නීතිය භාවිතාව සහ අපි



ඔවූහු මගේ අත් පා විලංගු ලා 
ප්‍රජාතන්ත්‍ර විරෝධී වූයේ ඇයි දැයි 
හේතු විමසති.. 

කතා කිරීමට ලිවීමට නිදහස අහිමි 
ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන 
නොදන්නා බව කියමි.. 
එවිට 
මා සම්පූර්ණයෙන් නිරුවත් කර 
හති වැටෙන තුරු පහර දෙති.. 

අසාධාරණයක් ඇත්නම් 
අවිහිංසා විරෝධතා පැවැත්වීමට 
නොහැකි ඇයිදැයි 
ශුද්ධවන්තයන් ලීලාවෙන් අසති.. 
නිරායුධ පෙළපාලියක් රැස්වීමක් 
හිංසාකාරී වන්නේ කෙලෙස දැයි අසමි 
සිගරැට් දැල්ලෙන් අත් පා පුළුස්සා 
අවිහිංසාවේ තරම පෙන්වති.. 

රටේ පවතින සුවහසක් නීති දක්වා 
පිළි නොගන්නේ ඇයි දැයි 
සාමකාමීව අසති.. 
හැම නීතීයක්ම පළමුවෙන් 
බිඳිනු ලැබ ඇත්තේ 
හැදූ අය විසින්ම බැව් යන්තමින් කියාගමි.. 
ප්ලාස්ටික් බට වල රුවා අතැ'ඟිලි 
නමමින් නොපිටට 
නීතිගරුක භාවය පිළිබඳව 
නීත්‍යාණුකූලව කියා දෙති.. 

ඇත්ත ඔවුනට පවසතොත් 
ක්ෂණිකව මා නිදහස් කරන බව 
මට දන්වති.. 
මා දන්නා විශ්වාස කරනා 
ඇත්ත නොපැකිලව පවසමි.. 
ඔවූහු මා වෙනුවෙන්ම වෙන් කළ 
ටයරය මට පෙන්වති. 

[විලංගුවෙන් ලියූ කවි | 2013]

 චූලානන්ද සමරනායක