ගං කබරයන්ගේ පාර්ලිමේන්තු ආගමනය



අමිල ගුණරත්න

දේශපාලන වශයෙන් මොන මොන වැරදි තීන්දු ගත්තත් ජේ ආර් පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකීමට ක්‍රියා කළේය. රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය නීති අධ්‍යාපනය ඒ සඳහා ඔහුට බලපාන්නට ඇත. කාණුවෙන් පැමිණියත් ප්‍රේමදාස සුදුස්සාට සුදුසු තැන දුන්නේය. හෙරක් සහ විස්කි මත නිසා සෑම රාජකාරියක්ම පමාවී ආරම්භ කල චන්ද්‍රිකා පාර්ලිමේන්තුව පීචන් කලේ නැත. රොස්මිඩ් පෙදෙසේ සංස්කෘතිය නිසා යම් පමණකට හෝ චන්ද්‍රිකා සමයේ පාර්ලිමේන්තුවේ ඔක්ස්ෆර්ඩ් උගත් ලක්ෂ්මන් කදිරාගමලාට තැනක් දී තිබුණි. නමුත් රාජපක්ෂලා මේ සම්ප්‍රදායන් විනාශ කොට දකුණු පළාතේ නුගත් කිසිම විනයක් සදාචාරයක් නොමැති ගං කබරයන්ට පාර්ලිමේන්තු ආගමනයට ඉඩ සලසා දුන්නේය. මෑතකදී හම්බන්තොට, වීරකැටිය ප‍්‍රදේශයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි වී. කේ. ඉන්දික නමැති ගං කබරයා ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය එකමුතුව මගින් සංවිධානය කරන ලද උත්සවයකදී ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා විසින් “ලංකාවේ එහෙම වෙන්නේ ඇයි” ගීතය ගායනා කිරීමෙන් පසු විසින් ජනාධිපතිවරයාට අපහාස වන පරිදි ප්‍රසිද්ධ වේදිකාවක ගීතයක් ගායනා කළ බව පවසමින් ගායන ශිල්පී සුනිල් පෙරේරාට පහර දීමට තැත් කොට තිබේ. මේ සිදුවීම පිළිබඳව ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මෙම මහජන නියෝජිතයා දී තිබුනේ මෙවැනි පිළිතුරකි. ‘‘මම ගැහුවානම් අද සුනිල් පෙරේරා කියල කෙනෙක් නෑ. ඌ සමාව ගත්ත නිසා මම වැඬේ අතෑරල දැම්මා. රාජපක්ෂවරු ඉස්සරහ සුනිල්ට ඒ සින්දුව කියන්න පුලූවන් ඇති. ඒත් මං ඉස්සරහා රාජපක්ෂවරුන්ට අපහාස කරන්න බෑ. ඔය යකා ඔය සින්දුවම කියලා ඔයිට කලිනුත් ගුටිකාලා තියෙනවා... ’’ (මෙහෙම වෙන්නෙ ඇයි? - ශාන්ත බණ්ඩාර, 2012.11.18 ඉරිදා මව්බිම) 

 එංගලන්තයේ , ඕස්ට්‍රේලියාවේ ,ඇමරිකාවේ ,කැනඩාවේ මහජන නියෝජිතයෙකු මෙවැනි සිදුවීමකට පටලැවී මාධ්‍ය හමුවේ මෙවැනි පිළිතුරක් දුන්නේ නම් සිදුවන්නේ කුමක්ද යන්න ඒ රටවල ජිවත් වන ලාංකිකයන් හොඳාකාරව දනිති. නමුත් විනයක් සංස්කෘතියක් , සදාචාරයක් නොමැති ශ්‍රී ලංකාව වැනි පසුගාමී ගෝත්‍රික රටක මහජන නියෝජිතයෙකුගෙන් මිට වඩා විනයක් සංයමයක් බලාපොරොත්තු විය හැකිද? මෙවැනි ගං කබරයන්ට යලි යලිත් කතිරය ගසා පාර්ලිමේන්තුවට යැවීමට මේ ගෝත්‍රික රටේ නූගත් චන්දදායකයන් ක්‍රියා කරනු ඇත. එය වැළකීමට ඔබට හෝ මට නොහැකිය. ඒ මන්ද යත් අප ජිවත් වන්නේ පසුගාමී අසංස්කෘතික ගෝත්‍රික රටක බැවිනි. මේ රටට අවශ්‍ය ගුවන් පාලම් , වරායන් , අධිවේගී මාර්ග නොව සංස්කෘතිය පිළබඳ මුලික දැනුමය. එම දැනුම විනය මේ රටට ගලා එන තෙක් ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව වැනි රටවල කාලකන්නි ජනතාව මෙන් මේ රටේ ජනතාවද දිස් වනු ඇත. -->