13+ වෙනුවෙන් සිටි මහින්ද අන්තවාදීන්ට යටවෙන මිනිහෙක් නෙවෙයි - රාජිත

 මේ අතරේදී   බලය විමධ්‍යගත කිරීම වෙනුවෙන් හඳුන්වාදුන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් සභා වෙත පැවැරී ඇති අවම බලතල ද කප්පාදුකිරීමක් වෙත රට තල්ලු වෙමින් පවතින නිමේශයක ඊට එරෙහිව  සෘජු ලෙසම පෙනී සිටින  වත්මන් කැබිනට් අමාත්‍ය රාජිත සෙනාරත්න මහතා සමඟ  ඔහුගේ ස්ථාවරය සම්බන්ධයෙන් අප සාකච්ඡා කෙළෙමු. පහතින් දැක්වෙන්නේ එම සාක්ච්ඡා සටහනයි.

ඔබගේ දේශපාලන දැක්ම සමග බලත්දී රටේ අද දවසේ ජාතික ප්‍රශ්නය සම්බන්ධව සිදුවන දේ ගැන මොකද කියන්නේ?
මම මුල ඉදන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයේ සිටි යේ වාම වාදියකු ලෙසයි. අදටත් මා එම ප්‍රතිපත්තියේ සිටිනවා. මා එක්සත් ජාතික පක්ෂයෙහි කෙටි කාලයක් සිටියා .ඒත් වාමවාදියකු ලෙසයි. ජාතික ප්‍රශ්නය සම්බන්ධව මාගේ මතය එදා සිටම නොවෙනස්ව පවතිනවා. සක්‍රිය දේශපාලනයට එන්නට කලින් සිටම ජාතික ප්‍රශ්නය සම්බන්ධව මා දැරුවේද එකම අදහසක්. ඇතැම්විට අතිතය්දී මෙයටත් වඩා දැඩි ස්ථාවරයක සිටියා යි කියන්නට පුළුවන්.

ඔය කියන දැඩි ස්ථාවරය මොකක්ද?

එදා මෙරටේ යුද්ධයක් තිබුනා. එනිසා ෆෙඩරල් වාදයට වුනත් එකඟ තැනකයි අපි සිටියේ. එක්සත් රටක වුනත් බලය බෙදීමේ ස්ථාවරයකයි සිටියේ. අදටත් එක්සත් රටක බලය බෙදීම ගැන ප්‍රශ්නයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට බලය බෙදීම ගැන දේශන කලේ මම. ෆෙඩරල් වාදය කියන්නේ මොකක්ද , ඒකීය රාජ්‍යයක් කියන්නේ මොකක්ද යනාදිය ගැන මා ඔවුන්ට පැහැදිලි කලා. මේ පිළිබඳව අපි අධ්‍යයනයක් කර තිබෙනවා .ඒ දවසක් දෙකක් කල එකක් නොවෙයි. දශක දෙක තුනක් තිස්සේ කෙරෙන්නක්.මා අදටත් දරන්නේ රටට යෝග්‍ය වැඩ පිලිවෙලයි.

rajitha-senarathna-600-1-3713
ඔබට විජය කුමාරණතුංග මහතා සමග ළග සම්බන්ධයක් තිබුනා.පසුගිය දා මේ ගැනත් කතා බහට ලක්වුනා.

විජය මහජන පක්ෂය හදන වෙලාවේ මා එකවර ඔහු සමග එකතුවූනේ නැහැ. වරක් රටේ තුන්වන බලවේගය ගොඩ නැගීමේ අදහසින් ටී.බි.සුබසිංහ ,නන්ද එල්ලාවල,ටෙනිසන් එදිරිසුරිය වැනි උගත්,වාම අදහස් ඇති දේශපාලනඥයන් සමග මා ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් එලියට බැස්සා.
එහෙත් ඔවුන් ද අසාර්ථක වුනා. ඉන්පසු කුමාර් රූපසිංහ නමැති සමාජවාදය ගැන හදාරපු, දර්ශනය ගැන හදාරපු හොඳ නායකයකු සමග කටයුතු කලා. ඔහුත් සමගත් මට ප්‍රශ්න තිබුනා. අවසානයේ කුමාර් රූපසිංහත් යන ගමන නවතා ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග එක්වුණා.ඒ අනුව විජය කුමාරණතුංග කියන නළුවාට කල හැක්කේ කුමක්දැයි කියා මට සිතුනා.පෙරකී මහා න්‍යායවාදීන් සමග මට තිබුණු අත්දැකීම් සමගයි මේ දේ සිතුනේ.එහෙත් මට ඔහු කල කාර්යභාරය ගැන සතුටක් කැමැත්තක් තිබුනා. ජාතික ප්‍රශ්නය ගැන විජය ගත් ස්ථාවරය සමග ඔහුට තිබුණු පිරිස් බලය ,ඉල්ලුම අඩුවන අවස්ථාවේදීයි මා ඔහු සමග එකතුවුනේ.

එසේ කලේ ඡන්ද බලාගෙන නොවෙයි.ජාතික ප්‍රශ්නය ගැන නිවැරදි ස්ථාවරයක් තිබෙනවා නම් ඒ මනුස්සයට හොඳ පිට කොන්දක් තිබෙනවය කියන ස්ථාවරයේ හිඳිමිනුයි මා විජය සමග එකතු වුනේ. රැල්ලට විජය සමග එකතුවුන මිනිහෙක් නොවෙයි මම .විජයට රැල්ල නැතිවනවිට ඔහු සමග එකතුවුන මිනිහෙක් මම .විජය නැතිවුන කියලා ගමන අපි නතර කලේ නැහැ.එක්සත් ජාතික පක්ෂයේ බැටන් චාජ්,කඳුළු ගැස් කමින්,ජනත විමුක්ති පෙරමුණේ T-56 උණ්ඩවලට මුහුණ දෙමින් ,එල්.ටි.ටි.ඊ යේ බෝම්බ මැදින් අපි ආව ගමනක් මේක. අපි අදහස අත හරියෙත් නැහැ.කෙනකුට යටත් වුනෙත් නැහැ.

ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල දිගු ගමනක් ආවා.!

ඔව්.බණ්ඩාරනායක මැතිතුමා සමග පමණයි වැඩ නොකළේ.සිරිමා මැතිනිය,චන්ද්‍රිකා ,සුනේත්‍රා සහ අනුර සමග මා වැඩ කළා.
ජාතිවාදී අන්ත දක්ෂිණාංශික පක්ෂයක් ලෙසහැදින්වුණු ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ප්‍රශ්නය සම්බන්ද කාරණාවේදී ඊට වඩා වෙනස් තැනකට ගෙන ඒමට චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය සමත්වුනා. චන්ද්‍රිකාව එතැනට ගෙනාවේ විජයයි.


rajitha-senarathna-600-3-3713
බලය බෙදීම ශ්‍රී.ලං .නි. ප යට පමණක් නොවෙයි රටටත් වහකදුරුවී තිබුණා. චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය සුදු නෙලුම් ව්‍යාපාරය ,තවලම ,පැකේජය ආදී දේ මගින් බලය බෙදීම කෙරෙහි යම් ධනාත්මක ආකල්ප සමාජගත කළා. එම දර්ශනය පක්ෂය තුලට ගෙනාවා .දකුණේ සමාජය තුල මේ ගැන ආකල්පමය වෙනසක් ඇති කිරීමේ වෑයමක් දැරුවා.එසේවූ ශ්‍රී.ලං .නි. ප ය යලි ජාතිවාදී අන්තයකට තල්ලුවී තිබීම ගැන ඔබ මොකද කියන්නේ?

ශ්‍රී.ලං .නි. ප ය මුළු ඉතිහාසය පුරාම ක්‍රියාත්මක වූ ආකාරයට නොවෙයි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ගේ කාලයේ ක්‍රියාත්මක වූනේ. නැවත මේ පක්ෂය පැරණි ක්‍රමයට එනවා. චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය විජයගේ අභාෂය ලැබීමෙන් ජාතික ප්‍රශ්නය සම්බන්දව පක්ෂය තුලට හොඳ මතවාදයක් ගෙනාවා. අද විරුද්ධව ඉන්න සියලු දෙනා සුදු නෙලුම් රැගෙන තවලම් ගියා. එදා චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය බස්නාහිර පලාත් සභාවට පත්වෙලා ඉඩම් හා පොලිස් බලතල බස්නාහිර පලාත්සභාවට දෙන්නය කියා එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලුවා. එතැනදී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය සමග එක්වී පළාත් සභාවට ඉඩම් බලතල ඕනය,පොලිස් බලතල ඕනය කියා ඉල්ලු අය තමයි දැන් පළාත් සභාවට ඉඩම් බලතල දෙන්න එපා ,පොලිස් බලතල දෙන්න එපා ය කියා කෑගහන්නේ. මොකද ඒ අයට ප්‍රතිපත්තියක් නැහැ.මට මගේ කියා ප්‍රතිපත්තියක් තිබෙනවා. පක්ෂයේ විනයට යටත්ව මා එහි රැඳී ඉන්නවා.

13 වන සංශෝධනයේ බලතල කප්පාදු කිරීම ට ආණ්ඩුව දරන වෑයම සමග වාසු,ඩිව්,තිස්ස විතාරණ,රාජිත ආදීන් ඊට එරෙහිව නැගිටිනවා.ඒ වගේම ඔබලාට එරෙහිව තවත් කඳවුරක් ගොඩනැගෙනවා. ඔබ මෙය අතික්‍රමණය කරන්නේ කොහොමද?

ප්‍රතිපත්ති ගරුක මිනිසුන් කවුද ,ප්‍රතිපත්ති විරහිතයන් කවුද කියා තෝරා ගත හැක්කේ අර්බුදයකදි යි . ජාතික ප්‍රශ්නය පිලිබඳ අර්බුදය මුළු රටේම තිබෙනවා.


චන්ද්‍රිකා සමග එක්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නට හදනවාය කියා ඔබට එරෙහිව දැඩි චෝදනාවක් එල්ල වෙනවා.මේ ගැන ඔබගේ පැහැදිලි කිරීම කෙබදුද?

ඔය කතාව කියන්නේ ශ්‍රී ලංකා කාරයෙක් නොවෙයිනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ව මරාදමන්නට හැදු ,තවත් කොටසක් මරාදමන්න ක්‍රියා කල, එහි දේශපාලන ගමන විනාස කරන්නට හදපු ,පක්ෂයක නොවෙයි, පක්ෂයක කෑල්ලක ඉන්න කෙනෙක් නේ.ඔය කතාව කියන්නේ.ඔය හාදයා ශ්‍රී.ලං .නි. ප යේ කුස්සියේ නෙවෙයි, ඒකෙ ඉලපත්තෙවත් හිටපු කෙනෙක් නෙවෙයි. ඒ ගොල්ලෝ වැස්සට ගොඩවුනා වගේ ශ්‍රී.ලං .නි. ප මුලස්ථානයට ගොඩවුණු මිනිස්සු. ඒ මිනිස්සුනට කොහොමද අපේ , ශ්‍රී.ලං .නි. ප යේ දේශපාලනය ගැන තේරෙන්නේ.

rajitha-senarathna-600-2-3713
ඔබගේ නියම නායකයා චන්ද්‍රිකා ද නැතිනම් මහින්ද ද ?

අපෝ ! මං මහින්ද ගේ. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකොටත් පුද්ගලයෙක් විදිහට මහින්ද රාජපක්ෂට සහය දුන්නු මිනිහෙක්. මහින්ද රාජපක්ෂ ට විශ්වාස භංගය ගෙනා මිනිහත් දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂට ප්‍රශස්ති ගායනාකරමින් ලඟට වෙලා ඉන්නවා.මම එදාත් ,පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ,මහින්ද රාජපක්ෂට එරෙහි විශ්වාසභංගයක් නොගෙනිය යුත්තේ ඇයි කියනා කාරනාව ගැන පැයකුත් විනාඩි හතලිස් පහක් කතා කළා. මගේ විග්‍රහයෙන් පස්සේ ,මුළු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ම මගේ මතයට එකඟ වුනා. එදා මගේ සහයට හිටියේ ඔය මර්වින් සිල්වා විතරයි. මොකද අපි දෙන්නම මහින්ද කියන පුද්ගලයාව දිගු කාලයක් තිස්සේ හඳුනන අයයි. ඉන්පසු මහින්ද අගමැති වෙනවාය කියා මුලින්ම ප්‍රකාශ කලේ හා ප්‍රාර්ථනා කලේ මමයි. එතකොට මම ඇමති ,එතුමා විපක්ෂ නායක. එතැනදී මා දැන සිටියා මගේ ඇමතිකම නැතිවෙනවා ය කියා. එහෙත් මා ප්‍රාර්තනා කලේ මගේ මිත්‍රයා අගමැති විය යුතුය කියලයි. ඊට පස්සේ මා කීවා අගමැති මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙනවා ය කියා. මා ඒ බව කියන විට මහින්ද ජනාධිපති වනු ඇතයි කියා කිසිවකු සිතලාවත් තිබුනේ නැහැ .එහෙම මතයක් ශ්‍රී.ලං .නි. ප ය තුළවත් තිබුනේ නැහැ.

මම චන්ද්‍රිකා කුමාරණතුංග ගෙන් ඉවත්වුනාට පස්සේ චන්ද්‍රිකා සමග මගේ කිසිම දේශපාලන ඇයි හොඳයියක් නැහැ. චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය සමග මගේ පුද්ගලික තරහකුත් නැහැ. මොක ද අපි දෙන්න අතර විරසකය තිබුනේ දේශපාලනය මත වුවත් ,එයා මට විරුද්ධව පුද්ගලිකව දේවල් කලාට මම එතුමියට විරුද්ධව දේවල් කරන්නෙත් නැහැ. හැබැයි එතුමිය මේ ජාතික ප්‍රශ්නය සම්බන්දව දැරූ ස්ථාවරය හා ශ්‍රී.ලං .නි. ප යට ගෙනා මතවාදය ගැන මා අදත් එතුමියට ගෞරව කරනවා.ඒ වගේම එතුමියගේ දේශපාලනයට මගේ කිසිම එකඟතාවක් නැහැ.එතුමිය ට මෙරටේ කරන්නට දේවල් බොහෝ තිබුනා.ඔය කියන දේවල් එකක්වත් එතුමිය කලේ නැහැ.එතුමිය තමන්ට උදව් කල අයවත් අමතක කළා.

මහින්ද රාජපක්ෂගේ තිබෙන හොඳකම යම් දවසක යම් උදව්වක් කළා ද එය මතක තබාගෙන ඉන්නවා. විරසකයක් ඇතිවුනාද ඔහු පලිගන්න පුද්ගලයෙක් නොවෙයි. අප හා ඔහු අතර යම් විරසකයක් ඇතිවුනාට ,එය විසඳෙන්නේ කොහොමද,මේ ගනුදෙනුව බේරාගන්නේ කොහොමද කියා අපි ඉස්සරහට බලමු. මොකද වාසු කියන්නෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දීර්ග කාලින මිතුරෙක් පමණක් නොවෙයි. මහින්දගේ දේශපාලන ගමන ගොඩ නැගීමට බොහෝ උදව් කල අයෙක්. ඩිව් කියන්නෙත් මහින්දගේ දීර්ගකාලින මිතුරෙක් පමණක් නොවෙයි ඥාතියකු ද වෙනවා .අපේ මේ සටනේ ඉන්න ඔක්කොම මහින්ද ගේ මිත්‍රයන්. ඔය අනිත් කට්ටියනම් මහින්දගේ බෙල්ල කපන්න හදල ඒක බැරිවුනාට පස්සේ දැන් යාලු වෙලා ඉන්න කට්ටියයි. මේක මහින්ද මිත්‍රයන්ගේ අරගලයක් .මහින්ද රාජපක්ෂ මැතිතුමාත් 13 නොවෙයි 13+ කියන තැන හිටියා.

13+ කියන තැන හිටිය මහින්ද ඇයි 13 කප්පාදු කරන තැනට ආවේ?

එතුමාට යම් යම් අන්තවාදීන්ගේ බලපෑම් තිබෙනවා.සිංහල බෞද්ධකම කියන්නේ මේකට තමයි කියා අන්තවාදීන් බලපෑම් කරනවා. මම දන්න මහින්ද රාජපක්ෂ සිංහල බෞද්ධකමට නැඹුරුවී සිටියා. එහෙත් ඔහු අන්තවාදීයකු නොවෙයි. ඒ නිසා මේ අන්තවාදීන්ට ඕන හැටියට මහින්ද රාජපක්ෂ යටත් කර ගන්නට බැරිය කියාත් මා කියනවා. ඉස්සරහට වෙන්නේ මොකද කියා බලමු.

-ප්‍රභාත් වීරරත්න 
ඡායා -හර්ෂනී පෙරේ
රා