| කුමුදු කුසුම් කුමාර
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීම සඳහා තමන් නීති උපදෙස් පතා ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ප්‍රකාශ කොට තිබේ. එයට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ එම බලමණ්ඩලය නීති විරෝධී කටයුතු වල යෙදෙන බවයි. නමුත් එම නීති විරෝධී කටයුතු මොනවාදැයි අමාත්‍යංශය පෙන්වා දී නැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය කොමිසමේ අවසර නොමැතිව ‘විශ්ව විද්‍යාල‘ යන පදය තම නමට යොදාගැනීම නීති විරෝධී බව බවයි. ඔහු තව දුර පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය හුදු ශිෂ්‍යයන්ට අදාළ කටයුතු පිළිබඳ අවධානය යොමු නොකොට දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන බවයි. තම නමට ‘විශ්ව විද්‍යාල‘ යන පදය නීති විරෝධීව යොදා ගැනීම මත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කළ යුතු යැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව තර්ක කරනු ඇතැයි සිතිය නොහැකිය. ඒ සඳහා ගත හැකි සරල ක්‍රියා මාර්ග ඇති හෙයිනි. අනෙක් අතට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් රටේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දැක්වීම නීති විරෝධීකොට තහනම් කිරීම රටේ ව්‍යවස්ථාවෙන් පුරවැසියනට සහතික කෙරෙන දේශපාලන නිදහස උදුරා ගැනීමක් නොවන්නේ ද?
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීමේ කථාව මුලින්ම ඉදිරිපත් කෙරුනේ ‘විශ්ව විද්‍යාල ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය’ නමින් තමන් හඳුන්වා ගන්නා ශිෂ්‍යයන් කිහිප දෙනෙකු නවක වධයට එරෙහිව යැයි කියමින් පසුගිය දින කිහිපයක් කොළඹ කොටුවේ පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකදී ය. මෙහි නායකයෙකු නවක වධයේ වගකීම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට පවරමින් රජයට අභියෝග කරමින් කියා සිටියේ රජයට කොන්ද පණ ඇත්නම් වහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කරන ලෙසයි. ඉන් පසුව මෙම සිසු ව්‍යාපාරය තමන් වගකීම ගන්නා බව කියන නවක වධය පිළිබඳ වාර්තාවක් රැගත් වීඩියෝ පටයක් ද මාධ්‍යයට නිකුත් කොට තිබේ. රජයට මෙතරම් ප්‍රබල ලෙස අභියෝග කරමින් ආරක්ෂක බලධාරීන්ගේ හෝ සුපුරුදු දේශපාලන මැරවරයන්ගේ කිසිදු බාධාවකින් තොරව දින කිහිපයක් කොළඹ කොටුවේ මෙබඳු විරෝධතා ව්‍යාපාරයක් පවත්වන්නට මෙම ශිෂ්‍යයන් කිහිප දෙනාට ඉඩ ලැබීමත්, රජයට කෙරෙන මෙබඳු අභියෝගයකට මෑත කාලයේදී ස්වයංවරණයකින් තොරව මෙතරම් ප්‍රචාරයක් දෙන්නට මාධ්‍ය නොබියව ඉදිරිපත්වීමත්, මෙරට ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් වර්ධනය වී ඇතිද යන්න පෙන්වන උදාහරණ ලෙස රජය ප්‍රකාශ කරන්නට ඉඩ තිබේ. එමෙන්ම මෙම ‘විශ්ව විද්‍යාල ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය’ තම නමට ‘විශ්ව විද්‍යාල‘ යන පදය යොදාගැනීම ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අවසරය නිසි පරිදි ලබා ගත්තා විය යුතුය. එසේ අවසර ගැනීමේ පදනම අනුව වෙනත් ඕනෑම සිසු ව්‍යාපාරයකට ද එබඳු අවසරයක් ලබා ගැනීම අපහසු නොවිය යුතුය. මෙයද විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සංවිධානය වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස් පරිසරය සනාථ කරන්නක් යැයි රජය කියනු ඇත. නමුත් යථාර්ථය මෙයද?
නවක වධය පිළිබඳ මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරය දැන් කළ එළි බසින්නේ මෙම මොහොතේ නවක වධය පිළිබඳ ආන්දෝලනයක් මතුවී ඇති නිසා නොවේ. දැන් නව වසරට සිසුන් බඳවා ගත් පසු ඔවුන් ගත කරන දෙවැනි සෙමෙස්තරයේද මැදට විශ්ව විද්‍යාල පැමිණ තිබේ. එහෙයින් පෙනී යන්නේ මෙය කල් තබා සැළසුම් කරන ලද දේශපාලන වැඩ පිළිවෙලක් බව නොවේද? නව සිසු ව්‍යාපාරය පිළිබඳ වාර්තා කළ වෙබ් අඩවිවලට අනුව එම ව්‍යාපාරයේ නායකයෙකු දැන් කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. එම පුවතට අදහස් දක්වන්නවුන්ට අනුව ඔහු මීට පෙර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් ව සිටියේය. එහිදී නවක වධයට බඳුන් වී ඇත. එමෙන්ම ඔහු විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියා මාර්ගයට එරෙහිව නඩු පැවරූ අයගෙන් කෙනෙකි. මෙම ශිෂ්‍යයා, තමන්ට නවක වධය දීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වග කිව යුතු යැයි විශ්වාස කරන්නේ නම් ඔහු එම සංවිධානය සමග කෝපයක් ඇති කර ගැනීම අපට වටහා ගත හැකිය. නමුත් ‘අන්තරය‘ තහනම් කරන ලෙස ඔවුන් කරන ඉල්ලීම හුදු පෞද්ගලික ප්‍රශ්නයකට දිය හැකි විසඳුමකට වඩා දුර දිග යන කාරණයකි. මෙම මාතෘකාව සහ නවක වධය පිළිබඳ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ උපාධිධාරීන් ගේ අදහස් දැනගන්නට නම් මෙම වෙබ් අඩවි වල ඔවුන් දක්වා ඇති අදහස් කියවිය යුතු ය.
විශ්ව වද්‍යාල වල නවක වධය පැවැත්වීමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යැයි කියමින් එහෙයින් එය තහනම් කරන්නැයි මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරය රජයට බල කර සිටීම හමුවේ වහාම ක්‍රියාත්මකවන පරිදි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කරන්නට නීති උපදෙස් පතන්නට උසස් අධ්‍යාපන අමාත්‍යංශයත් එබඳු තහනමක් සාධාරණය කෙරෙන හේතු දක්වන්නට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවත් ඉදිරිපත් වී සිටීම මහජනයා තමන් හමුවට ගෙන එන කරුණු සම්බන්ධයෙන් තමන් කොතරම් කාර්යක්ෂමව ක්‍රියාත්මක වන්නේද යන්න පෙන්වන උදාරහරණ ලෙස රජය ප්‍රකාශ කරන්නට ඉඩ තිබේ. නමුත් සාමාන්‍ය යෙන් මෙබඳු කරුණකදී සිදුවිය යුත්තේ එබඳු චෝදනාවක සත්‍ය අසත්‍යභාවය සෙවීම සඳහා විධිමත් පරීක්ෂනයක් පැවැත්වීමට අවශ්‍ය ක්‍රියා මාර්ගයක් ගැනීම යි. එසේ නොකොට ඒ පිළිබඳ ක්ෂණික තීන්දු ගැනීම නිලධාරීනට පැවරීම ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි ජනයාගේ විශ්වාසය තව දුර පළුදු වීමටද හේතු විය හැකිය.
විශ්ව විද්‍යාල දෙකක හැරෙන්නට අන් සියලු ඒවායෙන් නවක වධය තුරන් කොට ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළේ වැඩි ඈතක දී නොවේ. එමෙන්ම විශ්ව විද්‍යාල වලින් ජනතා විමුක්ති පෙරමුණ තුරන් කරන්නට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පෞද්ගලිකව මෙහෙයවූ ව්‍යාපාරය මෙයට හේතුවූ බව ද ප්‍රකාශ වී තිබේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ට තව දුරටත් බලයක් නැති විශ්ව විද්‍යාල වල රජයට පක්ෂපාත ශිෂ්‍ය කණ්ඩායම් යටතේ නවක වධය තව දුරටත් ක්‍රියාත්මක වන බවද වාර්තා වී තිබේ. එබඳු විශ්ව විද්‍යාලවල, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් හඳුන්වා දුන් ‘නායකත්ව පුහුණු වැඩ සටහන‘ යටතේ පුහුණව ලබා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව නේවාසිකාගාර වලට ඇතුළත් වූ නවක සිසුන් තමන් සමග එකට නායකත්ව පුහුණුව ලත් නමුත් නේවාසිකාගාරවලින් පිටත පදිංචි පළමු වසරේ අනෙක් සිසුනට නවක වධය දීමට ජ්‍යෙෂ්ඨයන්ට හවුල් වූ බවද වාර්තා වී තිබේ. මෙම තත්වය යටතේ නවක වධය පිළිබඳ චෝදනා එල්ල කොට එම පදනම මත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කරන්නට යාම අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව පිළිබඳ මතුකරන ගැටලු අප විමසා බැලිය යුතුය.
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ලෙස සළකනු ලැබූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ලංකාවේ විශ්ව විද්‍යාල වල දේශපාලන බලය කාලයත් අත්පත් කොට ගෙන සිටි අතර ඒවායේ නවක වධය පැවැත්වීම පිළිබඳ චෝදනා ඔවුනට එල්ල වී තිබුණි. එමෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සහ උසස් අධ්‍යාපනයට බලපාන ප්‍රශ්න පිළිබඳ හැම රජයක් යටතේම විරෝධතා සඳහා ශිෂ්‍යයන් සංවිධානය කොට මූලිකවම කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට එරෙහිව මෙහෙයවීම ද රජයෙන් ඔවුන් ට විරුද්ධව නැඟුණු චෝදනාවකි. මෙම ක්‍රියාවන් සම්බන්ධයෙන් කලක සිට ඔවුනට විරෝධයක් පළ වීය. හරියටම ජනතා විමුකි පෙරමුණේ ප්‍රචණ්ඩ දේශපාලනය පිළිබඳ සමාජයෙන් එල්ල වූ විරෝධය මෙනි. මෙම විවේචන හමුවේ ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වූවා සේම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයද වෙනස් වෙමින් සිටින බව පෙන්නුම් කළ උදාහරණ මෑතක දී දකින්නට ලැබුණි.
නවක වධය පිළිබඳ ස්ථාවරයක් ගන්නා ලෙස සමාජයෙන් එල්ල වන බලපෑම් හමුවේ තමන් නවක වධය අනුමත නොකරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබේ. දැන් සිදුවිය යුත්තේ මෙම පණිවුඩය තමන් නියෝජනය කරන ශිෂ්‍ය ප්‍රජාව අතර තහවුරු කිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය දිරි ගැන්වීමයි. නවක වධ විරෝධී පණිවුඩය රජයට පක්ෂපාත ශිෂ්‍ය කණ්ඩායම් විසින් මෙහෙයවෙන ශිෂ්‍ය ප්‍රජාවන් අතරට ගෙනයාම රජයේ වගකීම වෙයි.
එමෙන්ම තමන් ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය දේශපාලනයක යෙදිමට සමත් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පැහැදිලිව පෙන්වූ අවස්ථා මෑත කාලයේදී දිගින් දිගටම මාධ්‍යයෙන් දැක ගන්නට ලැබුණි. ඉන් එක් අවස්ථාවක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වය යටතේ ගාලු පාර දිගේ සාමකාමී විරෝධතා පා ගමනක යෙදුණු සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ජනාධිපති වසන අධිආරක්ෂක කලාපය ට ඇතුළුවන්නට ඉඩ නොදී කොල්ලුපිටිය මං සන්ධියේදි පොලීසිය ඔවුන් නවතා ලූ විට, ශිෂ්‍යයන් වැස්සට හසුවී පාර පුරා දමා තිබුණු තමන් ගෙන ආ විරෝධතා පුවරු සහ බැනර් යනාදිය සියල්ල පාරෙන් ඉවත් කොට පාර පිරිසිදු කොට සාමකාමීව විසිර ගිය ආකාරය බලා සිටියවුන්ගේ සිත් පහන් කරවන සුලු වීය. එබඳුම තවත් අවස්ථාවක් දැක ගන්නට ලැබුණේ රුහුණු විශ්ව විද්‍යාලයේ දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ ශිෂ්‍ය විරෝධතාවක දී ය. මාතර නගර මධ්‍යයට පෙළපාලියකින් යාමට සූදානම් වූ සිසුන් පොලීසිය විසින් නවතා ලූ විට ඔවුන් පොලීසිය සමග නොගැටී සරසවි භූමියේ සිට ප්‍රධාන පාර දක්වා පමණක් පැමිණ එහි සිට තම විරෝධතාව සාමකාමීව දැක්වූ අයුරු සිත් ඇද ගන්නා සුලු වීය. මේ හා සමාන ක්‍රියා පිළිවෙතක් පේරාදෙණිය සරසවියේදී පැවැති සිසු විරෝධතාවන්හිදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අනුගමනය කරනු දක්නට ලැබුණි.
අප කළ යුත්තේ තරුණ තරුණියන්ට මෙලෙස ප්‍රජාතන්ත්‍රවාදී සහ සාමකාමී ලෙස තම දේශපාලනයේ නිරතවීමට ඔවුන් දිරිගැන්වීම මිස නීතිය අයුතු ලෙස යොදාගෙන ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් පාතාලයට පළවා හැරීම නොවේ. තමන් රුචි දේශපාලනයක නිරත වීමේ අයිතිය අයිතිය ප්‍රභූ පැළැන්තියේ තරුණ තරුණියනට පමණක් තිබිය යුතු වරප්‍රසාදයක් නොවේ. මෙම අයිතිය තරුණයන්ගෙන් පැහැර ගත හොත් එය අප සමාජයේ ඉමහත් වියවුලකට යලිත් මඟ පාදනු ඇත. ශිෂ්‍ය දේශපාලනය ලොව වෙනත් බොහෝ රටවල මෙන්ම ලංකාවේ සරසවි සම්ප්‍රදායේ ඒකාග්‍ර අංගයකි. මෙරට අප දන්නා බොහෝ දේශපාලන නායකයන් ශිෂ්‍ය දේශපාලනයෙන් පන්නරය ලැබූවෝ වෙති. විශ්ව විද්‍යාල තුළ දේශපාලනය කිරීමේ නිදහස ‘විශ්ව විද්‍යාල ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය’ ටත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ත් එක හා සමානව තිබිය යුතුය. රජය විසින් කළ යුත්තේ මෙබඳු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය දිරිගැන්වීම මිස එය තහනම් කිරීම මගින් අප සමාජයට අලුත් ප්‍රශ්නයක් නිර්මාණය කිරීම නොවේ.
1983 කලු ජූලියේදී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන දේශපාලන අරමුණක් සඳහා බොරු චෝදනා නඟා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේය. එයින් අප සමාජයට අත් වූ භයානක ප්‍රථිඵල අපි දනිමු. සමාජයෙන් පැණ නැඟෙන දේශපාලන බලවේග තහනම් කිරීමෙන් අහෝසි කළ හැකි යැයි සිතීම අනුවණ කමෙකි. කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට ඒවා ප්‍රකාශයට පත් වීමට අවශ්‍ය පරිසරය සම්පාදනය කිරීම යි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරන්නේ එයට උපත දුන් ජනතා විමුක්ති පෙරමුණ සහ දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද නියෝජනය කරන ග්‍රාමීය පහළ සමාජ පංතීන්ගේ ශිෂ්‍ය පරපුරයි. තම සමාජ සහ පංති පදනම් හේතුවෙන් තමනට සමාජයේ මුහුණ දීමට සිදුවී ඇති පවත්නා තත්වය පිළිබඳ බරපතළ ගැටලු මොවුනට තිබේ. තම අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාව මින් ප්‍රධානය. ඔවුන්ගේ හඬ බවට පත්වී ඇති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීමෙන් සිදුවනු ඇත්තේ එම ශිෂ්‍ය ප්‍රජාවේ දේශපාලනය පාතාල ගත කිරීම මිස එම දේශපාලනයට හේතු වන සමාජ තත්වයන් වෙනස් කිරීමක් නොවේ. මෙබඳු පාතාල ගත කිරීමක් සමාජයට අහිතකර වෙනත් ස්වරූපවලින් මතුවීමට ඇති ඉඩකඩ බොහෝය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය දැන් අයත් වන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් මෑතදී කැඩී වෙන්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ය. රජය එය තහනම් කිරීමට සැරසෙන්නේ රජය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඇති බිය නිසා එය අඩපණ කිරීමේ අරමුණින් යැයි අදහසක් සමාජයේ පහළ වී නම් එය රජය තම දේශපාලන සතුරන් අයුතු ලෙස මර්ධනය කරන්නට පෙළඹුනු තවත් අවස්ථාවක් ලෙස ජනතාව භාරගනු ඇත. අනෙක් අතට මෙම යෝජිත තහනම, රජය විසින් ඉදිරියේදී කෙසේ හෝ ක්‍රියාත්මක කරන බවට උසස් අධ්‍යාපන අමාත්‍යාවරයා ප්‍රකාශ කොට ඇති පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ පනතට විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවෙන් එල්ල විය හැකි විරෝධය කල් තබා මර්ධනය කරන්නට ගන්නා උපක්‍රමයකැයි යන අදහස සමාජයේ පැතිර යාම රජය තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ යැයි එල්ල වන විවේචනය මහජනයාට සනාථ කරන තවත් අවස්ථාවක් වනු ඇත.
දිගුකාලයේදී අප සමාජය සුරකින එහි පදනම වී තිබී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයයි. එය උල්ලංඝණය කරන කුමන හෝ බලවේග සමාජ විවේචනය හමුවේ තම ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාමාර්ග නිවැරදි කරනොගන්නේ නම් ඉක්මනින් හෝ ප්‍රමාද වී හෝ තමනට ඉඩ ලැබෙන පළමු අවස්ථාවේ ඒවා සමාජයෙන් ප්‍රතික්ෂේප කිරීම මෙරට ජනතාවගේ පිළිවෙතව තිබී ඇත. මෙම නියාමය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයටත් රජයටත් එකසේ අදාළ බව මගේ අදහස යි.
Post a Comment