පක්ෂ කඩන පාපය

උපුල් ජෝශප් ප්‍රනාන්දු

"තුනෙන් දෙකේ බලය ගන්න පක්ෂ කඩපු පාපය ආණ්ඩුවට දැන් පල දෙනවා...." මේ යූ.ඇන්.පී.ය මේ සතියේ කිව්ව කතාවකි. යූ.ඇන්.පී.ය මේ කතාව කීවේ මහින්ද පසුගිය සතියේ ශ්‍රී ල.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට දමපු සද්දෙ ඇහිලා විය යුතුය.

"කල්ලි ගහනවා නම් යන්න පුළුවන්.."

මහින්ද සද්දෙ දැම්මේ එහෙමය.

මේ සද්දේ මේ රටේ මිනිසුන්ට හොඳට අහල පුරුදුය.
 
1970 - 77 කාලයේ අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය පක්ෂයේ මන්ත්‍රිවරුන් ගහ මරා ගන්න කොට ආණ්ඩුව තමුන්නාන්සේලාට ඕන නැතිනම් මටත් ඕනා නැහැ කියලා හෑන්ඩ් බෑගයත් රැගෙන නැඟිට යන්න හදපු අවස්ථා එමටය.

ඒ වගේම ජේ.ආර්. 1987 ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කිරීමට පෙර පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීත් කීවේ, ඉස්සරහ ‍ෙදාර ඇරලා තියෙන්නේ ගිවිසුමට එරෙහි ඕනා කෙනෙක්ට දැන්මම නැඟිටලා යන්න පුළුවන් කියාය.
 
ප්‍රේමදාස දෝෂාභියෝගය වේලාවේ මම හොඳට තෙම්පරාදු වෙලා ඉන්න මිනිහෙක් කියලා සද්දේ දැම්මේය.

මන්ත්‍රි කණ්ඩායමේ සහ ඇමැති මණ්ඩලයේ ප්‍රශ්න ආ වෙලාවට මම ළමයි දෙන්නා එක්ක රට යනවා කියලා චන්ද්‍රිකා තර්ජනය කළ අවස්ථා බොහෝය.
 
ඒ හැමෝගේම සද්දත් හරිය. මහින්ද රාජපක්ෂගේ සද්දෙත් හරිය. ප්‍රභාකරන්වත් මෙල්ල කළ ලංකාවේ බල සම්පන්නම විධායක ජනාධිපතිවරයාට මැති ඇමැතිවරුන් මෙල්ල කර ගන්න බැරිවේ යැයි කවුරුත් හීනෙන්වත් හිතුවේ නැත. ඒ නිසාම මහින්ද මේ සද්දේ දමනකොට හැමෝටම පුදුමය. මොකද ඒ සද්දේ ඇතුළේ තියෙන්නේ මහින්දට එරෙහිව ආණ්ඩුව ඇතුළෙන්ම කැරැල්ලක් එයි යන බියකින් මහින්දගේ පපුව ඩිග් ඩිග් ගාන සද්දේය.
 
යූ.ඇන්.පී.ය හුරේ දමන්නේ ඒක දැනගෙනය.

මහින්ද තුනෙන් දෙකේ බලය ගන්න යූ.ඇන්.පී.ය කඩපු හැටි යූ.ඇන්.පී.ය ඉවසා වදාරා සිටියේ අන්ත අසරණ වෙලාය.
 
"මේ රටේ පාලනය කරන දෙවි දේවතාවුන්ටවත් පෙනෙන්නේ නැද්ද මේ අවනඩුව.."

එදා ප්‍රේමදාස ආණ්ඩු කාලයේ මහින්ද විපක්ෂ මන්ත්‍රිවරයෙක් ලෙස මේ වචනය කීවේ වරක් දෙවරක් නොවේ.

අද යූ.ඇන්.පී.ය පමණක් නොව මහින්ද කඩපු විපක්ෂයේ පක්ෂ ඔක්කොම උදේ හවා මේ වචනය මතුරනවා විය යුතුය.

හැබැයි ලංකාවේ පක්ෂ කැඩිල්ල ඉස්සෙල්ලාම පටන් ගත්තේ ඩඩ්ලි සහ ජේ.ආර්.ය. ඒ 1965 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පෙරළන්න ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බා ගන්න ගිහින්ය. මැතිනියගේ ආණ්ඩුවේ නියෝජ්‍ය අගමැති ලෙස හිටපු සී.පී.ද සිල්වා ඇතුළු මන්ත්‍රිවරුන් ගණනාවක් කඩලා අරන් ඩඩ්ලි සහ ජේ.ආර්. ආණ්ඩුව පෙරලූහ. පෙරළලා 1965දී හදපු ආණ්ඩුවේ ඉස්සෙල්ලාම ගහගන්න ගත්තේ ජේ.ආර්. සහ ඩඩ්ලිය. ඩඩ්ලි ජේ.ආර්.ට පල නොකියා පලා බෙදුවේය. 1970 අන්ත පරාජයට හේතුව මේ දෙදෙනාගේ ගැටුමය. මැතිනිය 1970 බලයට එන්න මේ දෙදෙනාගේ ගැටුම හොඳට ප්‍රයෝජනයට ගත්තාය.
 
1970 බලයට ඇවිත් මැතිනිය මේ දෙදෙනාගේ ගැටුමට ලුණු ඇඹුල් දමමින් ගැටුම උග්‍ර කළාය. ඩඩ්ලි මියගියාට පසු ඇය ඩඩ්ලිගේ බෑනා රුක්මන් සහ ජේ.ආර්. අතර ගැටුමක් හදා එ.ජා.ප.ය කඩන්න උත්සාහ කළාය. අන්තිමේදී මැතිනියගේ ආණ්ඩුවම දෙකඩ වූයේ ල.ස.ස.ප.ය, කො.ප.ය වෙන් වීමෙනි. පක්ෂ කැඩීමට මැතිනිය නියම වන්දිය ගෙව්වේ 1977 විපක්ෂයට ගිහින්ය. ජේ.ආර්. ඇයගේ පවුල සීසීකඩ යන්න ගැහුවේය. 1982 ජනාධිපතිවරණයේදී ජේ.ආර්. කීවේ මෝගල් අධිරාජ්‍ය කඩාගෙන වැටුණ වගේ ශ්‍රී ල.නි.ප.යේ කෑලි ඔහුගේ ඔඩොක්කුවට වැටෙනවා කියාය. ජේ.ආර්. 1980දී මැතිනියට එරෙහිව පුත් අනුරව කැඩුවේය. 1983 දී මැතිනියට එරෙහිව දුව චන්ද්‍රිකා සහ බෑනා විජයව කැඩුවේය.
 
ශ්‍රී ල.නි.ප.ය එහෙම කඩපු ජේ.ආර්.ගේ ආණ්ඩුව පුපුරා ගියේ ඉන්දු - ලංකා ගිවිසුමෙන්ය. ගාමිණී හා රොනී ගිවිසුමට සහාය දෙද්දී ප්‍රේමදාස සහ ලලිත් ගිවිසුමට එරෙහි වූහ. ජේ.ආර්, ප්‍රේමදාස, ලලිත්, ගාමිණී සහ රොනී යන නායකයන් හැදුවේ තමාගෙන් පසු වසර 12න් 12ට රටේ ජනාධිපතිකමට පත් කරවන්නටය. පත් කරවලා එ.ජා.ප.ය දිගටම බලයේ තියවන්නටය. ඒත් 1987 දීම ජේ.ආර්.ගේ හොඳම ගෝලයා වූ රොනී කඩාගෙන ගියේය. 1988 ජනාධිපතිවරණය දිනාගන්න ජේ.ආර්, ප්‍රේමදාස, ලලිත් සහ ගාමිණී එකට එකතු කළත් ප්‍රේමදාස ජනාධිපති වූවාට පසු පක්ෂය දෙකඩ විය. ඒ ලලිත් සහ ගාමිණී ඉදිරිපත් කළ දෝෂාභියෝගය නිසාය. අන්තිමේදී ඔවුන් එක එකා ප්‍රභාකරන්ගේ අතින් මැරී වැටිණි. ඒ කම්පනය ජේ.ආර්. විඳ දරා ගත් ආකාරය ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වන්නේ මෙසේය.
 
"බලයේ සිටි වසර 11 වසරක කාලය තුළදී තමා විසින් එක්සත්ව තබා ගන්නා ලද පක්ෂයේ නායකත්වය සිය අනුප්‍රාප්තිකයා, කැබිනට් මණ්ඩලය තුළ පැන නැඟුණු සුළු මතභේදයකට පවා දැඩි ලෙස සතුරු වීම නිසා මෙන්ම, දක්ෂතම ඇමැතිවරු දෙදෙනෙක් වෙනත් පියවර මඟින් ඉටු කර ගත හැකිව තිබුණු දෙයක් සඳහා අත්තනෝමතිකව දෝෂාභියෝග යෝජනාවක් ගෙන අවුත් පක්ෂය තුළ සටනක් පවත්වා ගෙන යෑම හේතුවෙන් බිඳී විසිරී යෑම ජේ.ආර්. නිශ්ශබ්ද ප්‍රේක්ෂකයකු ලෙස ශෝකාකූල ඇසින් බලා සිටියේය. මේ සියල්ල සිදු වූයේ 1991දී බොහෝ දෙනාගේ ප්‍රසාදය ලබමින් පක්ෂ ලේකම් ධුරය දරා සිටි රන්ජන් විජේරත්න ඝාතනය වී මාස කීපයකට පසුවය.
 
පූර්ව සගයන් කිසිවකුගේ බිහිසුණු මරණයක්වත් රන්ජන් විජේරත්න එල්.ටී.ටී.ඊ.ය අතින් මරණයට පත්වීම තරම් පෞද්ගලික ලෙස ජේ.ආර්.ගේ සිතට බලපෑවේ නැත. මින් සති කිහිපයකට පසුව එල්.ටී.ටී.ඊ.ය ඊටත් වඩා උත්කෘෂ්ඨ බිල්ලක් එනම්, රාජිව් ගාන්ධි ගත්තේය. එම ඝාතනය ජේ.ආර්.ට මහත් කම්පනයක් විය. අදහස් අතින් වෙනස්කම් තිබුණත් ඔහු රාජිව්ට ඇලුම් කරන්නට පුරුදුව තිබිණි. රාජිව් හා සෝනියා වෙත ජේ.ආර්. දැක්වූ උණුසුම් සුහදතාවට ප්‍රතිචාර ලෙස ආචාරශීලීභාවයක් සහ ජේ‍යෂ්ඨ දේශපාලන නායකයකු ලෙස ඔහුගේ අත්දැකීම් කෙරේ ගෞරවයක් ඔවුන් දැක්වූ ආකාරය ගැඹුරු ලෙස ඔහුගේ හදවතට දැනී තිබිණි.

මින් වසර දෙකකට පසුව තවත් ඝාතන දෙකක් සිදු විය. පළමුව ලලිත් ඇතුලත්මුදලිත් ඊළඟට ආර්. ප්‍රේමදාසත් වශයෙනි. මේ මිනීමැරුම්වලින් ජේ.ආර්. හිරි වැටුණි. ලලිත් ඇතුලත්මුදලිගේ මරණය හා සමඟ රටට වටිනා දේශපාලන දක්ෂතාවක සේවය නැති වූ අතර එ.ජා.ප.යට ප්‍රේමදාසගෙන් පසු තර්කානුකූල අනුප්‍රාප්තිකයකු නැති වූ බව ඔහුට වැටහුණි. ඇතුලත්මුදලිගේ ඝාතනය නිසා හැඟීම් වියළී ගිය තත්ත්වයකට පත්ව සිටි ජේ.ආර්.ට අනතුරුව ප්‍රේමදාසගේ මරණයෙන් ජනිත වූ කම්පාවද විඳ දරා ගත යුතු විය. ප්‍රේමදාස ඝාතකයකු අතින් මරණයට පත්වූ ශ්‍රී ලංකාවේ දෙවැනි රාජ්‍ය නායකයා විය. මෙම අවස්ථාවේදී ප්‍රදර්ශිත ප්‍රචණ්ඩත්වය, එක් තනි පිස්තෝලකරුවකු බණ්ඩාරනායක මැරූ අවස්ථාවට වඩා බෙහෙවින් ප්‍රබල විය."
 
70-77 කාලයේ යූ.ඇන්.පී.ය කඩන්න ගිහින් සිය මව 77 - 94 කාලය තුළ ගෙව්ව වන්දිය අවබෝධ කර නොගෙනදෝ චන්ද්‍රිකා 1994 බලයට පැමිණ පක්ෂ මාරු කළ හැකි අධිකරණ තීන්දුව ආයුධයට ගෙන යූ.ඇන්.පී.ය කඩලා බිඳලා දැම්මාය. ඇය 1999 ජනාධිපතිවරණයට කලින් විජයපාල මෙන්ඩිස්, සරත් අමුණුගම, නන්ද මැතිව් වැනි ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරුන් ගණනාවක් යූ.ඇන්.පී.යෙන් කඩලා ගත්තාය. හැබැයි ඇයගේ පක්ෂ ලේකම් එස්.බී. ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ ඇමැතිවරුන් ගණනාවක් එක්ක 2001දී යු.ඇන්.පී.යට යනවා ඇයවත් දැන සිටියේ නැත. ඇයගේම අගමැති මහින්ද ඇයව ගෙදර යවනකන් ඇය දන්නේ නැත. පක්ෂ කඩන්න ගිහින් ඇය උගෙන ගත් පාඩම ඒකය.
 
මහින්දට විතරක් ඒ පවෙන් බේරෙන්න පුළුවන්ද....?"

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි ගම්මුන් අතර ප්‍රකට හොඳ කවියක් තිබේ.
 
කරන කලට පව් මිහිරිය මී සේ

විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

ඒ කවියේ හැටියට නම් මහින්ද පක්ෂ කඩපු හැටියට ඉස්සරහට කඩන්න ශ්‍රී ල.නි.ප.යක් ඉතිරි වෙයිද දන්නෙත් නැත.