චොකලට්‌ යෑයි සිතා මී පාසානම් කැට කා


දරුවන් දෙදෙනකු මිය යැම
මම රෙදි සෝදා ඇවිත් කාමරවල බලද්දී
දරුවන් දෙදෙනා ඇඳන් දෙකක වැටී සිටියා
මම කතා කළාට ඔවුන් කතා කළේ නෑ
- මියගිය දරු දෙදෙනාගේ මව කියයි

මාතර චන්ද්‍රදාස කොඩිතුවක්‌කු,
අරුණ පලොල්පිටිය සහ ප්‍රියන්ත හිත්තැටියගේ 

මම රෙදි සෝදා ගෙන ඇවිත් බලන විට මිය ගිය දරුවන් දෙදෙනා කාමර දෙකක ඇඳන්වල නිදාගෙන වගේ වැටී සිටියා. මම දරුවන්ට කතා කළාට ඔවුන් කතා කළේ නැහැ. පසුව මම කෑගැසුවා යයි චොකලට්‌ යෑයි සිතා වැරදීමකින් මීයන් මැරීමට උපයෝගී කර ගන්නා මී පාසානම් කැට වර්ගයක්‌ කෑමෙන් මිය ගිය එකම පවුලේ දරුවන් දෙදෙනකු පිළිබඳ කඹුරුපිටිය ආඳපාන රෝහලේ දී පැවැති මරණ පරීක්‍ෂණයේ දී සාක්‍ෂි දුන් මිය ගිය දරු දෙදෙනාගේ මව වන මාකදුර රන්සෑගොඩ උතුර පදිංචි නන්දිකා හේවාගේ නාලිකා අසන්ති (30) නමැත්තිය පැවසූවාය. මෙසේ මිය ගියේ ඇල්දෙනියගේ අනුහස්‌ (03) හා රන්සෑගොඩ ආදර්ශ විදුහලේ ඉගෙනුම ලැබූ ඇල්දෙනියගේ ඔෂද (06) නමැති දරුවන් දෙදෙනායි.

මියගොස්‌ ඇත්තේ මගේ දරුවන් දෙදෙනායි. මගේ සැමියා රියෑදුරකු ලෙස වැඩ කරනවා. සිද්ධිය වූ ජුලි 07 දින උදේ 11.20 ට පමණ සැමියා කඹුරුපිටියේ පොළට ගියා. එදින නිවසේ දරුවන් දෙදෙනා සිටියා. මම දරුවන් දෙදෙනාට පාඩම් කරන්නට කියලා කිව්වා. දරුවන් පාඩම් කරලා එළියට ගිහින් සෙල්ලම් කළා. දරුවන් පොල්කටු සෙල්ලම කළේ. පසුව මම දරුවන් සෝදලා අවසන් කොට ඔවුන්ට නිවසේ සිටින ලෙසට පවසා ළිඳ ළඟට රෙදි සෝදන්න ගියා.

පසුව මා රෙදි සෝදා ගෙන නිවසට ඇවිත් බලන විට මිය ගිය දරුවන් දෙදෙනා කාමර දෙකක ඇඳන් දෙකක වැටී සිටියා. මම දරුවන්ට කතා කළා ඔවුන් කතා කළේ නැහැ. පසුව මම බය වී කෑගැසුවා. පසුව උඩහ වත්තේ දලු කැඩූ " මාමා" නමින් හඳුන් වන අය ආවා. මම කිව්වා ඉක්‌මනට අජිත් මල්ලීට එන්න කියන්න කියලා. පසුව අජිත් මල්ලී යතුරු පැදියෙන් ආවා. ඔහු අජිත් මල්ලීට කියා තිබෙනව ළමයින් දෙන්නා සිහි නැතිව ඉන්න බවත් ඉක්‌මනට යන ලෙසටත්. පසුව ත්‍රී වීල් රථයක්‌ ද අජිත් මල්ලී ගෙන ආවා. පසුව ත්‍රීවිල් රථයෙන් දරු දෙදෙනා ආඳපාන රෝහලට ගෙන ආවා.

මෙහිදී ඇල්දෙනියගේ රොෂාන් ප්‍රියන්ත ද සාක්‍ෂි දුණි. මීයන්ට දීමට ගෙනවිත් තිබූ මී පාසානම් කැට වහලේ ගසා සඟවා තිබී ඇති බවත් ඒවා වැටී තිබී ඇති අතර මී පාසානම් කැට දරුවන් කන්නට ඇතැයි සැකකරන බවට ද සාක්‍ෂිවලදී හෙළි වී ඇත.

මිය ගිය දරුවන් දෙදෙනාගේ මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය 2013/07/08 දින මාතර රෝහලේ දී පැවැත්වීමට නියමිතව ඇති බවට කඹුරුපිටිය හදිසි මරණ පරීක්‍ෂක ජගත් පාඩියන්පෙරුම මහතා පවසා සිටියේය. පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත් වීමෙන් පසු මරණයට හේතුව ලබා දීමට කටයුතු කරන බවට ද මරණ පරීක්‍ෂකවරයා පවසා සිටියේය.

කඹුරුපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ඩී. එම්. අබේසේකර මහතාගේ උපදෙස්‌ මත කඹුරුපිටිය පොලිසියේ පො. සැ. 52594 චන්ද්‍රදාස මහතා සාක්‍ෂි මෙහෙය වීය.

මෙම දරුවන් ඉගෙනුම ලැබු රන්සෑගොඩ විදුහලේ විදුහල්පති අමරසේන මහතා - ඇත්තෙන්ම මේ පාසලට ආලෝකයක්‌ එක්‌කරන්න සිටිය ළමයි. නමුත් අද වන විට විද්‍යාලය පවා කලාපයෙන් ශිෂ්‍යත්වයෙන් වැඩිම ප්‍රතිඵල ගත් විද්‍යාලය. ඒ නිසා මේ දරුවෝ අපිට සම්පතක්‌. මේ වියෝව සැබැවින්ම අනාගත සමාජයට උගන්නපු ආදර්ශයක්‌ තිබෙනවා යෑයි ද ඔහු පැවැසීය.

මීට පෙරද මේ දරුවන් දෙදෙනා ළිඳකට වැටී ජීවිතය අනූනවයෙන් බේරී ඇත. එහෙත් මේ ජීවිත දෙක පෙරේදා 7 දා බේරා ගැනීමට නොහැකි විය. දෛවය ඔවුනගේ ජීවිත ඉරණම තීන්දු කළේ අප සැමගේම දෙනෙතට කඳුළක්‌ නංවමිනි.