බ්‍රිගේඩියර් ශ්‍රියානි වරුසවිතානගේ වාහන හොරකම යට ගහලා

l සමන්ත කෝනාර

යුද්දයෙන් දරුණු ලෙස තුවාල ලබා අබාධිත වූ රණවිරුවන්ට ඉතා අඩු සහන මිලට ලබා දුන් වාහන හොරට ගැනීම සම්බන්දයෙන් බ්‍රිගේඩියර් ශ්‍රියානි වරුසවිතානට එරෙහිව පැවති පරීක්ෂණ යට ගසා ඇති බව රණවිරු සෙවනේ නිලධාරීහු පවසති.යුද හමුදාවේ ආබාධිත රණවිරු පුනරුත්තාපන ඒකකයේ හිටපු අධ්‍යක්ෂිකා බ්‍රිගේඩියර් ශ්‍රියානි වරුසවිතාන විසින් වියාජ ලෙස ලිපි සකසා රණවිරු සෙවනේ ප්‍රතිකාර ලබමින් සිටි සොල්දාදුවෙකුගේ නමට මෙම වාහනය ලබාගෙන තියන බව හමුදා ආරංචි මාර්ග පවසයි. මෙම රණවිරුවා රාගම රණවිරු පුනරුත්තාපන රෝහලේ දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලැබූ සෙබළෙකි. බ්‍රිගේඩියර් ශ්‍රියානි වරුසවිතාන විසින් අදාල අබාධිත රණවිරුවාට සුළු මුදලක් ගෙවා ඔහුගේ නමට මෙම තීරු බදු රහිත වාහනය ගෙන ඉන් පසු විශාල මුදලකට ව්‍යාපාරිකයෙකුට විකුණා තිබේ. මේ සම්බන්දයෙන් කරුණු හෙළිදරව් වීම නිසා මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය විසින් යුද හමුදා පොලිසිය හරහා විමර්ශනයක් ආරම්භ කලද පසුව ජෙනරාල් තෝරදෙණියට බලපෑම් කොට මෙම පරීක්ෂණය යටපත් කොට තිබේ. ජෙනරාල් තෝරදෙණිය යුද හමුදාවෙන් ඉවත් වීමෙන් පසු අදාල ලිපි ලේබන මේ වන විට අස්ථාන ගත කොට ඇති බව රාගම රණවිරු සෙවනේ නිලධාරීහු පෙන්වා දෙති. මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ රාගම රණවිරු සෙවනේ හිටපු නිලධාරිනියක් ප්‍රකාශ කලේ බ්‍රිගේඩියර් ශ්‍රියානි වරුසවිතාන රණවිරු පුනරුත්තාපන ඒකකයේ අධ්‍යක්ෂිකා ලෙස කටයුතු කල සමයේ ඉතාම අන්තනෝමතික සහ දුෂිත පාලනයක් ගෙන ගිය බවයි. බ්‍රිගේඩියර් ශ්‍රියානි වරුසවිතාන ඇතැම් අබාධිත සොල්දාදුවන්ට ඉතා පහත් ආකාරයේ වෙනස්කම් සහ හිරිහැර කල බව මෙම නිලධාරිනිය වැඩිදුරටත් කරුණු සඳහන් කරන අතර ඇයට කේලම් සැපයූ සොල්දාදුවන්ට විශේෂිත වරප්‍රසාද දී තිබේ. බ්‍රිගේඩියර් ශ්‍රියානි වරුසවිතානට නියමිත උසස්වීම් නොලබා යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමට සිදු වූ අතර ඒ සඳහා මෙම වංචාවද එක් හේතුවක් විය.