බුලත්සිංහල පොලිසිය එක් දරු පියෙකුට හක්ක කැඩෙන්න ගහයි.



හර්ෂි සි. පෙරේරා

" එම නිලදාරීන් මාව පෑගුවා. අත් කකුල් සහ ශරීරයේ සෑම තැනම පෑගුවා. එසේ පාගන ගමන් යමන්කෝ උබට දෙන්නම්කො කිවුවා. එක් නිලදාරියෙක් මගේ මුහුණ පෑගුවා. ඒ පාරට මගේ හක්ක කටස් කියලා හඩක් ගියා. මට වේදනාව දරා ගන්න බැරිවුනා.මම කෑගැහුවා මගේ කට රිදෙනවා මාව ඉස්පිරිතාලේ ගෙනියන්න කියලා. නමුත් ඒ නිලදාරීන් ගණන් නොගෙන දිගටම මාව රැගෙන ගියා. මම වේදනාවෙන් කෑගසමින් ගියා. මාව බුලත්සිංහල පොලිසියට ගෙන ගියා."

මෙය සිදුව ඇත්තේ 2012.04.11 දින රාත්‍රියේය. ඔහුව පොලිස් කුඩුවට දමා කටේ වේදනාව තිබියදීත් වයිද්‍ය ප්‍රතිකාර ලබා නොදී පොලිස් ස්ථානයේ වැඩ පවා ගෙන ඇත. 2012.04.12 දින සවස ඇප මත නිදහස් කර තිබේ.

2012.04.19 හොරණ රෝහලට ඇතුලත් වී ඇති අතර එහි ඔහුව පරික්ෂා කිරීමට උපකරණ නොමැති බැවින් 2012.04.20 දින කළුබෝවිල රෝහලට යවා ඇත. 8 වන වාට්ටුවට ඇතුලත් කල ඔහුගේ හකු ඇටය කැඩී ඇතිබව වයිද්යවරු පවසා තිබේ. එයට ශල්‍ය කර්මයක්ද කර ඇත. 2012.05.03 දින ටිකට් කපා තිබේ. අදිකරණ වයිද්‍ය නිලදාරී පරික්ෂා කර ඇති අතර සායනයටද යොමු කර ඇත.

මෙසේ අමානුෂික වදහින්සාවට ලක්වූ ඔහු විලේගොඩ ලියනගේ නිරෝෂ් පුෂ්පකුමාරය. වයස අවුරුදු 28 කි. විවාහක එක දරු පියෙකි. කම්කරුවකු ලෙස රැකියාව කරයි. රණසින්හගොඩ, ගොවින්න හි පදිංචිව සිටි.