විදේශ වෙළෙඳාමේ අද සහ හෙට

                                         
        

මේ වසරේ (2013) පළමු මාස හතරට අදාළ ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු පසුගියදා (24දා) ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේය. මේ අනුව අපනයන ආදායම මෙන්ම ආනයන වියදම්ද තවදුරටත් අඩුවී ඇත. අපනයන අඩුවීමේ වේගයට වඩා වැඩි වේගයකින් ආනයන අඩුවීම නිසා වෙළෙඳ හිඟය (ආනයන සහ අපනයන අතර පරතරය) ද අඩු වී තිබේ. මේ අනුව ගිය වසරේ (2012) මුලදී ආනයන වියදම් විශාල ලෙස ඉහළ ගොස්‌ වෙළෙඳ පරතරය පුළුල්වීමෙන් ආර්ථිකයේ විදේශීය අංශයේ ඇතිවූ පීඩනයන් සමනය වෙමින් තිබුණත්, ඒ නිසා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයද මන්දගාමී වී තිබේ. තවමත් ඉහළ මට්‌ටමක පවතින බැංකු ණය පොලී අනුපාතද මීට හේතුවකි. මේ පසුබිම තුළ රටේ විදේශ වෙළෙ¹මේ ක්‍රියාකාරීත්වය සහ ආර්ථික වර්ධනයේ සිදුව ඇති පසුබෑම පිළිබඳව අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

අපනයන වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව හා වැදගත්කම පිළිබඳව නොයෙක්‌වර අප අවධාරණය කර ඇත. අපනයන වර්ධනය කෙසේ වෙතත් පසුගිය කාලය තුළ සිදුව ඇත්තේ අපනයන වෙළෙ¹ම පහත වැටීමයි. ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් ජුනි 24 දින නිකුත් කළ විදේශ වෙළෙඳ ක්‍රියාකාරීත්වයට අදාළ තොරතුරු වලින්ද අපනයන පහත වැටීමේ අහිතකර ප්‍රවණතාව තවදුරටත් පවතින බව පැහැදිලි වෙයි. මෙය අප දැඩි අවධානය යොමු කොට පිළියම් යෙදිය යුතු තත්ත්වයකි. අපනයන වර්ධනය කර ගැනීම සඳහා රජය සහ අදාළ අංශ විසින් නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටියත් ඒවා එතරම් ප්‍රතිඵලදායක වී නැති නිසා මේ ගැන නැවත අවධානය යොමුකර නිසි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බව අපි කියා සිටිමු.

මේ වසරේ (2013) පළමු මාස හතරේදී අපගේ අපනයන ආදායම සියයට 7.8 කින් පහත වැටී තිබේ. ඒ අනුව ගිය වසරේ (2012) පළමු මාස හතරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3317.9 ක්‌ වූ අපනයන ආදායම, මේ වසරේ (2013) මුල් මාස හතරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3059.8 ක්‌ දක්‌වා අඩුවී ඇත. වසරේ පළමු මාස හතර තුළ මුළු අපනයන ආදායම තුළ ඇති කෘෂිකාර්මික අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 752.6 සිට ඇමෙරිකානු ඩොලර් 726.8 දක්‌වා සියයට 3.4 කින්ද කාර්මික අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2537.1 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 2322.9 දක්‌වා සියයට 8.4 කින් සහ ඛනිජමය අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 24.3 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 6 දක්‌වා සියයට 75.5 කින්ද පහත වැටී තිබේ.

අප්‍රේල් මාසයේදී අපනයන ආදායම, ගිය වසරේ (2012) අප්‍රේල් මාසයේදී පැවති ඇමෙරිකානු ඩොලර් මිලියන 747.8 සිට මේ වසරේ (2013) අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 696.6 ක්‌ දක්‌වා සියයට 6.8 කින් පහත වැටී තිබේ. අප්‍රේල් මාසයේදී කෘෂිකාර්මික අපනයන සියයට 0.9 කින්ද, කාර්මික අපනයන සියයට 7.5 කින් සහ ඛනිජමය අපනයන සියයට 80.6 කින්ද පහත වැටී තිබේ. ගෝලීය ඉල්ලුම මන්දගාමී වීම නිසා කෘෂිකාර්මික සහ කාර්මික අපනයන ආදායම් පහත වැටීම නිසා අප්‍රේල් මස අපනයන ආදායම් අඩුවිය. මේ අනුව අප්‍රේල් මාසයේදී ඇඟලුම් අපනයන ආදායම සියයට 14.9 කින් පහත වැටුණු අතර, එය අප්‍රේල් මස අපනයන ආදායමේ මුළු අඩුවීමෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයකි. එසේම අප්‍රේල් මාසයේදී ආහාර පාන වර්ග හා දුම්කොළ අපනයන ආදායම සියයට 27.8 කින් සහ රබර් නිෂ්පාදිත අපනයන ආදායම සියයට 5.3 කින්ද පහත වැටී තිබේ.

මේ අතර ගිය වසරේ (2012) සමස්‌ත අපනයන ආදායම ද සියයට 7.4 කින් අඩුවී තිබේ. ගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායමෙන් සියයට 40 ක්‌ පමණ වූ රෙදිපිළි හා ඇඟලුම් අපනයන, සියයට 4.8 කින් පහත වැටීම මූලික කොටගෙන කාර්මික අපනයන ආදායම සියයට 7.8 කින් පහත වැටීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක්‌ විය. ප්‍රධාන අපනයන අයිතමයන්ගේ මිල ගණන් අඩුවීම සහ සංවර්ධිත ආර්ථිකයන් සහ තත්ත්වයට පත්වීම මන්දගාමීව සිදුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවිය.

මේ වසරේ (2013) පළමු මාස හතරේ දී අපනයන වියදම සියයට 11.3 කින් අඩුවී තිබේ. ඒ අනුව ගිය වසරේ (2012) පළමු මාස හතරේදී ආනයන වියදම ඇ.මෙරිකානු ඩොලර් මිලියන 6789.6 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 6025.4 දක්‌වා පහත වැටුණි. මුළු ආනයන වියදම තුළ ඇති පාරිභෝගික භාණ්‌ඩ ආනයනය සියයට 12.5 කින්ද, අතරමැද භාණ්‌ඩ ආනයනය සියයට 11.7 කින් සහ ආයෝජන භාණ්‌ඩ ආනයනය සියයට 8.9 කින්ද වසරේ පළමු මාස හතරේදී අඩුවිය. එහෙත් පසුගිය මාස දොළහේදී පැවැති ආනයන වියදම අඩුවීමේ නැඹුරුව අප්‍රේල් මාසයේදී වෙනස්‌ වී තිබේ. ඒ අනුව අප්‍රේල් මාසයේදී ආනයන වියදම සියයට 5.7 කින් වර්ධනය වී තිබේ. මේ ගැන මහ බැංකුව මෙසේ කියයි.

"දේශීය ආර්ථික කටයුතුවල ශක්‌තිමත් භාවය පිළිබිඹු කරමින් පාරිභෝගික භාණ්‌ඩ, අන්තර් භාණ්‌ඩ සහ ආයෝජන භාණ්‌ඩ යන සියලුම ප්‍රධාන ආනයන කාණ්‌ඩයන්ගේ ආනයන වියදම පසුගිය වසරේ අනුරූප මාසයට (අප්‍රේල් මාසය) සාපේක්‍ෂව වර්ධනයක්‌ වාර්තා කරන ලදී. මහබැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම, ගෝලීය විදේශ විනිමය වෙළෙඳපොළේ ප්‍රධාන මුදල් වර්ග වලට එරෙහිව රුපියලෙහි අගය ශක්‌තිමත් වීම මෙන්ම ලෝක වෙළෙඳපොළෙහි රත්‍රං සහ අනෙකුත් ලෝහ ආදී වෙළෙඳ භාණ්‌ඩයන්හි මිල අඩුවීම ආනයන ඉහළ නැංවීමට උපකාරී වී ඇත. ඒ අනුව, 2013 අප්‍රේල් මාසයේ දී ඉන්ධන සඳහා වූ ආනයන වියදම අඩු වුවත්, රත්‍රං, තිරිඟු, රසායනික නිෂ්පාදිත සහ යකඩ හා ඇලුමිනියම් ඇතුළු මූල ලෝහ වැනි අන්තර් භාණ්‌ඩ ආනයන වියදම ඉහළ යැම නිසා අන්තර් භාණ්‌ඩ ආනයන වියදම ඉහළ යන ලදී. තවද, ආහාර හා පාන, සඳහා ආනයන වියදම ඉහළ යැම හේතුවෙන් පාරිභෝගික භාණ්‌ඩ ආනයන වියදම ඉහළ ගිය අතර, ඉදිකිරීම් අංශයේ ක්‍රියාකාරකම්වල අඛණ්‌ඩව පවතින සැලකිය යුතු වර්ධනය පිළිබිඹු කරමින් ගොඩනැඟිලි ද්‍රව්‍ය ආනයනයේ සිදුවූ වර්ධනය, ආයෝජන භාණ්‌ඩ ආනයන ඉහළ නැංවීමට බොහෝදුරට හේතුවිය."

අප්‍රේල් මාසයේදී ආනයන වියදම ඉහළ ගියත්, ජනවාරි සිට මාර්තු දක්‌වා ආනයන වියදම සැලකිය යුතු ලෙස පහත වැටුණු නිසා, වසරේ මුල් මාස හතරේ වෙළෙඳ හිඟය (ආනයන සහ අපනයන අතර පරතරය) ගිය වසරේ (2012) මුල්මාස හතරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 3471.7 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 2965.6 දක්‌වා සියයට 14.6 කින් පහත වැටුණි. අප්‍රේල් මාසයේදී වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 692.6 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 825.4 දක්‌වා සියයට 19.2 කින් වර්ධනය විය. අප්‍රේල් මාසයේදී සියයට 6.8 කින් අපනයන ආදායම පහත වැටෙන අතරම, ආනයන වියදම ද සියයට 5.7 කින් ඉහළ යැම මීට හේතුවයි.

මේ තත්ත්වයන් සමනය කර ගැනීම සඳහා අදාළ කාලය තුළ විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයෙන් උපයන ලද ආදායම් ඉහළ යැම හේතු වූයේය. මේ අනුව අප්‍රේල් මාසයේදී ලද විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 549.7 ක්‌ දක්‌වා සියයට 15.7 කින් ඉහළ ගිය අතර, පළමු මාස හතරේ ලද මුළු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2109.3 ක්‌ දක්‌වා සියයට 6.4 කින් වර්ධනය විය. එසේම සංචාරක ව්‍යාපාරයෙන් උපයන ලද ආදායම්ද ගිය වසරේ (2012) මුල් මාස හතරේදී පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 339.8 සිට මේ වසරේ (2013) මුල් මාස හතරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 407.2 දක්‌වා සියයට 19.8 කින් ඉහළ ගොස්‌ තිබේ. අප්‍රේල් මස සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක්‌ දක්‌වා සියයට 22.5 කින් වර්ධනය විය. වසරේ මුල් මාස හතරේ ශ්‍රී ලංකාවට පැමිණි මුළු විදෙස්‌ සංචාරකයන් ප්‍රමාණය 368627 ක්‌ වූ අතර එය පසුගිය වසරේ මුල්මාස හතරට සාපේක්‍ෂව සියයට 11.7 ක වර්ධනයකි.

ආනයන සහ අපනයන වෙළෙ¹මේ ක්‍රියාකාරීත්වය අප මෙසේ සාකච්ඡා කළත් තවමත් රටේ වාර්ෂික ආනයන වියදම වාර්ෂික අපනයන ආදායම මෙන් දෙගුණයකි. මේ තත්ත්වය ගැන පසුගියදා නිකුත් වූ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ, මෙය ආර්ථික ව්‍යqහයෙහි මූලික නොගැලපීමක්‌ බවත්, එහි ප්‍රතිඵලය වන වෙළෙඳ හිඟය රටේ ආර්ථික කළමනාකරණයෙහි ප්‍රධාන අභියෝගයක්‌ බවට ද පත්ව ඇති බවයි. මේ නිසා විශේෂයෙන්ම රට තුළ නිෂ්පාදනය කරගත හැකි එහෙත් තවදුරටත් අප විසින් විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන නිෂ්පාදිත සීමා කර ගැනීම මෙන්ම අපනයන ආදායම වර්ධනය කර ගැනීමට ක්‍රියාකිරීම ද මෙහිදී ප්‍රමුඛ අවශ්‍යතාවකි. සාම්ප්‍රදායික අපනයන වෙළෙඳ පොළ (රටවල්) වෙනුවට අපගේ භාණ්‌ඩ අපනයනය කරන රටවල් විවිධාංගීකරණයට ලක්‌ කිරීම මෙන්ම තෝරා ගත් අපනයන භාණ්‌ඩ කිහිපයක්‌ මත ඇති අහිතකර ර¹ පැවැත්ම වෙනුවට අපනයන භාණ්‌ඩ විවිධාංගීකරණයකට ද පුළුල් වශයෙන් අප යොමු විය යුතුව පවතී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත