'රෝ' එකේ ලොක්කා මහින්දට කී රහස

| උපුල් ජෝශප් ප්‍රනාන්දු

"රෝ" ලොක්කා විනාඩි තිහකට මහින්ද හමු වෙයි..."
මේ මහින්දගේ ඉන්දියානු සංචාරයේ ලොකුම නිවුස් එකය.
මහින්ද ඉන්දියාවට ගියේ නිල සංචාරයකට නොවේ. බුද්ධගයාව සහ තිරුපති කෝවිල වඳින්නටය. මීට පෙර මහින්ද මෙලෙස වන්දනාවේ යද්දී දිල්ලියට ගොස් ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමු විය. ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාවට ඉන්දියාව සහාය පළ කිරීමෙන් පසුත් පසුගිය වසරේ මහින්ද ඉන්දියාවේ වන්දනාවේ ගියේය. ඒ වේලාවෙත් මහින්ද දිල්ලියට ගොස් මන්මෝහන් සිං හමු විය. ඒත් මෙවර මන්මෝහන් සිං හමු වීමට මහින්දට ආරාධනාවක් නොවීය. ඒ වෙනුවට "රෝ" ලොක්කා වන ආලෝක් ජෝෂි පැමිණ මහින්ද හමුවී විනාඩි 30ක් සාකච්ඡා කළ බව වාර්තා විය.

සාමාන්‍යයෙන් ඉන්දීය රෝ රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා විදේශ රාජ්‍ය නායකයන් හමුවන්නේ නැත. කලාතුරකින් එසේ හමු වෙනවා නම් ඒ ඉන්දියාවට මුහුණ පාන්න සිදුවී ඇති ප්‍රශ්නයකට හෝ තර්ජනයකට අදාළ රටක රාජ්‍ය නායකයෙකි.
1988දී එවකට ඉන්දියාවේ "රෝ" ලොක්කා වූ වර්මා පැය 48කට ලංකාවට පැමිණ ජනාධිපති ජේ. ආර්. හමුවූයේ ඉන්දු - ලංකා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ලොකු ප්‍රශ්නයකට ඉන්දියාව මැදිහත් වී සිටි නිසාය.
වර්මා එන බව දැන සිටියේ ජේ. ආර්. සහ මෙරට රහස් ඔත්තු සේවා ප්‍රධානීන් වූ එම්. එම්. ගුණරත්න සහ ෂර්නි විජේසූරියය. වර්මාගේ සංචාරය මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ඩික්සිත්වත් දැන සිටියේ නැත. වෙනකක් තබා ජනාධිපති ලේකම් මැණික්දිවෙලවත් දැන සිටියේ නැත.
වර්මාගේ හමුවට ජේ. ආර්. තරමක් තිගැස්සී සිටි බව වාර්තා වේ. ඔහු වර්මා සමඟ සාකච්ඡා කරද්දී බොහොම පරෙස්සමින් වචන පාවිච්චි කළ බවත් වාර්තා විය. වර්මා පැමිණියේ මදුරාසියේ සිටි එල්. ටී. ටී. ඊ. නායක කිට්ටු හමුවීමෙන් පසුවය. වර්මාගේ රාජකාරිය ඉන්දු - ලංකා ගිවිසුම ක්‍රියාත්මක කොට රජීව් ගාන්ධිගේත්, ඉන්දියාවේත් අරමුණ සාර්ථක කිරීමය. ඉන්දීය විදේශ අමාත්‍යංශය සහ ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ රාජකාරිය හරියට ඉටු නොකරනු බව දැන රජීව් ගාන්ධිගේ උපදෙස් මත වර්මා වැඩේට බැස්සේය. එල්. ටී. ටී. ඊ. සංවිධානය ආයුධ භාර දී ඉන්දු - ලංකා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට එකඟ බවත්, ඒ සඳහා ජේ. ආර්. කාරණා තුනක් පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශ තුනක් කළ යුතු බවත් කීවේය. පළමුවැන්න උතුරු - නැඟෙනහිර පළාත් සභා මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමය. දෙවැන්න අත්අඩංගුවේ පසුවෙන ඉතිරි එල්. ටී. ටී. ඊ. භටයන් 627 නිදහස් කිරීමය. තුන්වැන්න උතුරු - නැඟෙනහිර ඡන්දය 1982 ඡන්ද නාම ලේඛනයට අනුව පැවැත්වීමය. ජේ. ආර්. මේ ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්න එකඟ විය. හැබැයි එල්. ටී. ටී. ඊ.ය එයට පළමුව සියලු ආයුධ භාර දිය යුතු යැයිද එහි වගකීම "රෝ" සංවිධානය භාර ගත යුතු යැයිද කීවේය.


කෙසේ හෝ ජේ. ආර්. සහ වර්මා හමුවේ එකඟතා සාර්ථක නොවීය. ජේ. ආර්. විවිධ හේතු දක්වමින් ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම මඟ ඇරියේය. එල්. ටී. ටී. ඊ.යද විවිධ හේතු දක්වමින් ආයුධ භාර දීම මඟ හැරියේය. මේ දෙපාර්ශ්වයම තමන්ව අන්දවන්න හදන බව තේරුම් ගත් වර්මා උතුරු - නැඟෙනහිර ඉන්දීය හිතවාදී දමිළ ජාතික හමුදාවක් හදන්න යෝජනා කළේය. රජීව් ගාන්ධිද එයට අනුමැතිය දුන්නේය.
අද මහින්ද රාජපක්‍ෂ ඉන්නේ ඉන්දු - ලංකා ගිවිසුමට අනුව ක්‍රියාත්මක වූ පළාත් සභා උතුරේ එලෙසම ක්‍රියාත්මක නොකරන තැනකය. ජේ. ආර්. ට වඩා තද මුරණ්ඩු තැනකය. පළාත් සභා ක්‍රියාත්මක කොට දමිළ ජනතාවට දේශපාලන විසඳුමක් දුන්නේ නැති නම් එය තමිල්නාඩුව සහ ඉන්දීය මධ්‍යම රජය අතර ගැටුමකට පාර කපනවා යැයි මන්මෝහන් සිං, සෝනියා ගාන්ධිගේ සිට එරට විපක්‍ෂ නායිකාවද මහින්දට තේරුම් කර දෙන්න ලොකු උත්සාහයක් ගත්හ. ඒත් මහින්ද තේරුම් ගත්තත් තේරුම් නොගත්තා වාගේ හිටියේය.


ඉන්දියාව "රෝ" ලොක්කාව මහින්ද ළඟට එවන්න ඇත්තේ දේශපාලන භාෂාවෙන් නොතේරෙන දේ වෙන භාෂාවකින් කියලා දෙන්න විය යුතුය.
1988 ඉන්දියාව ජේ. ආර්. ට දැම්මේත් මේ භාෂාවය. දමිළ ජනයාට දේශපාලන විසඳුමක් දෙන්න තිම්පු සාකච්ඡා, අර සාකච්ඡා, මේ සාකච්ඡා තියලා බැරිම තැන "රෝ" භාෂාවෙන් ජේ. ආර්. ට කතා කෙරෙව්වේය.
මේ "රෝ" භාෂාව රටක් තව රටකට කතා කරන රාජ්‍ය තාන්ත්‍රික භාෂාවක් නොවේ.
"ඇයි විසඳුමක් දෙන්නේ නැත්තේ.....?"
මේ මෙපමණ කල් අගමැති මන්මෝහන් සිංගේ සිට විපක්‍ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහින්දට දමපු භාෂාවය.
"විසඳුමක් නොදුන්නොත් වැඩේ වරදියි..."
මේ "රෝ" කතා කරන භාෂාවය.
ඉන්දියාවේ වන්දනාවේ ගිය මහින්ද ලංකාවට ආ පයින්ම යාපනයට දුවලා ගියේ "රෝ" භාෂාවට අන්දුන් කුන්දුන් වෙලාද කියන්න දන්නේ නැත.
"රෝ එක වැඩේට බැස්සොත් ගොඩාක් කරදර වෙයි...."
මේ ඉන්දියාව හිතන හැටි ගැන ලංකාවට උපදෙස් දෙන අය පහුගිය කාලය පුරාම මහින්දට කී කතාවය.
"මතකනේ රෝ එක වැඩේට බැහැලා 1983 - 1988 ජේ. ආර්.ට උගන්වපු පාඩම..."


ඔවුන් මහින්දට මතක් කරන්නේ ඒ පාඩමය.
ඇත්තටම ඉන්දීය ගුවන් හමුදාව යාපනයට ගුවනින් පරිප්පු දමද්දී ලංකාව එම ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කළා නම් "රෝ" එක කරන්න ගිය දේ ජේ. ආර්. දැන ගත්තෙත් පස්සෙය.
"ඒක අහපුවාම ජේ. ආර්.ට හීන්දාඩිය දැම්මා..."
මේ පසු කාලයක ගාමිණී දිසානායක මාධ්‍ය මිත්‍රයකුට කී කතාවක්ය.
ඉන්දීය ගුවන් යානාවලට ලංකාව ප්‍රහාර එල්ල කළා නම් ජනාධිපති ජේ. ආර්. ගේ සිට අගමැති ප්‍රේමදාසගේ, ජාතික ආරක්‍ෂක ඇමැති ඇතුලත්මුදලිගේ, ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථාන ප්‍රධානී නලින් සෙනෙවිරත්නගේ, පොලිස්පති අර්නස්ට් පෙරේරා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිවෙස් වටලා ඔවුන්ව නිවාස අඩස්සියේ තබන්න "රෝ" සංවිධානය සියලු සැලසුම් සකස් කොට තිබිණි.


"ඔවුන් කොයි තරම් තීක්‍ෂණද කියනවා නම් ලලිත් ඇතුලත්මුදලි සමීපව ඇසුරු කළ බර්ගර් ජාතික කාන්තාවකගේ නිවෙස පවා අවශ්‍ය වුවහොත් වටලන්න සූදානම් කොට තිබුණා. හේතුව ලලිත් එම නිවෙසේ සිටීය කියන සැකයෙන්...."
මේ එම්. ආර්. නාරායන් ස්වාමි "රෝ" මෙහෙයුම ගැන හෙළි කොට තිබූ රහසකි. ඒ වගේම කොළඹ සන්නද්ධ බලය ඇති පොලිස් ස්ථාන, හමුදා ස්ථාන ඔවුන් හඳුනාගෙන තිබිණි. ඒ වගේම ඉන්දීය භටයන් රැගත් ගුවන් යානා කොළඹට බස්සවන්න පුළුවන් පිට්ටනි හඳුනාගෙන තිබිණි. ශාන්ත පීතර් විද්‍යාල පිට්ටනිය, හැව්ලොක් පිටිය, ගමනාගමන මණ්ඩල ක්‍රීඩාපිටිය, ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාපිටිය, එස්. එස්. සී. ක්‍රිකට් පිටිය, සී. සී. සී. පිටිය, එන්. සී. සී. පිටිය, ගාලු මුව‍ෙදාර, කැම්බල්පිටිය, ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩාපිටිය, සහිරා විදුහල් ක්‍රීඩාපිටිය, ශාන්ත බෙනඩික්ට් ක්‍රීඩාපිටිය, සුගතදාස ක්‍රීඩාංගණය මේ අතර විය. එසේම ඔවුන්ට සිය මෙහෙයුමෙන් ලංකාවේ ජනතාවට හානියක් නොවන බව දැනුම් දෙන්න ගුවනින් පත්‍රිකා බෙදා හරින්න අවශ්‍ය විය. එහෙත් ඉන්දියාවේ සිංහල මුද්‍රණාල නොවීය. සිංහල මුද්‍රණාලයක් ලන්ඩන්වලින් හොයා ගන්න පුළුවන් දැයි ඔවුන් සොයා බැලීය. එහෙත් සොයාගත නොහැකි වූ තැන අප්‍රසිද්ධියේ ලංකාවේ මුද්‍රණකරුවකුගෙන් සිංහල මුද්‍රණාලයක් මිලට ගෙන ඉන්දීය ගුවන් යානයකින් ඉන්දියාවට ගෙන්වා ගැනීමට ඔවුන් සමත් විය. මෙහෙයුමෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන්ට, ව්‍යාපාරිකයන්ට තර්ජනයක් එල්ල වේය යන සැකයෙන් ඔවුන්ට මෙහෙයුම් දින කොළඹ තරු පහේ හෝටලයකට යන ලෙස උපදෙස් දී තිබිණි.

යාපනයට ගුවනින් ආහාර දැම්මේ මෙහෙයුම එවකට මෙරට ඉන්දීය මහ කොමසාරිස් ඩික්සිත් නම් කර තිබුණේ "මල් මාලා මෙහෙයුම" කියාය.
"ඒක මල් මාලාවක් නොවේ. තොණ්ඩුවක්. ජේ. ආර්. පෙරළා පහර දෙන්න තීරණය කළා නම් ජේ. ආර්. ගේ බෙල්ලටමයි තද වෙන්නේ..."
මේ ඉන්දු - ලංකා සබඳතා විශේෂඥයෙක් කී කතාවකි.
"ඒ කියන්නේ "රෝ" එක මේ දවස්වල මහින්දටත් මල්මාලා ගොතනවාද....?"
කියන්න නම් දන්නේ නැත. හැබැයි "රෝ" ලොක්කා හමුවෙලා ගියාට පස්සේ මහින්ද බෙල්ල අත ගාලා නොබැලුවා නම් පුදුමය.