ගාලු මුහුදේ පාවෙන අවි ගබඩාවක්!

(LANKA NEWS WEB ) ගාලු වරාය ආශ්‍රිත ගාලු මුහුදේ පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කිරීමට පෞද්ගලික ආරක්ෂක සමාගමක් කටයුතු කරමින් සිටින බව නාවික හමුදා මූලස්ථානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සැලකර සිටී. 

Avern Guard Off shore Services (Pvt.) Ltd පෞද්ගලික ආරක්ෂක සමාගම මෙම පාවෙන අවි ගබඩාව ස්ථාපිත කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ඉල්ලා ඇත. මෙම සමාගමේ හිමිකරු වන්නේ විශ්‍රාමික යුධ හමුදා මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ය. එජාප ආණ්ඩුව පැවති සමයේ එකී මැති ඇමතිවරුන්ට සමීප වෙමින් රාජ්‍ය ආයතනවල ආරක්ෂක කටයුතුවලට අදාල කොන්ත්‍රාත් ලබා ගනිමින් සේනාධිපති මහතා එවක සමහර මැති ඇමතිවරුන්ගේ උපදෙස් මත සරසවි ශිෂ්‍යයන්ට පහර දීම සඳහා තමා යටතේ සිටින ආරක්ෂක සේවකයන් යොදවා ගනු ලැබීය.

අනතුරුව පොදු පෙරමුණු රජය බලයට පත්වූ පසු හිටපු ජනාධිපතිනියගේ පෞද්ගලික ආරක්ෂකයාව සිටි පොලිස් අධිකාරී නිහාල් කරුණාරත්න මහතා සමග එක්ව රජයේ ආයතන රාශියක ආරක්ෂක කොන්ත්‍රාත්තු ලබා ගත්තේය. මොහු හිටි හැටියේ ප්‍රකෝටිපතියෙකු බවට පත් වූයේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හදුනා ගැනීමත් සමග ය.

ගාලු මුහුදේ පාවෙන අවි ගබඩාවත් ඉදි කිරීමට මොහු විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති වාර්තාව පිළිබඳව අප වෙත අදහස් දැක්වූ නාවික හමුදාවේ ජේෂ්ඨ නිලධාරියෙකු එම කාරණයට අදාලව කරුණු රාශියක් අප වෙත හෙලිදරව් කලේය. ඔහු සඳහන් කළ පරිදි මෙම ව්‍යාපෘති වාර්තාව සදහා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලැබුන හොත් නාවික හමුදාවට සහ ගාල්ලේ දහස් ගණනක් ජනතාවට ලැබෙමින් පවතින ආදායම් මාර්ග එක් සමාගමක් යටතට පත් වේ.

ගාලු වරාය ආශ්‍රිත මුහුදේ දිනකට නැව් දහස් ගණනක් ගමන් කරනු ලබති. දකුණු ආසියානු කළාපයේ සිට එසේ ගමන් කරන නැව් වලට පසුගිය කාලය පුරාම  සෝමාලියාවේ නැව් මංකොල්ලකරුවන්ගෙන් තර්ජන එල්ල වී තිබිණ. එකී නැව් කොල්ලකරුවන්ගේ අභියෝගයට මුහුණ දීම සඳහා මෙම කළාපයෙන් ගමන් කරන නැව් වලට ආරක්ෂාව සැපයීමට ජාත්‍යන්තර පෞද්ගලික ආරක්ෂක සේවා ඉදිරිපත් වූ අතර ඔවුන් තම සේවා කටයුතු සඳහා  ශ්‍රී ලංකාව යොදා ගනු ලැබීය. ඒ අනුව නැව් වලට ආරක්ෂාව සැපයූ ජාත්‍යන්තර සමාගම් 35 ක් පමණ ගාල්ල වරාය ආශ්‍රිතව තම කාර්යාල ස්ථාපිත කරනු ලැබූ අතර ඔවුන්ට අවශ්‍ය අවි ආයුධ සැපයීම හා ගබඩා කිරීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවෙනි.

ඒ වෙනුවෙන් පමණක් පසුගිය වසරේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව ඇමරිකානු ඩොලර් මිලියන 12 ක ආදායමක් ලබා ඇත. එපමණක් නොව එම සමාගම්වල සේවා කටයුතු සඳහා විශාල පිරිසක් ගාල්ලට පැමිණ ඇති අතර ඔවුන් ඒ අවට හෝටල් තුල හා නිවෙස් තුල නවාතැන් ගෙන සිටී. මේ අතර එම විදෙස් ආරක්ෂක සමාගම් නැව් මගින් 15,000 ක් මගීන් සංචාරකයින් වශයෙන් පසුගිය වසරේ දී ගාල්ලට කැඳවා ගෙන විත් තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ගාලු නගරයේ හෝටල් කඩකාමර හා වෙනත් සේවා සපයන්නන් දහස් ගණනක් තම ජීවිකාව ගෙන යති. අප වෙත තොරතුරු ලබාදුන් නාවික හමුදා නිලධාරියා ‍වැඩි දුරටත් පවසා සිටියේ මේ වන විට එවැනි විදෙස් ආරක්ෂක සමාගම් 55 ක් පමණ ගාලු නගරයේ ස්ථාන ගත වී ඇති බවයි. එබැවින් මේ වසරේ පසුගිය වසරට වඩා දෙගුණයකට වැඩි ආදායමක් නාවික හමුදාවට ලැබෙතැයි ගණන් බලා තිබේ.

එසේ නාවික හමුදාවට අති විශාල අමතර ආදායමක් ද ගාලු ප්‍රදේශයේ දහස් ගණනකට ජීවනෝපාය ද සැකසෙමින් තිබිය දී එකී සියලු ආදායම් තමන් සන්තකයට ගැනීම සඳහා  ‘පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය’ ට අදාල ව්‍යාපෘති වාර්තාව නිශ්ශංක සේනාධිපති මහතා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.
Avern Guard Off shore Services (Pvt.) Ltd හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස හෙට (26) දින නාවික හමුදාවේ විශ්‍රාම ගනු ලබන අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා රුපියල් දශ ලක්ෂයක මාසික වැටුපකට බඳවා ගන්නා බවට සේනාධිපති මහතා විසින් දැනටමත් දැනුම් දී ඇත.

මෙම පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය සදහා රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇතැයි වාර්තා වීමත් සමග ගාල්ලේ ස්ථානගතව සිටි ජාත්‍යන්තර ආරක්ෂක සමාගම් කිහිපයක්ම මේ වන විට තම කාර්යාල මාල දිවයිනට හා බංග්ලාදේශයට ගෙන ගොස් ඇතැයි වාර්තා වේ.