාවක්‌ අපට තිබුණේ නැහැ.

අපිට වෙඩි තියපු තැන පොලිස්‌ නිලධාරීන් හතරපස්‌දෙනෙක්‌ විතර හිටියා. අපි යතුරුපැදිය නැවැත්තුවාමයි පොලිසියේ මහත්තයකු අතින් ගිනි අවිය පත්තු වුණේ. ඉන්දික අයියට වෙඩි වැදිලා වැටුණට පස්‌සෙවත් පොලිසියේ අය එයාව රෝහලට ගෙනියන්න උත්සාහ කළේ නැහැ. මම තමයි පාරේ වාහනයක්‌ නවත්වලා ඉන්දික අයියව රෝහලට අරගෙන ගියේ. පොලිසියේ අය බීල වගෙයි එතැන හිටියේ. මට මේ ගැන පොලිසියට කියන්නත් එපයි කිව්වා.