කවුද මේ මහින්ද?

උපුල් ජෝශප් ප්‍රනාන්දු

"කවුද මේ මහින්ද රාජපක්ෂ?"

මහින්දගේ දේශපාලනයට දැන් අවුරුදු 43ක් වයසය. ජනාධිපති වෙලා අවුරුදු 8කට ආසන්නය. ඒත් මහින්ද කවුද කියල මහින්දගේ වටේ ඉන්න අයවත් දන්නේ නැත.


"මහින්ද හිතන දේ කවදාවත් කියන කෙනෙක් නෙවේ. දෙයියෝ තමයි දන්නේ..."
 

මේ මහින්දගේ ලේලිය නිරූපමා රාජපක්ෂ මහින්ද මාමා ගැන එවකට ඇමෙරිකානු තානාපති ජෙෆ්රි ලන්ස්ටෙඩ්ට කී කතාවකි. ඒ 2005 ජනාධිපතිවරණ කාලයේය.

ජුලියන් අසංජේ හොරකම් කරපු විකිලීක්ස් කේබල්වලින් මහින්ද කවුද කියල පුංචි පහේ චිත්‍රයක් මවා ගත හැකිය.

නිරුපමාගේ කේබල් එක ලියල තියෙන්නෙ 2005 සැප්තැම්බර් 30ය.
 

"ඒක පී.එම්.ගේ (අගමැතිගේ) මෝඩ වැඩක්. පී.එම්. හිතන්න ඇත්තෙ ජවිපෙ වෙනම අපේක්ෂකයෙක් දමන එක වැළැක්වීම සුළු ජාතික ඡන්ද ගන්නවාට වඩා වැදගත් කියල වෙන්න ඇති. පී.එම්. හිතන්නේ සුළු ජාතිකයෝ එයාට ඡන්දය දෙන්නේ නැහැ කියලයි. අනෙක ශ්‍රීලනිප බිම් මට්ටමේ සංවිධානය එජාප බිම් මට්ටමේ සංවිධානය එක්ක බලද්දි හරි දුර්වලයි. අනෙක දකුණේ ජවිපෙ බලය නිසා ශ්‍රීලනිපය දුර්වල වෙලා තියෙන්නේ. ජේවීපී එකයි ජේ.එච්.යූ. එකයි එක්ක අස්සන් කළ ගිවිසුම් නිසා සාම ක්‍රියාවලිය කඩාකප්පල් වෙයිද කියල මට කියන්න බැහැ. මහින්ද හිතන දේ කියන කෙනෙක් නෙවේ. දෙයියෝ තමයි දන්නේ..."

මේ නිරුපමා ඇමෙරිකානු තානාපතිට කී කතාවය.


මහින්ද එවකට ඇමෙරිකානු තානාපති ජෙෆ්රි ලන්ස්ටෙඩ් හමු වී කී කතාවක් පහත දැක්වෙයි. මහින්ද ජවිපෙ සමඟ අස්සන් කළ ගිවිසුම ගැන ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය යොමු වී ඇති බවට අනතුරු හඟවමින් ඇමෙරිකානු තානාපති නඟපු ප්‍රශ්නයකට මහින්ද පහත උත්තරය දී තිබේ.

"ඒ ගිවිසුම වචන කිහිපයක් පමණයි. ඒක සිංහලෙන් ඉංගී්‍රසියට පරිවර්තනය කරද්දී දෝෂ ගණනාවක් වෙලා තියෙනවා. මම ඒ කාලයේ ඉඳලම ජේ.වී.පී. එකට විරුද්ධයි. මම අත්දැකීමෙන් දන්නවා ජේ.වී.පී. එක හැන්ඩ්ල් කරන්නේ කොහොමද කියල. මම ඒ ගොල්ලෝ ඉල්ලන ඒවාට කැමැති වුණේ ඒ අයගේ සහයෝගය අවශ්‍ය නිසයි. මේක ඡන්ද සටනක්. ඔබලා ඒක තේරුම් ගත යුතුයි. මට ඕනා දිනන්න. දිනන්න නම් මට හැම කෙනාගේම සහාය අවශ්‍යයි. ජේවීපී එක්ක අස්සන් කරපු ගිවිසුමේ කොතැනකවත් සාම ගිවිසුමට එරෙහිව වචනයක් නැහැ. මට ඕනා සාමයයි"
 

මේ කේබල් පණිවුඩය අමෙරිකානු තානාපති යවල තියෙන්නෙ 2005 සැප්තැම්බර් 12ය.

එදිනම යවපු තවත් කේබල් පණිවුඩයක මහින්ද ඇමෙරිකානු තානාපතිට මෙසේ කී බව ලියා ඇත.

"මාව විශ්වාස කරන්න. මම පොරොන්දු ඉටු කරන කෙනෙක්. මම ගමකින් ආපු කෙනෙක්. බොහොම අමාරුවෙන් මෙතැනට ආපු කෙනෙක්. සාම ක්‍රියාවලිය මම ඉදිරියටම අරන් යනවා"
 

මහින්ද එලෙස කියන විට තානාපතිවරයා කියා ඇත්තේ ජවිපෙ සමඟ අස්සන් කළ ගිවිසුමෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ ආපස්සට යන බවය. මහින්ද එය ප්‍රතික්ෂේප කළ බව තානාපතිවරයා ලියා ඇත.

"ගිවිසුම ජාත්‍යන්තරකරණය පිළිගෙන තියෙනවා. ප්‍රධාන රාජ්‍ය ආයතන කීපයක් පුද්ගලිකකරණය වැරැදි බව සඳහන් කරල තියෙනවා. එච්චරයි..."

මහින්ද ඇමෙරිකානු තානාපතිට කියා ඇත.
 

"ජවිපෙ රෝල් මොඩ්ල් එක ෆිදෙල් කැස්තේ‍රා්, හියුගෝ චාවේස්, කිම් ජොන්ග් නේද? එවැනි රෝල් මොඩ්ල් එකකින් ලංකාවේ සංවර්ධනයට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්"

තානාපති මහින්දගෙන් අසා ඇත.


"ජේවීපී නායකයෝ දැන් යන්නේ ජපානයට. දැන් ඔවුන් වෙනස් වෙලා. ඔවුන්ගේ මොඩ්ල් එක දැන් ජපානය"

මහින්ද තානාපතිට කියා ඇත්තේ සිනාසෙමිනි.

මේ එම කේබල් පණිවුඩයත් එක්කම තානාපතිවරයා යවපු තුන්වැනි කේබල් පණිවුඩයය.

"ගිවිසුම අස්සන් කළේ නෝර්වීජියානු මැදිහත්කරුවන් ගෙදර යවන්නද?"
 

ඇමෙරිකානු තානාපති මහින්දගෙන් එසේ අසා ඇත.

"නැහැ. වෙන කාටවත් නෝර්වේජියන්ස්ලාගේ ජොබ් එක කරන්න බැහැ"

මහින්ද එහෙම කියා ඇත්තේ තානාපතිවරයාටය.

"එහෙනම් ඇයි ඔබ ඒක ප්‍රසිද්ධියේ නොකියන්නේ"
 

තානාපති මහින්දට එලෙස කියා ඇත.

"මම ඒක කිව්වොත් මම ඡන්දෙන් පරාදයි. දකුණේ ජනතාවගෙන් 98%ක් හිතන්නේ නෝර්වීජියානුවන් එල්ටීටීඊයට පක්ෂපාතීයි කියලයි. මම ඔබට සියයට සියයක්ම සහතික වෙනවා සාම ක්‍රියාවලිය නතර වෙන්නේ නැහැ..."

මහින්දගේ උත්තරය ඒකය.
 

පහත දැක්වෙන්නේ සැප්තැම්බර් 12 වැනි දිනම තානාපති යවපු හතරවැනි කේබල් පණිවුඩයයි.

සාකච්ඡාව ඉදිරියට ඇදෙද්දී ජාතික හෙළ උරුමය සමඟ අස්සන් කළ ගිවිසුම සහ හෙළ උරුමයේ අන්‍යආගමික පනත ගැන තානාපතිවරයා ප්‍රශ්න කර ඇත.

"ඒක තවම පාර්ලිමේන්තුවේ තියෙන්නේ. හැබැයි ඒක ඉවරයි. මම හෙළ උරුමයට කියල තියෙන්නේ ඒක අමතක කරන්න කියල"

මහින්ද කියා ඇත්තේ අත එහාට මෙහාට වනමිනි.

මේ විකිලීක්ස් කේබල්වලින් හෙළිදරව් වන මහින්දගේ චරිතයය.
 

මහින්ද විකිලීක්ස් කේබල්වල තියෙන විදියටම ඇමෙරිකානු තානාපතිට පොරොන්දු වූ ලෙස නෝර්වේ සාම ක්‍රියාවලියෙන් ඉවත් කළේ නැත. මහින්ද සාම සාකච්ඡා යළි ආරම්භ කළේය. සාම සාකච්ඡා මේසයෙන් ප්‍රභාකරන් ඉවත් වූවා මිස මහින්ද ඉවත් වූයේ නැත. මහින්ද සටන් විරාමය අකුරට පිළිපැද්දේය. සාම සාකච්ඡා මේසයෙන් ඉවත් වී ප්‍රභාකරන් දිගින් දිගටම සටන් විරාමය කඩ කරමින් බිම් බෝම්බ පුපුරුවා කැබිතිගොල්ලෑවේ මායිම් ගම්මාන වැසියන් අමු අමුවේ මරා දමා මාවිල්ආරු සොරොව්ව වසා දැම්මාට පසු මහින්දට යුද්ධයට යනවා ඇරෙන්න වෙන විකල්පයක් නොවීය. එහෙම බලනකොට මහින්ද බොරු කරල තියෙන්නේ ඇමෙරිකාවට නොව ජවිපෙට සහ හෙළ උරුමයටය. මහින්ද ජවිපෙ දෙකඩ කොට නන්දනව සහ විමල්ව බා ගත්තේය. හෙළ උරුමයේ හිමිවරු සහ චම්පිකලා අතර ප්‍රශ්නයක් හැදුවේය. ඒ කියන්නේ ගිවිසුම් ගැහුවාට ජවිපෙ සහ හෙළ උරුමයට කරන්න ඕනා දේ මහින්ද කළේය.
 

"එතකොට 13දී මහින්ද රඟපාන චරිතයත් විකිලීක්ස් මහින්දගේ චරිතයමද?"

ඒක නම් හරියටම කියන්න බැරිය. හේතුව 13ට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ නැඟී සිටීමය. මහින්ද චම්පිකලා සහ විමල්ලා කියන දේ ඇහුවේ නැති වුණත් ගෝඨාභය කියන දේ අසන බව පැහැදිලිය. 13ට කොස්ස තියෙන්නේ එතැනය.

කොහොමටත් මහින්දගේ ලේලියටත් තේරුම් ගන්න බැරි මහින්ද කවුද කියල විකිලීක්ස් පමණක් නොව ආණ්ඩුවේ ලීක්ස්වලින්ද තේරුම් ගත හැකිය


එකක් නම් මර්වින් සිල්වාය. ඔහුගේ සගයන් පසුපස ගෝඨාභයගේ හමුදාව සහ පොලිසිය පැන්නුවේය. මහින්ද මර්වින්ව කැපුවා යැයි හැමෝම සිතූහ. කැලණිය ප්‍රාදේශීය සභා ප්‍රශ්නයේදීත් මහින්දගේ සහාය මර්වින්ට ලැබුණේ නැත. මර්වින්ව කැලණිය සංවිධායකකමින් ඉවත් කරනු ලැබීය. හැබැයි මර්වින් තවම ඇමැතිය. මර්වින්ට එරෙහි විනය පරීක්ෂණයත් තවම මෛත්‍රිපාලගේ අතෙහිය.
 

අනෙක ගුරුවරිය දණ ගැස්වූ පළාත් සභා මන්ත්‍රිය. ආණ්ඩුව කිව්වේ මහින්ද ඔහුව ඉවත් කළාය කියාය. ඔහු කියන්නේ තමා ඉල්ලා අස් වූවාය කියාය. දැන් ගුරුවරිය මාරු වෙලා යන්න ඉස්කෝලයක් සොයයි.

හොඳම ලීක්ස් එක විදුලිබලය. මහින්ද විදුලි බිල වැඩි කරන්න අනුමැතිය දුන්නේය. එයට විරෝධය එල්ල වන විට මැයි පළමු වැනි දින විදුලියට සහනයක් දෙන බවට මහින්ද ප්‍රකාශයක් කළේය. පසුව අමාත්‍යංශ ලේකම් කීවේ එවැනි සහනයක් ගැන තමා නොදන්නා බවය. ජනතාව කියන්නේ තමන්ගේ විදුලි බිල වැඩි වී ඇති බවය.
 

මේ මහින්ද රාජපක්ෂය. ඔහු හැම පැත්තටම සෙල්ලම් කරන්න දක්ෂය. හැබැයි 13 සෙල්ලමෙන් නම් හැමෝම එකතු වෙලා ඔහුව අවුට් කරන්න හිතුවොත් මතක් වෙන්නේ ගමේ කියමනක්ය.

"කොට්ටෝරුවා ගහෙන් ගහට කොට කොටා යනවා. කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා."