ජීෆි කර්මාන්ත ශාලාව පරිසරයත් ජන දිවියත් වනසයි


සජීව චාමිකර

jiffy-1
කුරුණගල කොබෙයියගනේ පිහිටි කොහුබත් පිරිපහදු කිරිමේ කර්මාන්ත ශාලාවක් හේතුවනේ විශාල පාරිසරික ගැටලු ප්‍රමාණයක් උද්ගතව ඇති බව වාර්තාවේ. ආයෝජන මණ්ඩලයට අයත් මෙම කර්මාන්ත් ශාලාව දැදුරුඔය ආසන්නයේ පිහිටිම හේතුවෙන් අපජලය සියල්ල ඔයට මුදාහැරිම විසින් මෙම ගැටලු ඇතිවිමට හේතු වී ඇත. ජිෆී ප්‍රොඩක්ට් පුද්ගලික සමාගමේ (Jiffy Products Sri Lanka (Pvt) Ltd ක‍්‍රියාකාරිත්වය හේතුවෙන් ඇති මෙම පරිසරික ගැටළු හා සෞඛ්‍ය තර්ජන බොහොමයක් උද්ගත ඇති බව වාර්තාවේ.


2008 වසරේ දී ආයෝජන මණ්ඩල අනුමත කර්මාන්තශාලාවක් ලෙස අක්කර 35 ක භූමියක ස්ථාපිත කරන ලද මේ කර්මාන්තශාලාවෙන් සිදු කරනු ලබන්නේ කොහුබත් පිරිපහදු කර නෝර්වේ රටට අපනයනය කිරීම ය. මෙම කොහුබත් හරිතාගාර තුළ සිදු කරන මහා පරිමාණ වගාවන් සඳහා භාවිතා කරයි. ලංකාවෙන් තවත් බොහෝ සමාගම් විසින් කොහුබත් සකසා අපනයනය කිරීම සිදු කරනු ලැබුවද මේ සමාගම මගින් කොහුබත් පිරිපහදු කර අපනයනය කිරීම හේතුවෙන් ගැටළු බොහොමයක් උද්ගතව තිබේ.

ආයෝජන මණ්ඩල අනුමත කර්මාන්තශාලාවක් වන මේ මඟින් ලංකාවේ නිෂ්පාදන සම්පත් අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීමෙන් රටට ලැබිය යුතු ප‍්‍රතිලාභ නිසි පරිදි නොලැබී යයි. එපමණක් නොව කොහුබත් පිරිපහදු කිරීමෙන් ඉවත් වන ඉතා අධික අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් රටේ ඉතිරි කර කොහුබත් අමුද්‍රව්‍යයක් ලෙස මේ කර්මාන්තශාලාවෙන් අපනයනය කිරීම හේතුවෙන් අප රටේ පරිසරයට, එහි වෙසෙන ජනතාවට සිදු වන හානිය සුලූ පටු නොවේ.

වගා මාධ්‍යයක් ලෙස හරිතාගාර තුළ භාවිතා කිරීම සඳහා ඇමරිකාව, ජපානය හා යුරෝපා රටවලට අප රටෙන් පොල් ලෙලි හා කොහුබත් අපනයනය කිරීම සිදු කරනු ලබන්නේ පිරිපහදු කිරීමකින් තොරව ය. එම රටවල් තුළ මේවා වගා මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමට ප‍්‍රථමයෙන් ඒවායෙහි බහුලව අඩංගු පොටෑසියම්, සෝඩියම් අයන සාන්ද්‍රණය පරීක්ෂා කර බලා ඒ අනුව ඒවාට කැස්ලියම් නයිටේ‍්‍රට් එක් කර මේ අයන සාන්ද්‍රණය ප‍්‍රශස්ථ මට්ටමකට ගෙන එනු ලැබේ. මේ ක‍්‍රියාවලියේ දී ඉවත් වන ජලය භූගත නොවන ලෙස ඉවත් කර එම අපජලයට පිරිසිදු ජලය එක්කර තනුක කර ඉන්පසුව කාබන් පෙරහන් තුළින් ගමන් කිරීමට සළස්වා නිසි පරිදි පිරිපහදු කර ඉන් අනතුරුව වගාබිම්වලට යෙදීම සිදු කරයි. මෙය එම රටවල සිදු කරන විධිමත් කොහුබත් පිරිපහදු කිරීමේ ක‍්‍රමවේදය යි.

නමුත් ජිෆී කර්මාන්තශාලාව මගින් සිදු කරනු ලබන්නේ මීට හාත්පසින්ම වෙනත් ඉතාම හානිකර ක‍්‍රියාවකි. මේ කර්මාන්තශාලාවට රැගෙන එන කොහුබත් විශාල ටැංකිවල ගබඩා කර ඒවාට ජලයේ මිශ‍්‍ර කරන ලද කැල්සියම් නයිටේ‍්‍රට් විසිර වීම සිදු කරනු ලැබේ. ඉන්පසුව කොහුබත් සෝදා අපජලය ඉවත් කර කර්මාන්තශාලා භූමියේ සකස් කරන ලද විවෘත ස්ථානවල කොහුබත් අතුරා සූර්යය තාපයෙන් වියළීම සිදු කරයි. එක්රැස් වන අපජලය ටැංකි තුළ ගබඩා කර ඉන්පසුව ආකාර තුනකට බැහැර කිරීම සිදු කරනු ලැබේ.

ඉන් එක් ආකාරයක් වන්නේ දැදුරු ඔයට ඍජුවම මේ අපජලය මුදා හැරීම ය. එය රාත‍්‍රී කාලයේ දී හා වැසි දිනවල දී සිදු කරනු ලැබේ. ඉතිරි වන ජලයෙන් කොටසක් කර්මාන්තශාලාවට පිවිසුම් මාර්ගයක් ලෙස පවතින ග‍්‍රාමීය මාර්ගවලට දූවිලි ඇවිස්සීම වැළැක්වීම සඳහා යැයි කියමින් දිනකට දෙවරක් විසිර වීම සිදු කරයි. ඉතිරි වන අපජලය කර්මාන්තශාලාවේ පවත්වා ගෙන යන ආදර්ශ වගා බිම්වලට යෙදීම සිදු කරයි. මෙලෙස සිදු කරන ඉතාම හානිකර අපජලය බැහැර කිරීමේ ක‍්‍රමවේදය හේතුවෙන් අවට ප‍්‍රදේශය පුරාම නයිටේ‍්‍රට් අධික සාන්ද්‍රණයකින් විසිරීම සිදු වේ. ඒවා ඍජුවම භූගත ජලයට එක් වී ළිං ජලයට ද එක් වේ. මේ ජලය දැනට වසර 5 ක කාලයක් පුරාම අවට සිටින ජනතාව පානයට ගෙන තිබේ.

අධික නයිටේ‍්‍රට් සාන්ද්‍රණයෙන් යුත් ජලය දැදුරු ඔයට මුදා හැරීම හේතුවෙන් මෙහි ජලය භාවිතා කරන ජනතාවට දැඩි හානිකර තත්ත්වයකට මුහුණ දීමට සිදු ව තිබේ. දැදුරු ඔයේ පහළ පිහිටි ගුරුගොඩ, මාවතගම, මාකෙලියාව, ඇඹලෙයාගම, බුලන, හාතලව, පට්ටියදළුව හා විලගම ආදී ගම්මානවල වෙසෙන ජනතාවට දෛනික කටයුතු සඳහා භාවිතයට ගැනීමට සිදුව ඇත්තේ මේ කර්මාන්තශාලාවෙන් ඍජුවම පිරිපහදුවකින් තොරව දැදුරු ඔයට මුදා හරින අධික නයිටේ‍්‍රට් සාන්ද්‍රණයකින් යුක්ත අපජලය යි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා යුරෝපා සංගමයේ පානීය ජලයේ ප‍්‍රමිතීන්ට අනුව ජලය ලීටරයකට පැවතිය හැකි වන්නේ මිලිග්‍රෑම් 50 කට වඩා අඩු නයිටේ‍්‍රට් ප‍්‍රමාණයකි. ඇමරිකාවේ හා චීනයේ පානීය ජල ප‍්‍රමිතීන්ට අනුව ජලය ලීටරයක පැවතිය හැකි නයිටේ‍්‍රට ප‍්‍රමාණය මිලිග්‍රෑම් 10 කි. මෙවන් තත්ත්වයක් පවතිද්දී ඉතාම අධික සාන්ද්‍රණයකින් යුත් අපජලය ජිෆී කර්මාන්තශාලාව මගින් භූගත ජලයට හා දැදුරු ඔයට මිශ‍්‍ර කිරීම හේතුවෙන් අවට ප‍්‍රදේශවාසීන්ගේ පිරිසිදු පානීය ජල අයිතියට හා යහපත් සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

කොහුබත්වල අධිකව අඩංගු පොටෑසියම් හා සෝඩියම් ඉවත් කිරීම සඳහා කැල්සියම් නයිටේ‍්‍රට් භාවිතා කරන අතර එහි දී ප‍්‍රතික්‍රියා කර සෑදෙන පොටෑසියම් නයිටේ‍්‍රට් හා සෝඩියම් නයිටේ‍්‍රට් ද කැල්සියම් නයිටේ‍්‍රට් මෙන් අවක්ෂේප නොසාදමින් ජලයේ ඉතාම හොඳින් දිය වේ. මේ තත්ත්වය හේතුවෙන් භූගත ජලය හා දැදුරු ඔයේ ජලය ඉතාම දැඩි ලෙස දූෂිත වීමක් මේ කර්මාන්තශාලාවෙන් සිදු කර තිබේ.

ඇමරිකාවේ ඊරිවිල මළ විලක් බවට පත් වීමට ප‍්‍රධාන හේතු සාධකය වී ඇත්තේ නයිටේ‍්‍රට් අයන අධික සාන්ද්‍රණවලින් එක් රැුස් වීම ය. මේ නිසා ජීවීන් විනාශ වී යයි. භූගත ජලයේ හා දැදුරු ඔයේ නයිටේ‍්‍රට් ප‍්‍රමාණය වැඩි වීමෙන් ද සිදු වන්නේ පාංශු ජීවීන් හා ජලජ ජීවීන් විනාශ වී යාම ය. එපමණක් නොව අධික නයිටේ‍්‍රට සාන්ද්‍රණයකින් යුත් ජලය පානය කිරීම හේතුවෙන් වකුගඩු ආශ‍්‍රිතව හා ආහාර මාර්ගය ආශ‍්‍රිතව දීර්ඝ කාලීන රෝගාබාධවලට මේ අවට ජනතාව දැඩි ලෙස ගොදුරු විය හැකි ය.

මේ කර්මාන්තශාලාවෙන් සිදු වන හානිය මෙතෙකින් නතර වී නොමැත. දවසේ පැය 24 පුරාම නොනවත්වා ක‍්‍රියාත්මක වන මේ කර්මාන්තශාලාවෙන් අවට ප‍්‍රදේශයට ඉතා කුඩා කොහු අංශු විසිරීමෙන් සිදුවන හානිය ඉහළ මට්ටමක පවතී. කර්මාන්තශාලාවේ විශාල ප‍්‍රදේශයක කොහුබත් අතුරා සූර්යතාපයෙන් වියළීම සිදු කරන අතර එය වේගවත් කිරීම සඳහා ට‍්‍රැක්ටර් රථ හා යතුරු පැදිවලට සවි කළ රේක්ක ආදාරයෙන් කොහුබත් නිරන්තරයෙන් ඇවිස්සීම සිදු කරයි. එහි දී අවට ප‍්‍රදේශය පුරාම කොහුබත් කුඩු, කැබලි අංශු දුමාරයක් ලෙස විසිරීම සිදු වේ.

ඒවා අවට ප‍්‍රදේශය පුරාම විසිරේ. දවසේ සුළං හමන දිශාව අනුව කර්මාන්තශාලාව වටා පිහිටි ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනතාව දවසේ විවිධ කාලවල දී මේ කොහුබත් අංශු දූවිල්ලෙන් පීඩනයට ලක් වේ. මේ දූවිලි අංශු ආග‍්‍රානය කිරීම හේතුවෙන් ළඳරුවන්, කුඩා දරුවන් හා වැඩිහිටි පුද්ගලයින් දරුණු ලෙස ස්වසන මාර්ගය ආශ‍්‍රිත රෝගාබාධයන්ට ගොදුරු වී තිබේ. බොහෝ අවට ප‍්‍රදේශවාසීන් සඳහන් කරනුයේ මේ කර්මාන්තශාලාවේ ආරම්භයත් සමඟ ම ස්වසන මාර්ගය ආශ‍්‍රිත රෝගාබාධවල ඉහළ වර්ධනයක් සිදු වූ බව ය. මේ නිසා ඒ අවට ජනතාව දැඩි පීඩාකාරී තත්ත්වයකට පත් ව තිබේ.

මීට අමතරව මේ කොහුබත් අංශු දුමාරය හේතුවෙන් ළිං ජලය අපවිත‍්‍ර වීම ද සිදු වේ. ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා කර්මාන්තශාලාව අවට සෑම ළිඳක් ම දැල්වලින් ආවරණය කර තිබේ. මේ කොහුබත් කුඩු දුමාරය හේතුවෙන් අවට ප‍්‍රදේශවාසීන්ට ඇඳුම් වියළා ගැනීම පවා ගැටළුවක් බවට පත්ව තිබේ. විවෘත ස්ථානවල ඇඳුම් වියළීමට තැබූ විට කොහුබත් අංශු ඒවායේ තැන්පත් වී කිළිටි වීම සිදු වේ. මේ හේතුවෙන් ජිෆී කර්මාන්තශාලාවෙන් ඒ අවට ඉතා විශාල ජනතාවකගේ නිදහස් ජීවන පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කර තිබේ.

මේ කර්මාන්තශාලාවෙන් ඇති වන මහජන පීඩාකාරී තත්ත්වයන් මින් නොනැවතී නැත. දවස පුරාම ක‍්‍රියාත්මක වන කර්මාන්තශාලාවේ යන්ත‍්‍ර සූත‍්‍රවලින් ජනනය වන අධික ශබ්දය අවට ප‍්‍රදේශය පුරා පැතිරේ. රාත‍්‍රී කාලයේ දී එය ඉතාම හානිකර මට්ටමකට පත් වේ. ශබ්දයට අමතරව කොහුබත් පීඩනයට ලක්කර කැට සෑඳීමේ ක‍්‍රියාවලිය සඳහා භාවිතා කරන තෙරපුම් යන්ත‍්‍ර සූත‍්‍රවලින් ජනනය වන අධික කම්පන තත්ත්වයට ද අවට ජනතාවට ගොදුරු වීමට සිදු ව තිබේ. මෙය මෙම කර්මාන්තශාලාවෙන් ඒ අවට ජනතාවගේ නිදහස් ජීවන පැවැත්ම දැඩි ලෙස අහිමි කිරීමකි.

මේ කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයින්ගේ තත්ත්වය ද ඉතාම සෝචනීය ය. මෙහි කිසිදු සේවකයකු හට අත් ආවරණ, මුඛ ආවරණ ඇතුළු කිසිදු ආරක්ෂක උපාංගයක් ලබා දී නොමැත. මේ නිසා කැල්සියම් නයිටේ‍්‍රට් භාවිතා කිරීමේ දී හා කොහුබත් වියළීමේ ක‍්‍රියාවලියේ දී අධික ලෙස දූවිලි අංශුවට නිරාවරණය වීමට සේවකයන්ට සිදු වේ. මේ නිසා මෙම කර්මාන්තශාලාවේ සේවයට තරුණ අය බඳවා නොගන්නා අතර වැඩිහිටි පුද්ගලයින් පමණක් බඳවා ගනී. ඒ අය අතුරින් අති බහුතරයක් ස්වසන මාර්ගය ආශ‍්‍රිත රෝගාබාධවලින් පීඩා විඳිති.

අපනයනයට සැකසූ කොහුබත් කන්ටේනර් ටැංකිවල ගබඩා කිරීමෙන් අනතුරුව බැක්ටීරියා ක‍්‍රියාකාරිත්වය මර්ධනය කිරීම සඳහා ඕසෝන් ස්ථරයට හානි කරන රසායනික සංයෝගයක් වන මීතයිල් බ්‍රෝමයිඞ් විසිර වීම සිදු කරනු ලැබේ. එය කර්මාන්තශාලාව තුළ දීම සිදු කිරීම ඉතාම හානි කර තත්ත්වයකි.

පසුගිය කාලය පුරාම මෙම කර්මාන්තශාලාවේ හානිකර ක‍්‍රියාකාරිත්වය හේතුවෙන් පීඩනයට පත් වූ ජනතාව වරින්වර මීට එරෙහිව විවිධ ක‍්‍රියාමාර්ගවලට එළැඹ තිබේ. ඒ තත්ත්වයන් මර්දනය කිරීම සඳහා ද මේ කර්මාන්තශාලාව මගින් විවිධ උපක‍්‍රම දියත් කර තිබේ. කර්මාන්තශාලාව අවට ජීවත් වන වැඩිහිටි පුද්ගලයින්ට රැකියා ලබාදීම, හෙන්ගමුව මහා විද්‍යාලයට මුදලින් අධාර කිරීම, කොබෙයිගනේ ප‍්‍රාදේශීය සභාවේ විවිධ කාර්යයන් සඳහා මූල්‍යමය උපකාර සිදු කිරීම ඇතුළු ක‍්‍රියා හරහා මේ කර්මාන්තශාලාවට එල්ල වන මහජන විරෝධය යටපත් කර තිබේ.


මේ නිසා කර්මාන්තශාලාව හේතුවෙන් පීඩනයට පත් වූ ජනතාවට ඊට එරෙහිව හඬක් නැඟීමට නොහැකිව එම පීඩනයන්ගේ ගොදුරක් වෙමින් අසරණව සිටීමට සිදු ව තිබේ. ඒ සියලූ දෙනාම තම උපන් නිජබිම්වල නිදහස් ජීවන පැවැත්ම කර්මාන්තශාලාව වෙනුවෙන් කැපකර අසරණව සිටී.

මේ වන විට කර්මාන්තශාලා භූමියේ දැදුරු ඔය රක්ෂිතය ආශ‍්‍රිතව අක්කර 5 ක පමණ ප‍්‍රදේශයක විශාල වැවක් කැණීම සිදු කරනු ලැබේ. එය අඩි 20 ක් පමණ ගැඹුරු වැවක් ලෙස කැණීම් කර ඉවත් කරන ලද පස් දැදුරු ඔය රක්ෂිත ප‍්‍රදේශය ආශ‍්‍රිතව ගොඩ ගැසීම ද සිදු කර තිබේ. මේ සකස් කරන වැව කර්මාන්තශාලාවේ අපජලය රැඳවීම සිදු කිරීමට මේ වන විට සැලැසුම් කරමින් පවතී.

2012 අංක 3 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1978 අංක 4 දරණ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතට අනුව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමත කර්මාන්තශාලාවක් පවත්වා ගෙන යාම සඳහා පරිසර ආරක්ෂණ බලපත‍්‍ර ලබාදිය හැකි වන්නේ එම ආයතනයට ය. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ අවශ්‍ය වේ. මේ කර්මාන්ත ශාලාව වයඹ පළාතේ පිහිටා ඇති බැවින් ඒ සඳහා 1990 අංක 12 දරණ වයඹ පළාත් පරිසර ප‍්‍රඥප්තියට අනුව පිහිටු වන ලද වයඹ පළාතේ පරිසර අධිකාරිය මඟින් නිර්දේශ ලබා ගත යුතුය. එම නිර්දේශ මත පදනම්ව පරිසර ආරක්ෂණ බලපත‍්‍රය නිකුත් කළ යුතු වන්නේ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසිනි.

නමුත් මේ කර්මාන්තශාලාව සඳහා වයඹ පළාත් පරිසර අධිකාරිය මඟින් පසුගිය වසරේ දී අංක 2566/2012 දරණ 2012.12.24 වන දින සිට 2013.06.23 වන දින දක්වා වලංගු පරිසර ආරක්ෂණ බලපත‍්‍රයක් නිකුත් කර තිබේ. මේ බලපත‍්‍රය කල් පිරුණු පසුව නැවත වරක් අංක 2566/2013 RI දරණ 2013.06.24 වන දින සිට 2013.12.23 වන දින දක්වා මාස හයක කාලයක් සඳහා පරිසර ආරක්ෂණ බලපත‍්‍ර නිකුත් කර තිබේ. මේ බලපත‍්‍රය මාස 6 න් 6 ට නිකුත් කිරීම ගැටළු සහගත තත්ත්වයක් වන අතර ආයෝජන මණ්ඩල අනුමත කර්මාන්තශාලාවක් සඳහා වයඹ පළාත් පරිසර අධිකාරිය මඟින් පරිසර ආරක්ෂණ බලපත‍්‍රයක් නිකුත් කිරීම ද ගැටළු සහගත තත්ත්වයකි.

මෙවන් හානිකර කර්මාන්තශාලාවක් පවත්වා ගෙන යාම සඳහා කුමන අයුරකින් පරිසර ආරක්ෂණ බලපත‍්‍ර නිකුත් කළේ ද යන්න ගැටළුවකි. අපජලය කිසිඳු පිරිපහදු ක‍්‍රියාවලියකින් තොරව බැහැරලන, අධික ශබ්දය හා කම්පනය අවට ප‍්‍රදේශයට විසිරවීම සිදු කරන, දූවිලි අංශු අධික ලෙස අවට ප‍්‍රදේශය පුරාම විසිර වීම සිදු කරන, හානිකර රසායනික ද්‍රව්‍ය නිසි ප‍්‍රමිතීන්වලින් පරිබාහිරව භාවිතා කරන, සේවක සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳව සැලැකිලිමත් නොව, භූගත ජලය, පස හා දැදුරු ඔයේ ජලය දූෂණය කරමින් අවට ජනතාවගේ නිදහස් ජීවන පැවැත්ම සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති කර්මාන්තශාලාවක් සඳහා කුමන අයුරකින් පරිසර ආරක්ෂණ බලපත‍්‍ර නිකුත් කර තිබේද යන්න ගැටළුවකි.

පසුගිය වසර 5 ක කාලය තුළ දී පරිසර ආරක්ෂණ බලපත‍්‍ර වාර්ෂිකව යාවත් කාලීන කිරීම ද සිදු කර තිබේ. මින් පෙනී යන්නේ එම රාජ්‍ය ආයතන කර්මාන්තශාලා හිමිකරුවන්ගේ මුදල් බලය ඉදිරියේ රටේ පරිසරයත් ජනතාව ගේ නිදහස් ජීවන පැවැත්මත් උකසට තබා ඇති බවකි.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 98(ආ) වගන්තියට අනුව මහජනතාවගේ සෞඛ්‍යයට යම් බලපෑමක් ඇති වන ආකාරයෙන් යම් කර්මාන්තයක් පවත්වාගෙන යන්නේ නම් ඒ පිළිබඳව මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මේ මහජන පීඩාකාරී තත්ත්වය මැඩ පැවැත්වීම උදෙසා කර්මාන්තය ඉවත් කිරීමට ආඥාවක් ලබාගැනීමේ හැකියාව පවතී.

දණ්ඩ නීති සංග‍්‍රහයේ 261 හා 270 වගන්තිවලට අනුව මහජනතාව පොදුවේ බුක්ති විඳින ජලය අපද්‍රව්‍ය මගින් අපවිත‍්‍ර කරන හෝ කිළිටි කරන තැනැත්තකු වරදකරුවකු වන අතර එවන් පුද්ගලයකුට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව ඇත. නමුත් මෙම කර්මාන්තශාලාවෙන් අවට ජනතාව ගිලන් කර අවතැන් කරද්දී ඊට එරෙහිව නිසි පරිදි ක‍්‍රියාත්මක වීමට මෙතෙක් පොලිසිය අසමත්ව තිබේ.
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාව ගේ යහපත උදෙසා පරිසරය ආරක්ෂා කිරීම රජය විසින් සිදු කළ යුතු ය. නමුත් ජනතාවගේ යහපත සම්පූර්ණයෙන්ම විනාශ වන ආකාරයෙන් පරිසර විනාශකාරී ලෙස පවත්වාගෙන යන මෙම කර්මාන්තශාලාවට එරෙහිව කටයුතු කිරීමට කිසිඳු රාජ්‍ය ආයතනයක් මේ වන තුරුත් ඉදිරිපත් වී නොමැත. ඒ වෙනුවට සිදු කර ඇත්තේ හානිකර ක‍්‍රියා සිදු කිරීමට නීති විරෝධී ලෙස බලපත‍්‍ර ලබා දීම ය.

පොල් ආශ‍්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාවක් පවත්වා ගෙන යාමට ප‍්‍රථමයෙන් ඒ සඳහා පොල් සංවර්ධන මණ්ඩලයෙන් අවසරයක් ලබාගත යුතු වේ. මේ කර්මාන්තශාලාව මඟින් මෙම අවසරයවත් ලබා නොගැනීමෙන් පෙනී යන්නේ සත්‍ය කරුණු වසන් කරමින් රටේ සම්පත් හානි කර ලෙස අපනයනය කරන කර්මාන්තශාලාවක් බව ය.

අප අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කර මේ හානිකර කර්මාන්තශාලාව ඉවත් කිරීමට හෝ නිසි ප‍්‍රමිතියකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු ක‍්‍රියාත්මක කරන ලෙස ය. එසේ නොවුනහොත් තව වසර කිහිපයකින් මේ කර්මාන්තශාලාව මඟින් අවට ප‍්‍රදේශය සියලූ ජීවීන්ට නුසුදුසු සම්පූර්ණම දූෂණය වූ ප‍්‍රදේශයක් බවට පත් කරනු නියත ය.


සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය