"රටේ යහපාලනයට අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍යයයි. එම නිසා අධිකරණ තීන්දුව මා පිළිගන්නවා...." හමුදා කුමන්ත්‍රණයකින් බලයට ඇවිත් පසුව මැතිවරණවලින් ජනතාව දිනා ගත් එවකට දකුණු ආසියාවේ බලවත්ම සහ ශක්තිමත්ම පාලකයා වූ පාකිස්තානයේ හිටපු ජනාධිපති මුෂාරෆ් අගවිනිසුරුවරයා ඉවත් කිරීමට ගත් තීරණය නීති විරෝධී යැයි ශේර්ෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිගනිමින් කීවේ එහෙමය. අද ලංකාවේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කරන්න පත් කළ තේරීම්කාරක සභාව පිළිබඳ ශේර්ෂ්ඨාධිකරණ තීන්දුව දීමටත් පෙර අද දකුණු ආසියාවේ බලවත්ම සහ ශක්තිමත්ම පාලකයා වන මහින්ද රාජපක්‍ෂ තේරීම් කාරක සභාවේ තීන්දුව විමර්ශනය කරන්න ස්වාධීන කමිටුවක් පත් කරන බව කියා ඇත. 'ඔහු නොකියා කියන්නේ තේරීම් කාරක සභාව ස්වාධීන නැහැ කියාද.....?' මහින්දගේ කතාව විග්‍රහ කර බලන කොට නම් තේරෙන්නේ ඒකය. මුෂාරෆ් නම් ශේර්ෂ්ඨාධිකරණ තීන්දුවට පසු අගවිනිසුරුවරයා ඉවත් කරන්න ගත් තීරණය අගමැතිගේ උපදෙස් මත ගත්තා යැයි කියා අගමැතිව බිල්ලට දුන්නේය. මහින්ද ස්වාධීන නැතැයි නොකියා කියන තේරීම් කාරක සභාව පත් කළේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන කතානායක චමල් රාජපක්‍ෂය. දෝෂාභියෝගයේ නිර්මාතෘ ඔහුගේ බාල සහෝදරයා වන බැසිල් රාජපක්‍ෂය. අනෙක මහින්ද පසුගිය කාලයේ දෝෂාභියෝගය ගැන කී කතා බලන විට අද මහින්ද කියන කතාව අදහගන්නත් බැරිය. මේ ඔහු කී එවැනි කතා කිහිපයකි. 'අපි නඩුකාරයන්ට කියන්නේ හාමුදුරුවෝ කියල. අපට වඩා වගකීමෙන් තමන්ගේ තත්ත්වය ආරක්‍ෂා කරගන්න ඒ ආයතනවල වගකීම් දරන අය දැන ගන්න ඕනා. එහෙම නැතුව ඒ අය ලාභ ප්‍රයෝජන තකා තමන්ගේ තත්ත්වය විනාශ කරන්න කටයුතු කරනවා නම් ප්‍රශ්න ඇති වෙනවා......' මහින්ද රාජපක්‍ෂ මව්බිම 03.12.2012 බරපතළ දූෂණ අපරාධ කළ අයට එරෙහිව ව්‍යවස්ථාව අනුව කටයුතු කෙරෙන විට මා ද්‍රෝහියකු ඒකාධිපතියකු වන්නේ කෙසේද....?' මහින්ද රාජපක්‍ෂ ලංකාදීප 08.12.2012 'මට විරුද්ධවත් දෝෂාභියෝග ගෙන එන්න පුළුවන්. මම කටයුතු කරන්නේ ව්‍යවස්ථාවට අනුවයි.....' මහින්ද රාජපක්‍ෂ ලංකාදීප 11.12.2012 'මෙහෙම කතා කළ මහින්ද අද ඇයි මේ විදිහට කතා කරන්නේ......?' සමහරු කියන්නේ ජාත්‍යන්තර බලපෑම් නිසා යැයි කියාය. තවත් සමහරු කියන්නේ ශේර්ෂ්ඨාධිකරණය පාකිස්තානයේ වගේ තීන්දුවක් දෙයි කියන බයට යැයි කියාය. කොහොම වුණත් ආණ්ඩුව අඩියක් පස්සට ගත් පළමු අවස්ථාව මෙය නොවේ. විශ්වවිද්‍යාල අර්බුදයේදීද ආණ්ඩුව අඩියක් පස්සට ගත්තේය. විශ්වවිද්‍යාල ආචාර්යවරු සටන අත්හැරියේ සටන දින්නා කියා හිතාගෙනය. ඒත් තවමත් ඉල්ලපු ඉල්ලීම් ලැබිලා නැත. 'මේකක් ඒ වගේ ජිල්මාට් එකක්ද.....' ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි තේරීම් කාරක සභාවේදී මහින්දව පිනවන්න ආණ්ඩුවේ රෙදි අපුල්ලපු අයව නම් මහින්ද නිර්වස්ත්‍ර කොට ඇත. මොවුන්ගෙන් සමහරු තේරීම් කාරක සභාවේ හැසිරුණේ වඳුරාට දැලි පිහිය ලැබුණා වගේය. හැබැයි බණ්ඩාරනායක මැතිනිය ඇගේ ප්‍රජා අයිතිය අහිමි කරන වේලාවේ කීවා වගේ පිහියෙ දෙපැත්තක් තියෙන බවත්, එය අනෙක් පැත්තටත් කැපෙන බවත් ඔවුන් දැන සිටියේ නැත. 'ඔන්න සර් අපි වැඩේ කළා. අගවිනිසුරුවරිය මාසෙන් ඉවරයි.....' මෙහෙම කියල ජය පැන් බිව්ව තේරීම් කාරක සභාවේ කට්ටිය මනමේ බිසව රජුට කඩුව අනෙක් පැත්තට දුන්නා වගේ තමන් අතට කඩුව දීලා තියෙන්නෙත් අනෙක් පැත්තට බව තේරුම් ගෙන සිටියේ නැත. අඩුම තරමේ දෝෂාභියෝගයට අස්සන් කරපු මන්ත්‍රිවරු 117ක් වත් ඒ ටික දැන සිටියාද දන්නේ නැත. හෙට මහින්ද 13 ප්ලස් දෙන්න තීරණය කොට විමල් වීරවංශට මහින්ද එක්ක හැප්පෙන්න සිදුවී ආණ්ඩුව වත්මන් අගවිනිසුරුවරිය පසුපස මෙන් විමල් පසුපස පැන්නුවොත් විමල්ට පිහිට පතා යන්න තියෙන එකම දෙවොල අධිකරණයය. මේ ටික නොදැන කඩුව අනෙක් පැත්තට ගෙන සෙල්ලම් කරලා දැන් කට්ටිය ඉන්නේ සල්ලම් වෙලාය.නමුත් ශේර්ෂ්ඨාධිකරණය නීතියේ යුවතිය අත ඇති කඩුවේ මුවහත දැන අභීතව කොන්ද කෙළින් තියා ගත්හ. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කරන තේරීම් කාරක සභාවට එරෙහි පෙත්සම් විභාග කරන්න ශේර්ෂ්ඨාධිකරණය තීරණය කළේ ඒ නිසාය. මේ ආණ්ඩුව අගවිනිසුරුවරියට එරෙහිව කඩිමුඩියේ චෝදනා ගොනු කොට දෝෂාභියෝගය ගෙනාවේ එයට බයේ අගවිනිසුරුවරිය ගෙදර යයි කියල හිතාගෙනය. මේ ආණ්ඩුව මාසයක් ඇතුළත චෝදනා විභාග කොට අවසන් කළේ චෝදනා විභාග කොට අවසන් කිරීමෙන් පසු අධිකරණය එයට මැදිහත් නොවනු ඇතිය කියාය. 'ඇත්තටම අධිකරණයට මෙයට මැදිහත් විය නොහැකිද.....?' ආණ්ඩුව හිතන්නේ එහෙමය. හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත්වී පසුව මහජන ඡන්දයෙන් ආණ්ඩුවක් පිහිටුවා ජනප්‍රිය වුණ පාකිස්තානයේ හිටපු ජනාධිපති මුෂාරෆ් හමුදා ජෙනරාල්වරුන්ගේද සහාය ඇතිව එරට අගවිනිසුරු චෞද්රීව ඉවත් කොට වැඩබලන අගවිනිසුරුවරයෙක්ද පත් කළේය. ඔහු වැඩ බලන අගවිනිසුරුවරයෙක් පත් කළේ චෞද්රීට පසු අගවිනිසුරු ධුරයට පත් වීමට නියමිතව සිටි ජේයෂ්ඨ විනිසුරුවා රටින් බැහැරව සිටි නිසාය. මුෂාරෆ් චෞද්රීට එරෙහි චෝදනා විභාග කරන්න යොමු කළේ වැඩ බලන අගවිනිසුරුගේ සභාපතිත්වයෙන් යුත් ශේර්ෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගෙන් සමන්විත මණ්ඩලයකටය. එය හැඳින්වූයේ සුප්‍රීම් ජූඩීෂියල් කවුන්සිලය කියාය. චෞද්රී එයට එරෙහිව ශේර්ෂ්ඨාධිකරණයට ගිය විට මුෂාරෆ්ගේ ආණ්ඩුව කීවේ අගවිනිසුරු ඉවත් කිරීමේ තීරණය ගැන නඩු අහන්න ශේර්ෂ්ඨාධිකරණයට නෛතික බලයක් නැත කියාය. ආණ්ඩුවේ තර්කය වූයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ සඳහා බලය ඇත්තේ සුප්‍රීම් ජුඩීෂියල් කවුන්සිලයට යැයි කියාය. ශේර්ෂ්ඨාධිකරණය කීවේ තමන්ට ඒ නඩුව අහන්න නෛතික බලයක් තියෙනවාය කියාය. එවිට මුෂාරෆ්ගේ ආණ්ඩුව කිව්වේ තමන් ශේර්ෂ්ඨාධිකරණ තීරණයට අභියෝග නොකරන බවත් සුප්‍රීම් ජුඩීෂියල් කවුන්සිලය ශේර්ෂ්ඨාධිකරණය යන දෙකෙහිම චෞද්රීට එරෙහි චෝදනා විභාග කළ හැකි බවත්ය. ශේර්ෂ්ඨාධිකරණය චෞද්රීට එරෙහි චෝදනා විභාග කොට එම චෝදනා ඔප්පු කළ නොහැකි යැයි තීන්දු කොට චෞද්රීව අගවිනිසුරු ධුරයට යළි පත් කරන ලෙස නියෝග කළේය. මුෂාරෆ් ඉදිරියේ දිවුරුම් දුන් වැඩ බලන අගවිනිසුරුවරයා බල රහිත වූයේ එසේය. මුෂාරෆ් ශේර්ෂ්ඨාධිකරණය චෞද්රීගේ නඩුව අසන කාලය තුළ අගවිනිසුරු ධුරය අහිමිව රට වටා ගිය චෞද්රීව ඝාතනය කරන්න දෙවරක්ම උත්සාහ කළත් බැරි විය. එක් වරක් චෞද්රී ගිය රැස්වීමකට මුෂාරෆ්ගේ හමුදාව මිනිස් බෝම්බයක් අටවනු ලැබුවේ ඉස්ලාම් අන්තවාදීන් අතින් චෞද්රී ඝාතනය වූ බව පෙන්වන්නටය. හේතුව චෞද්රීගේ ගම පාකිස්තානයේ වෙනම පාලනයක් ඉල්ලන බලුකිස්තානයය. චෞද්රීගේ ජීවිතය එදා බේරුනේ අනූනවයෙන්ය. චෞද්රීට එරෙහිව එදා මුෂාරෆ්ගේ ආණ්ඩුව නඟපු චෝදනා රාශියකි. නීති විරෝධී ලෙස ආණ්ඩුව රජයේ සේවකයන්ට දෙන ඉඩම් ලබා ගැනීම, චෞද්රීගේ පුතාගේ වාහනයට නීති විරෝධී ලෙස ඉන්ධන ලබා ගැනීම, චෞද්රීගේ හා පවුලේ අයට රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම, ලක්‍ෂ ගණන් මුදල් ගෙවීම පැහැර හැරීම, අධිකරණය තුළ විනය විරෝධී ලෙස හැසිරීම එම චෝදනා අතර විය. ශේර්ෂ්ඨාධිකරණය මේ චෝදනා සියල්ල නිෂ්ප්‍රභ කළේය. එරට ශේර්ෂ්ඨාධිකරණය මේ මුෂාරෆ්ගේ යකඩ සපත්තුවේ බය නැති කරන්න බය නැති තීන්දුවක් දුන්නේ එහෙමය. ලංකාවේ ශේර්ෂ්ඨාධිකරණය තේරීම්කාරක සභාවට එරෙහි පෙත්සම් විභාග කරන්න බලයක් ඇතැයි කියා දුන්න තීන්දුවද එවැනි අභීත සිංහ තීන්දුවකි. "තේරීම් කාරක සභාවට එරෙහි පෙත්සම් විභාග කරන තුරු තේරීම්කාරක සභා වාර්තාව ඡන්දයට ගැනීම වළක්වන තීන්දුවක් අධිකරණය දුන්නොත් කොහොමද....." හමුදා ඇඳුමින් රට පාලනය කරපු මුෂාරෆ් එරට ශේර්ෂ්ඨාධිකරණ තීන්දුවට බයේ අකුළා ගත්තා නම් මේ ආණ්ඩුවටත් වෙන්නේ අකුළා ගන්නටය. ආණ්ඩුව එය දනී. තේරීම් කාරක සභාවට එරෙහි අධිකරණ නියෝග පිළිපදින්නේ නැතැයි කියා තේරීම් කාරක සභාව මාසයෙන් ඉවර කර ගත්තේ අධිකරණය බය කරලා තේරීම් කාරක සභාවට එරෙහිව තීන්දු නොදෙන තැනකට අධිකරණය තල්ලු කර ගන්නටය. තේරීම් කාරක සභාව අවසන් වන තුරු වැඩ බලන අගවිනිසුරුවරයෙක් පත් කළ හැකි යැයි කී නීති උපදෙස් ආණ්ඩුව පිළිනොගන්නේ අධිකරණය ඊට එරෙහිව තීන්දුවක් දෙයි කියන බයටය. චෝදනා ටිකක් එකතු කරගෙන දෝෂාභියෝගයක් ගෙනැත් ආණ්ඩුව බැලුවේ අගවිනිසුරුවරිය බය කරවලා ගෙදර යවා ගන්නටය. අගවිනිසුරුවරිය තමන් තුළ ඇති කරන්න යන බය අධිකරණය තුළම ඇති වී අධිකරණයේ නිදහස අහිමි වේය යන බියෙන් ඒ බයට බය නොවී අගවිනිසුරු ධුරයෙන් ඉවත් නොවී ආණ්ඩුව තුළ බය ඇති කෙරෙව්වාය. අගවිනිසුරුවරිය මුලින්ම ආණ්ඩුවේ බලපෑමට යට වූවා නම් ඇය තව වසර ගාණකටම අගවිනිසුරුවරියය. ඇය දෝෂාභියෝගය ගෙන ආ පසු ආණ්ඩුවේ යෝජනාවලට එකඟවී ඉවත් වූයේ නම් ඇය විදේශ රටක තානාපතිවරියකි. ඇයට හෝ සැමියාට එරෙහි නඩුහබද නැත. ඒත් ඇය ආණ්ඩුවේ බයට හා බලපෑම්වලට යට නොවූයේ තමාටත් වඩා අධිකරණයේ නිදහස ගැන හිතලාය. හේතුව බයට හෝ බලපෑම්වලට යට වූවා නම් අධිකරණයේ නිදහස අහෝසි වන්නේ එදාය. අනෙක ඇය නීතිය පිළිබඳ මහාචාර්යවරියකි. අගවිනිසුරු ධුරය අහිමි වුවත් ඇයට ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක මෙයට වඩා දස දහස් ගුණයක් වැඩි වැටුපකට රැකියාවකට යා හැකිය. ජාත්‍යන්තර අධිකරණයක විනිසුරුවරියක් විය හැකිය. ඒත් ඇය සටන් කරන්නේ අධිකරණය තුළට එන්නත් කරන්න එන බය නැති කර දමන්නටය. ඇය එහිදී ඇගේ වගකීම සහ යුතුකම අකුරට ඉටු කර ඇත. දැන් තීන්දුව තියෙන්නේ අධිකරණය අතෙහිය. අද අධිකරණය ඉදිරියේ තියෙන්නේ ආණ්ඩුවේ බයට යටවී ඒ බය අධිකරණ හෝ සමස්ත සමාජයේ ව්‍යාප්ත කරනවාද නැතිනම් අධිකරණයට යළි ඇඟිලි නොගසන්න ආණ්ඩුව තුළ බය ඇති කොට අධිකරණයත් සමස්ත සමාජයත් බයෙන් නිදහස් කර ගන්නවාද කියන එකය. මේ වේලාවේ මතකයට නැඟෙන්නේ සුද්දාගේ යකඩ සපත්තුවට පෑගී සිටි ජාතියට කෙළින් හිටින්න කොන්දට පත්තුව වූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිගේ මෙම කවියය. මොන කරුමයද තව ඇහැරුණු බවක් නැහැ තැන තැන බියව මුලු වැදුමෙන් පලක් නැහැ දිනුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ උපුල් ජෝශප් ප්‍රනාන්දු |
Home RuleofLaw එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ
එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ
By Sri Lanka Guardian • December 14, 2012 • Politics RuleofLaw • Comments : 0