ආතති කොමා ගේ ඉඩම් හොරකම




අමිල ගුණරත්න 

මැතිවරණ පවත්වන විට දේශපාලකයන් ගේ අත පෙවීම් නිසා තමාට ආතතිය සැදී ඇතැයි පවසමින් ජනතා අනුකම්පාව ලබා ගැනීමට බබා පාට් දැමූ හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක විසින් සිදු කරන ඉඩම් හොරකමක් පිලිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.  

 දයානන්ද දිශානායක මැතිවරණ කොමසාරිස්   ලෙස සේවය කරමින් සිටි කාලයේදී  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා  කුමාරතුංගගේ මාර්ගයෙන් නුවරඑළියේ මහ නගර සීමාව තුළ තිබෙන ලේඩි මැකලම් ඩ‍්‍රයිව් නමැති පෙදෙසේ පිහිටි ජාතික නිවාස දෙපාර්තමේන්තුවට හිමිව තිබූ   පර්චස් 123.4 ක  වටිනා ඉඩමක්  ලබා ගෙන ඇත​. මෙම වටිනා ඉඩමට ආතති කොමා ගෙවා ඇත්තේ රුපියල් 30,000ක මුදලකි. එනම් පර්චසයක් රුපියල් 243.11ක  වැනි මුදලට නුවරඑළියේ මහ නගර සීමාව තුළ තිබෙන ඉඩමක් ඔහු ලබාගෙන තිබේ. 

මේ වංචනික ගණුදෙනුව සිදු කොට තිබෙන්නේ1995 ජූනි 16 වැනිදා ය. නාමික මුදලක් ගෙවා ඉඩම මිලදී ගැනීමෙන් අණතුරුව මාස පහක් වැනි කෙටි කාලයකදී ඉඩමෙන් පර්චස් 18.4ක ප‍්‍රමාණයේ කොටසක් තමා වෙත තබා ගනිමින් ඉතිරි පර්චස් 105 සෙලින්කෝ ව්‍යාපාරයට අයත් ද ෆිනෑන්ස් සමාගමට රුපියල් පනස් දෙලක්‍ෂ පනස් දෙදහසකට (52,52,000) විකුණා තිබේ. මින් ආතති කොමා ඉතා අධික ලාබයක් කිසිදු වෙහෙසකින් තොරව උපයාගෙන තිබේ.  ආතතිය ගැන කතා කරමින් ජනතාව ගොනාට ඇන්දූ  දයානන්ද දිශානායක මහජන දේපල උලා කෑ අයුරු  නම් ඉතා හිරිකිතය.