"ඔළුවට තුවක්කුව තියලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන්න බැහැ"

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් වහාම නිදහස් කරන ලෙසත් උතුරු නැගෙනහිර පළාත් තුළ ක‍්‍රියාත්මක මිලිටරි පාලනය වහාම ඉවත් කර එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහවුරු කරන ලෙසත් ආණ්ඩුවට බල කිරීමේ උද්ඝෝෂණයක් අද (18) පස්වරුවේ කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත් විණි. සම අයිතිය ව්‍යාපාරය විසින් එම උද්ඝෝෂණය සංවිධානය කරනු ලැබීය.

රවීන්ද්‍ර මුදලිගේ මහතා - කැඳවුම්කරු, සම අයිතිය ව්‍යාපාරය

‘‘යුද්ධය අවසන් වෙලා අවුරුදු තුනකට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. නමුත් උතුරු, නැගෙනහිර ජනතාවට මූලික අයිතිවාසිකම් දෙන්න හෝ ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉටු කරන්න ආණ්ඩුව සමත් වෙලා නැහැ. ඒ වෙනුවට ඒ ජනතාව මිලිටරි බලහත්කාරයකට යට කර තිබෙනවා.

යුද්ධය ඉවර වුණාම ආශ්චර්ය ලැබෙයි කියලා බලාපොරොත්තු වුණු දකුණේ ජනතාවට ඒ ආශ්චර්ය ලැබුණේ නෑ. කෝනේෂ්වරී ඝාතනය කරපු වෙලාවේ නිහඬව හිටපු දකුණේ සමාජයට අද කහවත්තේ කාන්තාවන්ගේ එළිපත්තට මරණය ඇවිත් තිබෙන අත්දැකීම විඳින්න වෙලා තිබෙනවා. වව්නියාව බන්ධනාගාරයේදී නිමල රූබන්ලා, ඩෙල්රුක්ෂාන්ලා ඝාතනය කරද්දී නිහඬව හිටි දකුණේ සමාජයට අද මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කරනවා බලන්න සිද්ධ වෙලා තිබෙනවා.

පාලකයින්ගේ ජයග‍්‍රහණයට පමණක් හැමදාම හේතු වුණු ජාතිවාදයට විරුද්ධව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව එක් විය යුතුයි. පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට සැබෑ ජයග‍්‍රහණ දිනා ගන්න පුළුවන් වෙන්නේ එවිට පමණයි.

නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටින යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් වහාම නිදහස් කරන්න, ඒ වගේම උතුර සහ නැගෙනහිර යටත් කර තිබෙන මිලිටරි පාලනය වහාම ඉවත් කරන්න කියා ආණ්ඩුවට බල කරන අතරම අපි කම්කරු, ගොවි, ශිෂ්‍ය, තරුණ, කාන්තා මේ සියලු බලවේගවලට, මානව හිතවාදීන්ට ආරාධනා කරනවා මේ තත්වයට විරුද්ධව පෙළ ගැහෙන්න කියා.’’

එස්. හයිදර් මහතා, ජාතික කමිටු සාමාජික, සම අයිතිය ව්‍යාපාරය
‘‘අද වෙන කොට උතුර නැගෙනහිර ජනතාවගේ ඡායාරූප බලහත්කාරයෙන් ගනිමින් තිබෙනවා. පවුලේ සමූහ ඡායාරූපයක් අරගෙන බිත්තියේ එල්ලන්න කියලා ඔවුන්ට බල කරලා තිබෙනවා. මේක ඉතාම වැරදියි. ඔළුවට තුවක්කුව තියලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන්න බැහැ. ඒ නිසා උතුරේත් නැගෙනහිරත් ක‍්‍රියාත්මක කරන මිලිටරිකරණය වහාම නතර කරල යුතුයි. අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් වහාම නිදහස් කරන්න, ඔවුන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.’’

නිර්මාල් රංජිත් දේවසිරි මහතා, සභාපති, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය
‘‘පොදුවේ යාපනයේත් විශේෂයෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේත් තිබෙන්නේ ඉතාම කණගාටුදායක තත්වයක්. අත්අඩංගුවට ගත් සිසුන් නිදහස් කරන්න කියලා යාපනය උපකුලපතිනිය ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණාම ඔහු කියලා තිබුණා ඒ සිසුන් පුනරුත්ථාපනය කරන්න  ඕන කියලා. ඇත්තටම පුනරුත්ථාපනය කරන්න  ඕන ගෝඨාභය රාජපක්ෂ මහතා. ප‍්‍රජාතාන්ත‍්‍රීය වාතාවරණයක් තුළ කොහොමද කටයුතු කරන්න  ඕන කියලා ඔහු දන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ කැරලිවලදී මිය ගිය අය උත්සවකාරීව දකුණේදී සමරනවා. ඊට විරුද්ධ අයවත් ඒක නතර කරන්න කියලා කියන්නේ නැහැ. රාජ්‍ය විරෝධී වුණත් උතුරේ මිය ගිය අය සමරන්න ඔවුන්ගේ ඥාතීන්ට අයිතියක් තිබෙනවා. ආණ්ඩුව මේ භයානක ක‍්‍රීඩාව වහාම නතර කළ යුතුයි. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මට ඉතාම හානිකර තත්වයක් මේ උද්ගත වෙමින් තිබෙන්නේ.’’