"ගංජා හරි කුඩු හරි දාලා මුව යවමු."- තෙබුවන පොලිසිය.

 
 
හර්ෂි සි. පෙරේරා
 
රත්නායක මුදියන්සේලාගේ අසිරි රුක්ෂාන් විජේරත්න 24 හැවිරිදි විවාහක එක් දරු පියෙකි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදේශක කම්කරුවෙකු ලෙස සේවය කරයි. ඔහු එස් අනුරාදා සෙවුවන්දි බාරේ, කෙත්හේන, තෙබුවන පදිංචිව සිටි.
 
2012.08.27 දින ඔහු සහ ඔහුගේ පියා අතර තෙබුවන හන්දියේදී බහින්බස්වීමක් හටගෙන තිබේ. එවිට පසුව පොලිස් නිලදාරීන් බව දැන ගත් සිවිල් ඇදුමින් සිටි නිලදාරීන් එතනට පැමිණ අසිරිට පහරදී ඔහුව පොලිසියට ගෙන යන්නයි අසල කඩයක නිල ඇදුමින් සිටි පොලිස් නිලදාරියකුට පවසා ඇත. එම නිලදාරියා අසිරිගේ කමිස කොලරයෙන් ඇද ගෙන පයින්ම ඔහුව තෙබුවන පොලිසියට ගෙන ගොස් තිබේ.
 
පොලිසියේදී ඔහුට බිම දනගහන්නයයි පවසා පොලිස්නිලදාරින් කිහිපදෙනෙකු ඔහුට අතින් පයින් පහර දී තිබේ. මෙසේ විනාඩි 5-10 ත් අතර කාලයක් ඔහුට පහරදී පසුව කුඩුවට දමා තිබේ. ඔහුගේ බිරිදට ඔහුව බැලීමට ඉඩ දී නැත. ඔහුට මෙසේ පහරදී ඇත්තේ තෙබුවන පොලිසියේ සැරයන් චන්ද්‍රලාල් පොලිස් පරීක්ෂක රත්නපාල, අසේල වන අතර පොලිසියට ඔහුව රැගෙන ආ නිලදාරියා මනුර බවත් ඔහු පසුව දැන ගෙන තිබේ.
 
ඔහු කුඩුවේ ඉතා වේදනාවෙන් සිටියදී ඔහුට ගහපු නිලදාරීන් "ගංජා හරි කුඩු හරි දාලා මුව යවමු" කියනු ඔහුට ඇසි ඇත. 2012.08.28 දින ඔහුව කන්දකඩුව ග්‍රාමීය රෝහලට රැගෙන ගොස් තිබේ. ඔහුව ගෙන යන අතරතුර පොලිස් නිලදාරීන් "මේක නඩු යන්න ඕන නැහැ මහත්තයත් එක්ක කතා කරලා ගොඩින් බේර ගමු නඩු දන්නේ නැහැ" යනුවෙන් කියා ඇත. මෙනිසා අසිරි වයිද්යවරයාට තමන්ට අමාරුවක් නැති බව කියා තිබේ. නැවත ඔහුව පොලිසියට ගෙනෙන විට වෙනත් ජීප් රථයකට මාරු කර මතුගම උසාවියට ගෙන ගොස් තිබේ. දහවල් ඔහුගේ නඩුව කතා කරපු අවස්ථාවේ ඔහු වෙනුවෙන් ඥාතීන් ඉදිරිපත් කල නීතිඥයා විසින් පොලිස් පහරදීම ගැන අදිකරණයට කරුණු දක්වා තිබේ. ඔහුට එරෙහිව නගා තිබු වියාජ චෝදනා වුයේ රාජකාරියට බාදා කිරීම, සාමය කඩ කිරීම, පොලිස් නිලදාරින්ට පහර දුන් බවත්ය. ඉන්පසුව ඔහුව රුපියල් 5000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.
 
ඔහු පොලිස් පහර දීම නිසා ඇතිවූ යටිබඩේ වේදනාවට 2012.08.31 සිට 2012.09.01 දක්වා නාගොඩ රෝහලේ 5 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන ඇත. හෙතෙම රෝහල් පොලිසියට සහ අදිකරණ වයිද්‍ය නිලදාරිවරයාට තමන්ට පොලිසිය පහරදුන් බව ප්‍රකාශ කර ඇත. ඔහු 2012.09.02 දින සිය බිරිද සමග බිරිදට විරුද්ද පැමිණිල්ලක් විබාග කිරීමට තෙබුවන පොලිසියට ගිය විට පොලිස් නිලදාරීන් ඔවුන්ට බැන වැදී අනෙක් පාර්ශවයට පක්ෂපාතිව කටයුතු කරමින් අදාල පමිනිල්ලද නිසියාකාරව විබාග කර නැත.