‘ගෝඨාට කටවහගන්න කියන්න. නැත්නම් අපි අනාථයි' - ලලිත්ගෙන් ජනපතිට පණිවිඩයක්!


lalith mahinda gota
‘අපිට නායකයො ඕනෙ නෑ. අපි දන්නව අපේ ප්‍රශ්න විසඳගන්න. ඒව විසඳන්න ඇමරිකන් උපදෙස් ඕනෙ නෑ. මං මේක ඇමරිකන් තානාපතිනිගේ මූණටම කිව්වා.' යනුවෙන් ඊයේ (23) මඩකලපුවේ ආගමික, දේශපාලනික හා බහුජන නායකයන් මෙන්ම ප්‍රාදේශීය හමුදා ප්‍රධානීන් ද කැඳවා පැවති රැස්වීමකදී ‘දේශප්‍රේමී - දේශ හිතෛශීන්' ගේ දැඩි අත්පොළසන් මධ්‍යයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇති අතර එය ‘වසරේ හොඳම ප්‍රකාශය' ලෙස ‘දේශප්‍රේමී මාධ්‍ය' වාර්තා කොට තිබේ. මේ වන විට ‘මහින්ද චින්තනය'ට වඩා ‘ගෝඨාභය චින්තනය' දේශප්‍රේමීන්ගේ නොමද පැසසුමට පාත්‍ර වී ඇත.


ලංකාව තුල තත්වය එසේ වුවද ආරක්ෂක ලේකම්වරයාගේ දේශප්‍රේමී ප්‍රකාශ නිසා මේ වන විට ඇමරිකාවේ හොඳ හිත වර්ධනය කර ගැනීමට එරට සංචාරයක නිරතව සිටින ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ නාමික විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විශාල අර්බුදයකට මුහුණ දී ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සතියේ මුල ජනාධිපති ලේකම්වරයා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරට ගොස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලේ මහත්මිය ඇතුළු වගකිවයුතු නිලධාරීන් හමුවී LLRC කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳව විස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකොට ඇත. ලලිත් වීරතුංග, ජී.එල්. පීරිස්, රවිනාථ ආරියසිංහ වැනි පුද්ගලයන් මහත් වැර වෑයමින් ගොඩ නගන ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ගෝඨාභය ගේ එක ‘තපුල්ලෑමකින්' අහෝසි වී ගොස් ඇත.
මේ පිළිබඳව මහත් විස්සෝපයට ලක්වී ඇති ජනාධිපති ලේකම්වරයා ජනාධිපතිවරයා අමතා ප්‍රකාශ කොට ඇත්තේ ‘සර් .... අඩුම ගානෙ ආරක්ෂක ලේකම්තුමාට මාර්තු මාසෙ පහුවෙනකම්වත් කටපියාගෙන ඉන්න කියන්න. අපි බොහොම අමාරුවෙන් ගොඩ නගන දේ එතුමා වචන දහයෙන් නැති කරල දානව' කියාය. ජනාධිපති ලේකම්වරයාගේ දැනුම් දීමෙන් අනතුරුව තත්වය තේරුම්ගෙන ඇති ජනාධිපතිවරයා අවට සිටියවුන්ට පවසා ඇත්තේ ‘මගේ ආණ්ඩුව ඇතුලෙ ආණ්ඩු කීපයක්ම තියෙනව. ඒකයි මේ ප්‍රශ්නෙ. ' කියාය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාගේ දේශප්‍රේමී ප්‍රකාශය හෙළා දැක නැත. ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ ජිනීවා සමුළුවේදී ලංකාව අනිවාර්යෙන්ම පරාද වන බවත් නිහඬව පරාජය භාර ගන්නවාට වඩා මෙසේ කැත්තට පොල්ල උපාය මාර්ගය ( Tit for Tat Diplomacy) අනුගමනය කළ යුතු බවත්ය.

Lankanewsweb