ඉන්දියාව බැසිල්ගෙන් කේ.පී.ව ඉල්ලයිද?

උපුල් ජෝශප් ප්‍රනාන්දු
ඉන්දියාවෙ කේරලයේ අංක විද්‍යාඥයෙක් වන එම්.කේ. දමෝදරන් ප්‍රභාකරන් ඝාතනය වූ දිනවල අපූරු විග්‍රහයක් කොට තිබිණි.
 

"සෝනියා ගාන්ධි ඉපදුණේ 1946 දෙසැම්බර් 9. මහින්ද ඉපදුණේ 1945 නොවැම්බර් 18. අංක විද්‍යාවට අනුව සෝනියාගේ උපත් අංකය 9 (1+8=9)යි. මහින්දගේ උපන් අංකයත් (1+8=9)යි. ප්‍රභාකරන් මියගියේ 18 වැනි දිනකයි. අංක විද්‍යාවට අනුව 9යි. ඒක සෝනියාගේ වාසනාවන්ත 9ත්, මහින්දගේ වාසනාවන්ත 9ත් එකතු වෙලයි හැදුණේ..."
 

මේ ඔහු කිව්ව කතාවය.

"එතකොට දැන් 13ට සෝනියාගේ 9යි මහින්දගේ 9යි ගහ ගනිද්දි කවුරු දිනයිද...?"
 

මේ එම්.කේ. දමෝදරන්ගේ කතාව අහපු කෙනෙක් අහපු ප්‍රශ්නයකි.

"13න් රත් වෙනකොට 9න් 9 සිසිල් කරන්නනේ බැසිල්ව යවල තියෙන්නේ..."

                                         
මේ කවුදෝ කිව්ව කතාවකි.

"බැසිල් ගියේ ඇයි....?"

සමහරු අසති.

"එන්න කියල වෙන්න ඇති"

ආණ්ඩුවේ අය කියති.
 

"ආරක්‍ෂක උපදේශක මෙනන් ලංකාවට එන්නේ එන්න කියල නෙවෙයි. බැසිල් එහෙ යන්නේ එන්න කිව්වාම. හතර බීරි කතාවක්නේ..."

මෙහෙම අහන අයත් නැත්තේ නොවේ.
 

ඇත්තටම මෙනන් ලංකාවට එන්න හදන වෙලාවෙම බැසිල්ව ගෙන්වා ගන්නේ ආ ගිය තොරතුරු කතා කරන්න නොවේ. මොකක් හරි සැර පණිවුඩයක් බැසිල්ට දෙන්නටය. මෙනන්ව ලංකාවට යවල ඒ සැර පණිවුඩය දෙනවාට වඩා බැසිල්ව ගෙන්වා ගෙන දෙන එක ඇඟට ගුණයි කියල මේ දවස්වල උදේ, දිවා, රෑ 13 වෙනස් කළොත් මොකද කරන්නේ කියල උපාය හදන සවුත් බ්ලොක් කට්ටිය සැලැසුම් කළා විය හැකිය.
 

කෙසේ හෝ බැසිල් යන්නත් මෙනන් එන්නත් ලක ලැහැස්ති වෙද්දි තමිල්නාඩුවෙ මහාධිකරණයෙන් අරුම පුදුම පුවතක් වාර්තා විය. මේ එම පුවත ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ.යේ හිටපු ප්‍රධාන නායකයකු වන කුමරන් පද්මනාදන් හෙවත් "කේ.පී." ඉන්දියාවට කැඳවා ප්‍රශ්න කළ යුතු යැයි චෙන්නායි මහාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මේ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ එවකට රජීව් ගාන්ධි ඝාතනය පිළිබඳ පරීක්‍ෂණ කළ විශේෂ පොලිස් කණ්ඩායමට අනුයුක්තව සිටි දැනට විශ්‍රාම ලබා සිටින ජේ. මොහාන් රාජ් නම් පොලිස් නිලධාරියෙකි.
 

හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට සමීප, හිටපු නායකයකු වන කේ.පී.ගෙන් ප්‍රශ්න කළහොත් රජීව් ඝාතනයේ වැදගත් රහස් හෙළිකර ගත හැකි බව මහාධිකරණයට දන්වා ඇති මොහාන් රාජ් මහතා කේ.පී. නැවැත ඉන්දියාවට ගෙන්වා ගන්නා ලෙසද ඉල්ලීමක් කර ඇත.
 

වැඩ බලන අගවිනිසුරු ආර්.කේ. අග්‍රවාල් හා විනිසුරු එම්. සත්‍යනාරායන් යන විනිසුරුවන් ඉදිරියේ මේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම පිළිබඳ වහාම වාර්තාවක් කැඳවන ලෙස මධ්‍යම රජයට නියෝග කළ විනිසුරුවන් දෙපළ වැඩිදුර විභාගය අගෝස්තු 5 වැනිදාට කල් තබා තිබේ.

රජීව් ගාන්ධි ඝාතනයේ පරීක්‍ෂණ පැවැත්වූ නිලධාරියකු ලෙස එම පරීක්‍ෂණවල හා නඩු විභාගයේදී හරි හැටි නොවිසඳුණු තැන් ඇතැයි පෙත්සමෙන් පෙන්වා දී ඇති මොහාන් රාජ් මහතා කේ.පී. යනු "රහස් නිධානයක්" බවත් ඔහු ඉන්දියාවට ගෙන්වා ප්‍රශ්න කිරීමට ඉන්දීය මධ්‍යම රහස් කාර්යාංශය නිසි පියවර නොගත් බවත් චෝදනා කර ඇත.
 

රජීව් ගාන්ධි ඝාතනය සඳහා කේ.පී. අත්‍යවශ්‍ය පුද්ගලයෙක් බව දැන දැනම ශ්‍රී ලංකා රජය කේ.පී.ට විරුද්ධව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නැති බවත් ඔහුට නිදහසේ ඉන්නට සලස්වා ඇති බවත් සඳහන් කර ඇති ඔහු ඉන්දියාවේ සිදුවූ රුපියල් කෝටි 1336ක වංචාවක් පිළිබඳ කේ.පී.ගෙන් ප්‍රශ්න කළ යුතු බවත් සිය පෙත්සමේ සඳහන් කර තිබේ.
 

"හිටි හැටියේ මොකද ඒ ඉන්දියාවට කේ.පී. මතක් වුණේ....?"

කතාව ඇත්තය. උතුරේ පළාත් සභා ඡන්දයට කේ.පී. එනවා කියලා කලින් රාවයක් තිබිණි. ඒත් දැන් උතුරේ ඡන්දයට ආණ්ඩුවේ අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වන දයා මාස්ටර් සහ තමිලිනී පිටුපස කේ.පී. ඉන්නා බවත් ඡන්දය තිරය පිටුපස සිට
 

මෙහෙය වන්නේ කේ.පී. බවත් ඉන්දියාවට දැන ගන්නට ලැබී තිබේ.

තමිල්නාඩු අධිකරණ නියෝගයක් මත ඉන්දියාව මේ වේලාවේ කේ.පී.ව ඉල්ලා සිටියොත් ආණ්ඩුව වැටෙන්නේ ලොකු අමාරුවකය. අනෙක ලංකාව ත්‍රස්තවාදයට සම්බන්ධ සැකකරුවන් හුවමාරු කරන ජාත්‍යන්තර ගිවිසුම්වලින් බැඳී සිටී. චන්ද්‍රිකාගෙ ආණ්ඩු කාලයේ ඇමෙරිකානු රහස් ඔත්තු සේවා ලංකාවට පැමිණ අල්කයිඩා සැකකරුවෙක් කුදලාගෙන ගිය බව මෑතකදී අනාවරණය විය. ලංකා ආණ්ඩුව කේ.පී.ව බාරදීම ප්‍රතික්‍ෂේප කළහොත් තම රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියා කේ.පී. කුදලාගෙන යන්න ඉන්දීය හමුදාව එවන්න ඉන්දියාවට පුළුවන.
 

"ඉන්දියාව සැරසෙන්නේ ඒකටද....?"

ඒක නම් හරියටම කියන්න දන්නේ නැත. ඒත් ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැතිවා වගෙ කේ.පී. අත්අඩංගුවට ගෙන වසර 4කට ආසන්න වෙද්දී කේ.පී. ඉල්ලා තමිල්නාඩු මහාධිකරණයට පෙත්සම් එන්නේ නිකම්ම නොවේ.

උතුරේ ඡන්දයට ආණ්ඩුවට සහාය දෙන අනෙකා ඩග්ලස් දේවානන්දාය. ඔහුත් තමිල්නාඩුවේ ඝාතනයක් සම්බන්ධයෙන් එහි අධිකරණයේ වරෙන්තු නිකුත් කොට ඇති අයෙකි. දේවානන්දාවත් බාර දෙන්න යැයි ඉන්දියාව ඉල්ලා සිටියොත් ආණ්ඩුව කොටඋඩය.
 

ආණ්ඩුව නම් කියන්නේ බැසිල් යන්නේ ආණ්ඩුවේ පණිවුඩයක් දෙන්න කියාය. මෙනන් එන සතියේ ලංකාවට එන්න නියමිතව තියෙද්දී බැසිල් ආණ්ඩුවේ පණිවුඩ දෙන්න යනවා කීම විශ්වාස කළ නොහැකි කතාවකි. එහෙනම් මෙනන්ට ආණ්ඩුවේ පණිවුඩය දිය හැකිය. බැසිල් එහෙ ගිහින් හමුවන්නේත් මෙනන්වය.

 මොනා හරි ගිනි කුන්දමක් යට ඇවිළෙනවා සිකුරුය.

"මට නම් දැනෙන්නේ අපි 87 ජූලියේ වගේ කාලයක ඉන්නවා කියලයි..."

මේ ඉන්දු - ලංකා සබඳතා විශේෂඥයෙක් කී කතාවය. ඒ කියන්නේ ගින්දර ඇවිළෙන්න ඔන්න මෙන්නය.