දෙමල ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ පුංචි කළු ජූලිය


| සුනන්ද දේශප්‍රිය

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්හි  දෙමළ ජනමාධ්‍යවේදීන් පසු පස එළවා යමින් හෝටල්වලින් ඔවුන් මහ පාරට ඇද දමමින් පසුගිය කලු ජූලියක් සතියෙහි තරමක මෙරට ක්‍රියාත්මක විය.

‍විසි දෙනෙකු පමණ වූ එම ජනමාධ්‍යවේදීන් පිරිස  තෙදින වැඩමුළුවක් පිණිස පළමු වතාවේ නවාතැන් ගත්තේ   පො‍ළොන්නරුව ගිරිතලේ ඩියර් පාර්ක් නම් හෝටලයේ ය. ඒ පසුගිය අප්‍රේල් මාසයේ 22දා ය. වැඩ මුළුව සංවිධානය කරන ලද්දේ ද එසේ මෙසේ සංවිධානයක් විසින් නොව ලොව මහත් පිළිගැනීමක් සහිත ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් නම් දූෂන විරෝධි අන්තර් ජාතික සංවිධානය විසිනි.  වැඩ මුළුවේ අරමුණ වූයේ උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිෂන් සභා වාර්තාවේ යහපාලනය සම්බන්ධයෙන් වූ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය වැඩි දියුණු කිරීම ය. එහි පුහුණුකරුවන් වුයේ ජේෂ්ඨ ජනමාධ්‍යවේදීන් කණ්ඩායමකි.

කරුණු කාරනා එසේ තිබියදීත්  පැය 24ක් යෑමට මත්තෙන් හොටල් හිමියාට එම දෙමළ ජනමාධ්‍යවේදීන් වහාම පලවා හරින සේ තර්ජන කෙරුනි. හෝටල හිමියා වෙන කිසිවකු නොව අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ඉඩම් හා ඉඩම් සංවර්ධන  අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය  සිරිපාල ගම්ලත් මහතා ය. තම හෝටලයට මෙම තර්ජන පැමිණයේ නැගෙනහිර යුද හමුදා අඥාපති ලාල් පෙරේරාගෙන් බව ඔහු ලංකා හෙරල්ඩ් වෙබ් අඩවියට පැහැදිලිව ම කියා සිට තිබේ. ඔහු තවදුරටත් කියා සිට ඇත්තේ සිය කළමනාකාරවරයාට ආරක්ෂ අංශ වෙතින් මහත් බලපෑමක් ඇති වූ බවයි.

අඥාපති ලාල් පෙරේරාගේ තර්ජනයන් බළලා මල්ලෙන් එලියට පැන තිබේ. නියෝජ්‍ය අමාත්‍ය ගමලත් මහතාට අනුව අඥාපති ලාල් පෙරේරා කියා ඇත්තේ වැඩ මුළුව පැවැත්වුව හොත් බෞද්ධ භික්ෂුන් විසින් හෝටලය වටළනු ඇති බවයි. මෙම ඊනියා බෞද්ධ භික්ෂුන් යනු චීවරධාරී අන්තවාදී කල්ලි බව නොදන්නා අයෙක් නැත.  අඥාපතිගේ මෙම ප්‍රකාශයෙන්  පැහැදිළිව පෙනී යන්නේ පසුගිය කාලය පුරා නීතිය අතට ගනිමින් සාමකාමී මහාජනයාට බලහත්කාරකම් කරමින් සිටින  අන්තවාදී භික්ෂුන් සහ යුද හමුදා ප්‍රධානීන් අතර ඇති ක්‍රියාකාරී දේශපාලන සම්බන්ධතාවය යි.

මාර්තු 27වන දින පොළොන්නරුව දිසාවෙහි වෙනත් හෝටලක පැවැත්වෙමින් තිබූ නැගෙනහිර පළාතේ දෙමළ ජනමාධ්‍යවේදීන් සඳහා වූ වැඩමුළුවක් ද එහි කඩා වැදුණූ විසි දෙනෙකුගෙන් සමන්විත භික්ෂු පිරිසක් විසින් කඩා කප්පල් කරන ලද බව සන්ඩේ ටයිම්ස් පුවත්පත මාර්තු 29 දින වාර්තා කළේ ය. අඥාපති ලාල් පෙරේරා මෙවර සදහන් කළේ ද එම භික්ෂූ කන්ඩායම ම ගැන විය හැකි ය.

එම වැඩමුළුව සංවිධානය කරන ලද්දේ සර්ච් ‍පෝ කොමන් ග්‍රව්‍රන්ඩ්ස්  නම් අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධානය විසිනි.  එම සංවිධානය තමන්ට එල්ල වූ තර්ජනය ගැන හෝ සිය වැඩමුලුවට පැමිණ තර්ජනයට ලක් වූ දෙමළ මාධ්‍යවේදීන් ගැන හෝ කටක් හැර වචනයක්වත් කීවේ නැත.  ඒ වනාහී අද මෙරට හැටි ය. තර්ජනය කර බා ගෙන ඉවසීම දිවි රැක ගැනීමේ හොදම ක්‍රමය බව නොදන්නේ කව්ද? 

ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ද පොළොන්නරුවේහි දී තමන්ට සහ තමන් විසින් කැඳවන ලද දෙමළ ජනමාධ්‍යවේදීන්ට ඇති වූ මර්දනය නොසළකා හැරිය යුතු දෙයක් ලෙස සළකා දෝ ඒ ගැන කටක් හැර වචනයක් හෝ කීවේ නැත. එය පුවත වාර්තා කරන ලද්දේ එක් වෙබ් අඩවියක් විසින් පමණි.

‍ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය යළිත් වතාවක් කඩකප්පල් වූ වැඩමුළුව පැවැත්වීම පිණිස  එම දෙමළ ජනමාධ්‍යවේදීන් පිරිසම පසුගිය 06දා මිගමුවේ ගෝල්ඩ් සැන්ඩ්ස් හෝටලයට කැදවන ලදී. වන්නාට ය! පසු දා සවස් යාමයෙහි බස් රථවලින් බැහැර සිට ප්‍රවාහණය කළ පිරිසක් වැඩමුළුව පැවති හෝටලයට කඩා වැදුණි. වැඩ මුළුවට පැමිණ සිටින්නේ 'කොටි' යැයි ද එය සංවිධානයකර ඇත්තේ ඩොලර් ලබා ගැනීමට යැයි ද මෙගපෝනයකින් කෑ ගැසූ මෙම කළහකාරී පිරිස වහාම වැඩ මුළුව නතර කරන ලෙස තර්ජනය කළහ.

වැඩමුළුවට පැමිණි දෙමළ ජනමාධ්‍යවේදීහු මහත් අනතුරු දායක තත්තවයකට මුහුණ දී සිටිය හ. පොලීසිය ක්‍රියා කළේ කළහකාරීන්ගේ උපදෙස් අනුව ය. වහාම පිටව යන සේ පොලිසිය ද ජනමාධ්‍යවේදීන්ට අනතුරු හැඟවී ය. පිටව යන්නේ නම් පමණක් ආරක්ෂාව ලබා දිය හැකි බව කී පොලිස් නිලධාරීහු තර්ජනය කළේ පිටව  නොයන්නේ නම් තමන්ට කිසිදු වගකිමක් ගත නොහැකි බවයි. අපුරු පොලීසියකි.

එම පොලිස් තර්ජනයෙහි අර්ථය වූයේ මිගමුවෙන් පිටව නොයන්නේ නම් දෙමළ ජනමාධ්‍යවේදීන්ට කළහකාරීන්ගෙන් කුමණ ඉරණමක් අත්වන්නට තිබූ බව ද?  කලු ජූලියේ දී මෙන් මහමඟ මරා දැමීමේ ඉරණමක් ද? නැත්නම් පොද්දල ජයන්තගේ මෙන් දෙපා බිද දමා වධහිංසා පැමිණ විමේ ඉරණමක් ද?

මෙම භයානක සිදුවීමෙන් පැය 72කට පසු ට්‍රාන්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය නිකුත් කළ නිවේදනයකින් කියැවෙන්නේ මෙම කළහකාරී විරෝධතාකරුවන් අතර ආරක්ෂක අංශයන්හි පිරිස් සිටි බව නිරීක්ෂනය වී ඇති බවයි. ඉන් කියැවෙන්නේ අඥාපති ලාල් පෙරේරාගේ තර්ජනය මීගමුවේ දී ක්‍රියාත්මක කිරීම පිණිස යුද හමුදා පිරිස් යෙද වූ බව ද?

මීගමුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ පිටත් වූ දෙමළ ජනමාධ්‍යවේදීන් පිරිස කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වන ගාලු මුවදොර පිහිටි ගලධාරී හෝටලයේ නතර කිරීමට සංවිධයකයෝ පියවර ගත්හ. අදෝමැයි! පරසිදු කොළඹ ගලධාරී හෝටලයට ද තර්ජන ගලා ආවේ ය. ඒ දෙමළ ජනමාධ්‍යවේදීන් නවාතැන් ගෙන පැයක් ගතවීමටත් පෙරය. වහාම දෙමළ ජනමාධ්‍යවේදීන් පාරට දැමිය යුතු බව ඒ මහ රැයෙහි තර්ජන වලින් කියැවුණි. එළෙසම එම තර්ජනය ක්‍රියාවට නැඟුණි. කල් පසු වී නිකුත් වූ ට්‍රාන්ස්පෙරෙන්සි ආයතනයේ නිවේදනය කියන්නේ ‍යාමට තැනක් නැතිව, අහෝ! එම ‍දෙමළ ජනමාධ්‍යවේදීන් රැයපුරා අනාරක්ෂිතව මහ මඟ නිදි වර්ජිතව ගත කර පසුදා  උදෑසන යාපනය බලා ගිය බවයි!

ගලධාරී වැනි සංචාරකයින් ලැඟුම් පිණිස එන තරු පන්තියේ හෝටලයකට මහ රුයෙහි ජනමාධ්‍යවේදීන් පාරට ඇද දමන සේ නියෝග දිය හැකි රාජපක්ෂවරුන් හැර අන් බලවතකු මෙරට වෙත් ද?

නිකමට සිතා බලන්න, එම රාත්‍රියෙහි එම ජනමාධ්‍යවේදීන්ගේ සිත්හි කොතරම් වේදනාවක්, බියක් සහ කේන්තියක් තිබෙන්නට ඇත් ද කියා? රාජපක්ෂවරු  යුද්ධය  පස් වසරක යුද්ධ ජය කෙහෙළි නංවා  තෙසතියක් ගිය තැන යාපනයේ සිට කොළඹ නිත්‍යනුකූළ වැඩමුළුවකට පැමිණ, හමුදා තර්ජන මැද හෝටල්වලින් පලවා හරිනු ලදුව ඉන්නට තැනක් නැතිව මහ රැය පුරා අනාරක්ෂිතව මහ මඟ හෝ අන් තැනෙක ගත කරන්නට සිදු වූ දෙමළ ජනමාධ්‍යවේදී සිතෙහි කුමණ සිතිවිළි රඟන්නට ඇත් ද?   

මෙම එළව එළවා පහර දීම ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට එරෙහිව දියත් වූ මෙහෙයුමක් නොවේ. මන්ද යත්  එම සංවිධානයේ වැඩමුළු දකුණ දිග පළාත්හි කරදරයකින් තොරව කෙරීගෙන යන නිසා ය. යාපනයෙහි පවා එහි කාර්යාලයක් තිබේ. එමෙන්ම මෙම මෙහෙයුම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනමාධ්‍ය වාර්තාකරණය ඉහළ නැංවීමේ වැඩමුළු මාලාවට එරෙහි වූවක් ද නොවේ. මන්ද යත් එම තේමාව යටතේම සිජහල ජනමාධ්‍යවේදින් සඳහා පවත්වන ලද වැඩ මුළු කවර හෝ අඥාපතිවරයකුගේ තර්ජනයට ලක් නොවූ නිසා ය.

ඉන් පෙනී යන්නේ  ‍මෙහෙයුම තනිකරම දෙමළ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව දියත් වූවක් බව යි. කොතරම් අවාසනාවන්ත තත්ත්වයකට මෙම ජනමාධ්‍යවේදීන්  මුහුණ දුන්නේ ද යත් තමන්ට එල්ල වූ තර්ජනයන් ගැන ප්‍රථමයෙන්ම ලෝකයාට කියා සිටිමට සිදු වූයේ ද ඔවුන්ට ම ය. ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව කියා නොසිටින්නට මෙම මර්දනය ද කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට තිබුනි. සිය නිවේදනය මගින් යාපන ජනමාධ්‍ය හමුව (ජැප්නා ප්‍රෙස් ක්ලබ්) කියා සිටියේ මෙම මර්දනය පැහැදිලිව ම වාර්ගික අගතින්ගෙන් යුතු බවයි.

1983 කළු ජූලියේ දී  අනාථ වු සහ තර්ජනයට ලක් වූ දෙමළ ජනයාට සිය දිවි දෙවැනි කොට ආරක්ෂාව සැපයූ සිංහලයෝ වූහ. මෙම බියකරු සෙනසුරාදා රාත්‍රියෙහි දී එවැනි කිසිවකු නොවී ද? එසේ නම් ඉන්  දෙමළ ජනයාට කියැවෙන පණිවිඩය කුමක් ද?

එම රාත්‍රිය පුරා මෙම දෙමළ ජනමාධ්‍යවේදීන් පසු පස රාජ්‍ය ඔත්තුකරුවන් සිටින්නට ඇති බවට ද  සැකයක් නැත. එපමණක් නොව මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී බලහත්කාරය පිළිබඳව කිසිදු  පරීක්ෂණයක් සිදු නොවනු ඇති බව ගලේ කෙටූ අකුරින් ලියා තැබිය හැකි ය.

ඉදින්, මෙම සිදුවීම මෙරට දෙමළ ජනයාට කියන පණිවිඩය ඉතා පැහැදිළි නොවේ ද? . ඒ වනාහී  තමන් අතට තම අතමය සෙවනැල්ල යනු මිස අන් කවරක් ද?